media cameras

මෙතෙක් කතාව හා අද එතැන් සිට

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2020 දෙසැම්බර් 06

මේ වන විට රාජපක්ෂ බලවේගය විසින් පිහිටුවා තිබෙන ආණ්ඩුව සංකීර්ණ ප්‍රශ්න සමුදායකට මැදි වී තිබේ. එක පැත්තකින් කොරෝනාය. අනෙක් පැත්තෙන් දැඩි ආර්ථික අර්බුදයකි. එසේම, තත්වයට මුහුණදෙන්නට තරම් දැක්මක් හෝ බුද්ධියක් ඇති පිරිසක් ද ආණ්ඩුවේ නැත. හිටියත්, නායකත්වයට ළංවෙන්නට බැරිය. නායකයන් සිතා සිටින්නේ සියල්ල දන්නවාය කියාය. එහෙත්, ඔවුන්ගේ ලෝකය ඉතා පටු බව ඔවුන් හැර අනෙක් කාටත් පෙනේ.

මෙකී සංකීර්ණත්වය නිසාම, පාලනය සම්බන්ධයෙන් ඔවුන් තුළ යම් ආකාරයක පටු හෝ දැක්මක් තිබුණා නම්, එම දැක්ම අවුල් වන ස්වභාවයක් ද දැකිය හැකිය. එසේම, බලයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැක්වූ සංවිධානමය කෞශල්‍යය ජනාධිපතිවරයාගේ බලය හමුවේ දුර්වල වී තිබෙන ස්වභාවයක් ද දක්නට ලැබේ. ජනාධිපතිවරයා සිය ව්‍යවස්ථාමය ශක්තිය භාවිතා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විකල්ප බලයක් ලෙස ආණ්ඩුව තුළ කටයුතු කරමින් සිටියි. එසේම, රාජපක්ෂ බලවේගය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දී තිබෙන වැදගත්කම අවම කර තිබෙන බවක්ද දක්නට ලැබේ. එසේ වූයේ ඇයි?

රාජපක්ෂවරුන්ට පක්ෂයට වඩා හැමවිටම පවුල වැදගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉරණමෙන් පෙනේ. ඔවුන් පක්ෂය පාවිච්චි කරන්නේ පවුලේ බලය පවත්වාගැනීමටයි. මහින්දගෙන් පසු ගෝඨාභය ද ඔහුගෙන් පසු බැසිල් හෝ නාමල් ද මිස වෙනත් විකල්ප නායකත්වයකට එම බලවේගය තුළ ඉඩක් නැත. බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ජනාධිපති අයියා ද, අගමැති අයියා ද කියද්දී බැසිල් බෑ බෑ කියන ආකාරයේ නාටක නිර්මාණය වන්නේ මෙම සීමිත බල කවය තුළය. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ පවුල තුළ බලය රඳවාගැනීමටයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඒ අරමුණ වෙනුවෙන් රම්පෙ, කරපිංචා ය. එහෙත්, පොහොට්ටුව වටා එක් වී සිටින සියලු බලවේග ඒ තරම් සරල නැත. උදාහරණයක් ලෙස අප විමල් වීරවංශ සලකා බැලුවහොත්, ඔහු රාජපක්ෂලාගේ සරල අන්තේවාසිකයෙකු නොවේ. ශක්තිමත් නායකත්වයක් මතුවෙනවා නම් පොහොට්ටුව තුළම රාජපක්ෂලාට අභියෝග වන චරිත රැසක් තිබේ. එය කළමනාකරණය කරගැනීම ඔවුන් සිතන තරම් සරල නැත. මහින්ද රාජපක්ෂගේ අනුහස් සහිත නායකත්වය මෙම තුලනයෙහිදී ඉතා වැදගත්ය. ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා මැනැවින් තේරුම් ගෙන ඇති බවක් නොපෙනේ.

