Matugama Pizza Hut

රටේ අස්ථාවරත්වය නිසා ඇණහිට තිබුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ යළි ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරභාවය පිළිබඳ වාර්තාව ජා.මු.අ. වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ජා.මු.අ. සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ප්‍රමාද වූ මුත්, අගෝස්තු මාසයේදී ඇතිකරගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවරදී පැවසුවා. ජා.මු.අ. අනුමැතිය සැප්තැම්බර් මාසයේදී ලැබෙනු ඇතැයි ඔහු අපේක්ෂා කරනවා.

“එහෙන් සල්ලි ගත්තහම හිතන්න එපා ප්‍රශ්නය ඉවරයි කියලා. අපේ ණය බර තව වැඩි වෙලා තියෙනවා. අපි කොහොමද මේ ණය ගෙවන්නේ, වැඩි වැඩියෙන් විදේශ විනිමය ඕනෑ. අලුත් මාවත් ඕන, අපේ කෘෂිකර්මයේ නවීකරණයක් ඕනෑ. අපි මේ දිහා බලලා වැඩ කරනවාද, නැත්නම් සටන් පාඨ කියනවද? මෙතන ඉන්න පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මේ ගැන හිතලා තීරණය කරන්න ඕනෑ. මොකද අපි මේ අභියෝගය භාරගත්තේ නැත්නම් මේ රට නැති වෙනවා. ඊළග පරම්පරාව අපිට සාප කරනවා. අපි වැටෙනවද, නැගිටිනවද කියන එක අද අපිට තිබෙන අභියෝගයයි. අපි මේක භාරගෙන අලුත් ලංකාවක් හදනවද, ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇති කරනවද, කෘෂිකර්මයේ නවීකරණයක් ඇති කරනවද, අපි අපනයනයට බර වෙන ආර්ථිකයක් ඇති කරනවද? අපේ ගම්මාන නවීකරණය කරන්න ඕන. අපිට තාම ඩිජිටල් ආර්ථිකයක් නැහැ. “

1977 දී ආරම්භ කරන ලද ආර්ථිකයේ කාලය දැන් අවසන් බවත්, වර්තමාන සිද්ධි සමග එම ආර්ථිකය කඩාවැටී ඇති බවත් අලුතින් සිතා ඉදිරියට යා යුතු බවත් ඔහු පෙන්වාදුන්නේය..

“අපේ පළමු යුතුකම නීතිය හා සාමය ආරක්ෂා කිරීමයි. කොයි පක්ෂයේ වුණත්. මම කිසි දවසක ගෙවල් ගිනි තියන වැඩවලට එකඟ වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් අපේ විවිධ මත තිබුණට ඒ නිසා අපේ මිත්‍රකම් නැති කරගන්න වුවමනා නැහැ. අපි අලුතින් හිතලා, අලුතින් ඉදිරියට යන්න ඕන. ඒ පණිවිඩය ගමට ගෙනියන්න ඕන. අද ගම හිස්. පොදුජන පෙරමුණෙන් වුණත්, එක්සත් ජාතික පක්ෂයෙන් වුණත් නිශ්ශබ්ද වෙලයි ඉන්නේ. ඇයි නිශ්ශබ්ද වෙන්නේ? ආණ්ඩු බලය අපේ අතේනේ. අපි එකතුවෙලා මේ පණිවිඩය දෙමු.
මම ඒකයි හැම පක්ෂ නායකයෙකුටම ආරාධනා කළේ අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරමු කියලා. එය රටේ ප්‍රශ්න විසඳන්න හොඳම ක්‍රමය. එය සියලුදෙනා පිළිගන්නා දෙයක්. කවුරුත් ඒ ගැන වාද කරන්නේ නැහැ. කොළඹ සමහර අය වාද කරයි, ඒත් ගමේ ඒක නැහැ.