කෙසේ වෙතත්, තමන් සතු ශක්තිමත් ආණ්ඩු, පළාත් පාලන හා පක්ෂ සංවිධාන යාන්ත්‍රණය බලමුළුගන්වාගැනීමට ආණ්ඩුව සමත් වී නැත. එය දැවැන්ත ශක්තියක් සිතාගත නොහැකි අන්දමින් අපතේ හැරීමකි. එහි ප්‍රතිඵලයක් ලෙස රට තුළ අර්ධ අරාජිකත්වයක් නිර්මාණය වී තිබේ. රජය හා ජනතාව පාලනය කරගැනීමට ආණ්ඩුව අසමත් වෙමින් තිබේ. එසේම, ආණ්ඩුව ඉතා දරුණු විවේචනවලට ද ලක්වෙමින් තිබේ. ආණ්ඩුවේ ඇතැම් අපරිණත හා අන්තවාදී නායකයන් පහසුවෙන් කුපිත කිරීමට හා නොමග යාමට ලක්විය හැකිය. ඔවුන් අතින් සිදුවන ඇතැම් වැරදි ආණ්ඩුවට ඉතා නරක අන්දමින් බලපෑම වළක්වාගැනීමට අසීරුය. ශීඝ්‍රයෙන් මෝරමින් තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මහජනයාගේ පටු අපේක්ෂාවන් ඉටුකිරීමට ද ආණ්ඩුවට අපහසුය. ඒ අතර වැඩි වැඩියෙන් ජනතාව මත පීඩනය පැටවේ. ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වූ පොදුජන බලවේගය මෙම තත්වය හමුවේ ඉච්ඡා භංගත්වයට පත්වෙමින් සිටිති. එසේම, ආණ්ඩුවට සහාය පළ කළ අන්තවාදී බලවේග බලාපොරොත්තු වන මට්ටමින් සිංහල ජාතික හා බෞද්ධ ආගමික අධිපතිවාදී අන්දමින් කටයුතු කිරීමට බලයට පත්වීමෙන් පසු ආණ්ඩුවට හැකියාව නැත. මේ සියල්ල ආණ්ඩුවට අවාසිදායකය.  

එසේම, ජාත්‍යන්තර දේශපාලනයේදී ද ආණ්ඩුව ඉදිරියේ තිබෙන්නේ දුෂ්කර තෝරාගැනීම් සමුදායකි. යුරෝපා සංගමය දැනටමත් ජීඑස්පී ප්ලස් බදු සහනය පිළිබඳ කාරණා මතු කර තිබේ. එක්සත් ජනපදය හා චීනය, ශ්‍රී ලංකාව විසින් තමන් තෝරාගත යුතු යයි ප්‍රසිද්ධියේ විවාද කරගනිති. ශ්‍රී ලංකාවේ තෝරාගැනීම් අනුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග්‍රාහකත්වය දක්වන ලද 30/1 සහ 40/1 යෝජනා සම්මතයන් දෙකෙන් වහාම ඉවත් වීමට ගෝඨාභය රාජපක්ෂ රජය ගත් තීරණය ද අනාගතයේදී බලපානු ඇත. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව සලකා බලා තත්වයෙන් පහත හෙළීම ද ආර්ථිකයට දැඩි බලපෑමක් වනු ඇත.

මෙම පසුබිම තුළ, ආණ්ඩුවට කළ හැකි දේ අතිශය සීමිතය. එහෙයින් ආණ්ඩුව කරන්නේ බොරු කීමයි. ඒ වෙනුවෙන්, කටේ තොලේ නොගෑවී අල්ලේ පැලවෙන බොරු වීදීමට දක්ෂ අජිත් නිවාඩ් කබ්රාල්, ජී.එල්. පීරිස්, විමල් වීරවංශ වැනි දේශපාලන වෘත්තිකයන් මෙන්ම, වාචාලකමින් ජයගත හැකි මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි වාචාල පුද්ගලයන් ද සිටින එක ආණ්ඩුවට වාසියකි. එහෙත්, බොරුව තිරසර නැත. බොරුවෙන් මේ රටේ ජනතාවට කිසිවක් ලැබෙන්නේ නැත. ඉදිරි වසර කීපය මේ රටේ ජනතාවට ලබාදෙනු ඇත්තේ කාලකණ්ණිකම පමණි.