“මෙතන එක්සත් ජාතික පක්ෂයේ, පොදුජන පෙරමුණේ කණ්ඩායම් දෙකම ඉන්නවා. ඒ ගැන කතා කරන්න. මම කැමතියි මම ආවහම මේ ශාලාවේ ඉතිරි කොටසත් පිරිලා තියෙනවට. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්, කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන්, බැරිද මේ අයවත් අරන් එන්න. මේක මේ එක්සත් ජාතික පක්ෂයටයි, පොදුජන පෙරමුණටයි සීමා කරන්න වැඩක් නැහැ. ඡන්දයට වෙනම එන්න ඕනනම් ඒක වෙනම එකක්. ඒක පස්සේ කතා කරමු. අද ගමේ ඉන්නවා කන්න නැති අය, රැකියා නැති අය, ඒ ගැන හොයලා බලමු. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් ඒ ගැන වගකීමක් තියෙනවා, ඒ ගැන අලුත ක්‍රමවේදයක් අපි ඊළඟ සති දෙක තුළදී දැනුම් දෙනවා කියලා මම කියන්න කැමතියි.”

පිළිගත හැකි මහේක්ෂ ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරන තෙක් ශ්‍රී ලංකාවට අලුත් මූල්‍යාධාර ලබානොදෙන බව පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පැවසීය. මෙය දැනට සිදුකෙරෙන ව්‍යාපෘතිවලට අදාළ වන්නේ නැත.

වසර 20 කට පසු එනම් 2002 අගෝස්තුවෙන් පසු ශ්‍රී ලංකාවේ වෙළද ශේෂයේ අතිරික්තයක් වාර්තා කිරිමට සමත් විය. මේ අතර, පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සංචාරක ආදායම්වල වර්ධනයක් ද, 2022 මැයි මසට සාපේක්ෂව විදේශ ප්‍රේෂණයන්ගේ වර්ධනයක් ද පෙන්නුම් කර තිබේ.

විවිධ අසීරු බාධක මැද ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් ඇත. මුල් රූපයේ දැක්වෙන්නේ කොළඹින් බැහැර මතුගම නගරයේ පසුගිය ජුලි 31දා පීට්සා හට් අලෙවිහලක් විවෘත කළ අවස්ථාවේ පීට්සා මිලදීගැනීමට ජනතාව පෝලිමේ සිටි ආකාරයයි.

2 thoughts on “රනිල් වැඩ – මූල්‍ය අරමුදල සමග සාකච්ඡා යළි පීල්ලට – දේශපාලනය යළි ගමට – සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපතිගෙන් ආරාධනා

  1. Welandasal sanskruthiya adaala pedese , arthikaya haa janatha maanasikathwaya menena ektharaa mimmaki .

  2. ජූලි මාසය ගෙවී ගියා. නිකම්ම නොවෙයි. ජයග‍්‍රාහී මතක සටහන් ඉතිහාසයට එකතු කරමින්. ජූලි කියන්නේ මේ රටේ කළු වර්ණයෙන් ඉතිහාසය ගතවී තිබෙන මාසයක්. දේශපාලනය කොතරම් පාදඩයි ද කියලා පෙන්වා තිබෙන්නේ විශේෂයෙන්ම ජූලි මාසයේදී. ඒ හැම ජූලියක්ම ජේ.ආර් ජයවර්ධනගේ ඒකාධිපති වියරු පාලන කාලයට අයිතියි.

    කෙටියෙන් මතක් කිරීම වැදගත්. මුලින්ම 1980 ජූලි වර්ජනය. රජයේ සේවකයන්ගේ පඩිය දවසට රුපියල් 10කින් වැඩිකර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් දිනා ගන්න. අන්තිමට සිද්ධ වුණේ 80,000 රජයේ සේවකයන් එළියට ඇදලා දාපු එක. ඒ තැන්වලට ජේ.ආර්.ගේ ත‍්‍රාඩ තරුණ පිරිස යෙදවූවා. අධ්‍යාපන සුදුසුකම් කිසිම දෙයක් අවශ්‍ය වුණේ නැහැ. 1977 මැතිවරණයට දරදිය ඇදලා, 1977 අගෝස්තුවේ දෙමළ ජනතාවට විරුද්ධව අපරාධ දියත් කරලා තිබීම, ඊට පස්සෙත් දේශපාලන ත‍්‍රාඩ වැඩවලට එකතු වෙලා ඉඳීම, අධ්‍යාපන සුදුසුකම් වුණා. වර්ජකයන් කනත්තට යවන බව එදා මහා ලොකු ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු විදිහට පෙනී සිටි ලලිත් ඇතුළත් මුදලි කීවා. සැලකිය යුතු පිරිසක් සියදිවි නසා ගන්නා තැනටත් ආණ්ඩුව වැඩ කළා.

    ඊට පස්සේ 1983 කළු ජූලිය. ශ්‍රී ලංකාව කියන්නේ ම්ලේච්ඡයන්ගේ දේශයක් කියලා මුළු ලෝකයාම ඉදිරියේ ‘තාර’ අකුරින් ලියූ මාසයක්. ‘තාර’ අකුරින් කියුවේ කළු අකුරින්. අහිංසක දෙමළ ජනතාවගේ ජීවිත ලේ සාගරයක ගිල්වා දැමුවා කීම නිවැරදියි. සන්නද්ධ බෙදුම්වාදීන් විසින් උතුරේ දී හමුදා සෙබලුන් 13 දෙනෙකු ඝාතනය කිරීමට පළි ගත්තේ මුළු රටපුරාම සිටි අහිංසක දෙමළ ජනතාවගෙන්. ඔවුන්ගේ දේපළ මංකොල්ල කෑවා. මංකොල්ල කන්න බැරි ඒවා ගිනි තිව්වා. පණපිටින් ගිනි තබා මරා දැම්මා. පහර දුන්නා. ශ්‍රී පතුල චිත‍්‍රපටය හැදූ කේ. වෙන්කට් ඔහුගේ කාර්එක තුළදීම පනපිටින් ගිනි තියලා මැරුවා. කොළඹ ද, ඈත ගම්දනව්වලද, වතුකරේද දෙමළ ජනතාවගේ ලේ කඳුළු ගලාගියේ එහෙම. කළු ජූලිය පිටදාලා දේශපාලන පක්ෂ තහනම් කළා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ. ජේ.ආර්.ගේ ඇත්ත වුවමනාව වූනේ ඒක.

    ඊට පස්සේ ආවේ 1987 ජූලිය. බලය සැලකිය යුතු තරම් අභියෝගයට ලක්වී සිටි ජේ.ආර් ජයවර්ධන ඉන්දියාවට රට පාවා දුන්නා. නිකම්ම නොවෙයි ඉන්දියාව එක්ක ගිවිසුමක් අත්සන් කරලා. ලක්ෂ ගණනක් ඉන්දීය හමුදාවට මේ බිම ආක‍්‍රමණය කරන්න ගිවිසුමකින් ඉඩදීලා. ඒ ගිවිසුම අත්සන් කලේත් ජූලි මාසයේදී මයි. ඊට විරුද්ධව මහා ජන ගඟක් කොළඹ කොටුව බෝධිය ළඟට එකතු වුණා. පක්ෂ පාට කිසිම භේදයක් තිබුණේ නැහැ. රටට ආදරය කරන මිනිසුන් රොද බැඳී එකතු වුණා. අද ජනාධිපති පුටුවේ ඉන්න රනිල් රාජපක්ෂගේ මාමා ජේ.ආර් ජයවර්ධන හමුදාවට, පොලිසියට අණ දුන්නා වෙඩි තියන්න. බෝධිය ළඟට රොක් වී සිටි එකසිය හැට ගණනක් වෙඩි තියලා ඝාතනය කළා.

    මෙතනදී විශේෂ දෙයක් කියන්න ඕනෑ. ජේ.ආර් ජයර්ධනගේ මේ ද්‍රෝහී, ජන ඝාතක ක්‍රියාවලට විරුද්ධව මුලින්ම අවි එසවූයේ හමුදාව තුළින්මයි. ජේ.ආර්. එක්ක ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ ඉන්දීය අගමැති රජිව් ගාන්ධිට නාවික හමුදා සෙබලෙක් රයිෆලයෙන් පහර දුන්නා. රජිව් ගාන්ධි ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළිය පිළිගන්න රතු පලස මතින් යන අතරේ. ජේ.ආර්. මේ ගමනට එකතුවී සිටියේ නැහැ. හිටියා නම් මේ පහර වදින්නේ ජේ.ආර්.ගේ තට්ට ගෙඩියට කියලා දැනගෙන ඉන්න ඇති. ඉන්දීය ආක‍්‍රමණයට විරුද්ධව එක පෙරමුණක සිටි සිරිමා බණ්ඩානායකලා, දිනේෂ් ගුණවර්ධනලා, ඩ්ව් ගුණසේකරලා ඇතුළු පිරිස ඉක්මනින්ම අරගලය පාවාදී යන්න ගියා. දේශප්‍රේමී මහජනතාව ඉන්දීය ආක‍්‍රමණයට විරුද්ධව සටන් කළා. 1990 මාර්තු මාසයේ දී ඒ හමුදාව අකුලාගෙන යන්න ගියා. දේශප්‍රේමී ජනතාවගේ ජීවිත 60,000ක් ඒ වෙනකොට අහිමිව තිබුණා.

    ජූලි මාසය විතරක් සලකා බැලුවොත් ඉතිහාසයට එකතු වී තිබෙන්නේ ඔය විදිහට. ලේ කඳුළු ගංඟා ඇති කළ වේදනාකාරී සිද්ධි එක්ක. ඒත් 2022 ජූලි මාසය එහෙම නොවෙයි. වෙනම වර්ණයක් ඉතිහාසයට එකතු කළා. ජූලි 09 වෙනිදා ආදරයේ අරගලය. වර්ණවත් දිනයක්. ජේ.ආර්. ජයවර්ධනටත් එහා ගිය බලයකින් පිම්බී සිටිය ගෝටාබය රාජපක්ෂ පන්නා දැම්මා. ලක්ෂ ගණන් ජනී ජනයා කොළඹට රොද බැඳලා ජනාධිපති මන්දිරය වටකළා. ජනාධිපති ලේකම් කාර්යාලය වට කළා. ගේට්ටු කඩාගෙන ඇතුල් වුණා. අත්වල ගල් කැටයක්වත් තිබුණේ නැහැ. සෙබළුන්ගේ ගිනි අවි එක දෙකක් පත්තු වුණා මුලදී. කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර එල්ල වුණා. විරෝධතා දැක්වූවන්ගේ ලේ බිඳු කිහිපයක් මේ බිමට හැලුනා. දහස් ගණනක් සෙබළුන්ගේ ගිනි අවි බැටන් පොලු බිමට හැරුණා. ජයග‍්‍රාහී ජන ගඟ මැදින් ඔවුන් ඉවත්ව ගියා. ලේ හැලීම එතනින් නතරවුනා.

    මේ ගෙවී යන 2022 අවුරුද්ද පටන් ගත්තේ ජනතාව මත දවසින් දවස නෙවෙයි, පැයෙන් පැය අසීමිත පීඩනයක් ගොඩගසමින් තියෙද්දී. රටපුරා තැනින් තැන මහජන විරෝධයන් ගොඩ නැඟෙමින් තියෙද්දී. විශේෂයෙන් ගොවියන්, ධීවරයන්, ගුරුවරුන් මුල්වී තිබුණා. පොදු ජන විරෝධයේ තැන තැන ඇවිලෙමින් තිබුනත් උද්දච්ච රාජපක්ෂ පවුල් පාලනය හිටියේ ලක්ෂ 69ක ඡන්ද ගැන උදම් අනමින්. ඒ වටා ඉන්න කටු කන මුරබල්ලන් වහසිබස් දෙඩුවා. ”කාක්කෙක් මරලා තට්ටක් එල්ලුවාම හරි” කියලයි ඒ මුරබල්ලන් කීවේ. රටපුරා තිබුණු අරගල ගොල්ෆේස් පිටියට සංකේතාත්මකව ගොනුවුණා. ”ගෝටාගෝගම, මයිනාගෝගම” ඉදිවුණා. අප්‍රේල් 09 දවසක් හැටියට සංකේතාත්මකව අරගල පොදි බැඳී ගිය දවසක්. අරගලය වර්ණවත් වෙමින් ආදරයේ නිම්හිම් පළල් කරමින් ඉදිරියට ආවා.

    අරගලයට මාසයක් පිරුණේ මැයි 09 වැනිදා. මහින්ද රාජපක්ෂගේ අරලියගහ මන්දිරයේ සිට යැවූ මැරයන් සාමකාමී අරගලකරුවන්ට ම්ලේඡ්ච ප‍්‍රහාරයක් මහ දවල් එල්ල කළා. රාජපක්ෂලාගේ සිල්රෙදි ගැලවී යන හැටි මුළු රටේම මිනිසුන් දෑසින් දැක ගත්තා. රාජපක්ෂලාගේ මල්වට්ටිවල තියෙන්නේ මල් නොවෙයි කියලා මිනිස්සු දැක්කා. ගෝල්ෆේස් අරගලයට ජවය දෙන්න සමස්ත මහා වැඩවර්ජන දියත් කර තිබුණා ඒ වෙනකොටත්. රටේ අස්සක් මුල්ලක් නෑර හර්තාල් ක්‍රියාමාර්ග ගෙන තිබුණා. වෙනත් විරෝධතා පවත්වා තිබුණා. ගෝල්ෆේස් කියන්නේ හුදකලාවූ, ආතක් පාතක් නැති වුන්ගේ වැඩක් නොවන බවට ඕනෑ තරම් කරුණු රටේ ජනතාව කියා තිබුණා. ඒත් රාජපක්ෂලා හිටියේ ”කාක්කෙක් මරලා තට්ටක් එල්ලන” න්‍යායේ. මැයි 09 ම්ලේඡ්ච ප‍්‍රහාරය එල්ල කළේ ඒකයි. ඒත් මහින්ද රාජපක්ෂට අගමැති පුටුව දාලා යන්න වුණා. ලක්ෂ 69ක් ජනතාව තමන් රැවටුණත් නිවටයන් නොවන බව ඔප්පු කළා.

    ජුනි 09 වැනිදා වෙනකොට බැසිල් රාජපක්ෂටත් යන්න වුණා. කපුටෙක් මරලා තට්ටක් එල්ලීමේ න්‍යාය පාරාවළල්ලක් බවට මහජනතාව පත් කළේ එහෙම. ජූලි 09 කියන්නේ රාජපක්ෂ පවුල් පාලනය පළවා හැරි සංකේතාත්මක දවසයි. ඒත් තවම ජයග‍්‍රහණය ගෙන නැහැ. දැන් තියෙන්නේ සංක‍්‍රාන්ති කාලයක්. මේ සංක‍්‍රාන්ති කාලය දීර්ඝ වීමට නොදී නිමා කරන්න ඕනෑ. ඒක නිමාකරන්න හැකි වෙන්නේ අවුරුදු 74ක් ගෙනා මේ සිස්ටම් එකම වෙනස් කිරීමෙන්. රාජපක්ෂලා පළවා හැරිය වර්ණවත් ජූලි මාසය ජනතාවගේ ජීවිතවලින් වර්ණවත්ව පිළිබිඹුවෙන්න පටන් ගත්තේ මේ සිස්ටම් එක අවසන් කිරීමෙන් විතරයි. ඒ වෙනුවෙන් හොරුන්, දූෂිතයන් නොවන පාලකයන් බවට පත්කරගැනීම අපි හැමෝගේම වගකීමක්.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: