සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය ද මුස්ලිම් අවස්ථාවාදී දේශපාලකයන්ගෙන් ඈත් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

ඉදිරියේදී මුස්ලිම් හා දෙමළ පක්ෂවල අපේක්ෂකයන්ට සමගි ජනබලවේගය යටතේ නාම යෝජනා ලබා නොදෙන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් මැතිවරණයෙන් පසු එකතු වී වැඩ කළ හැකි බවත් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබේ. ඔහු විසින් කරන ලද ප්‍රකාශය අතිශය වැදගත් දේශපාලන ප්‍රවණතාවකි.

සමගි ජනබලවේගය යටතේ නාමයෝජනා ලබාගත් මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් 20වන ව්‍යවස්ථා සංශෝධනයේදී විශාල පාවාදීමක් කළ බවත්, වෙනත් පක්ෂයක නියෝජිතයින් නිසා ඔවුන් ඉවත් කිරීම සම්බන්ධව නෛතික ගැටලූ තිබෙන බවත් කිරිඇල්ල ප්‍රකාශ කර තිබේ.

කිරිඇල්ලට ද වැරදුනා වෙන්නටත් පුළුවන. මුස්ලිම් පක්ෂ නායකයන් වන රවුෆ් හකීම් හා රිෂාඞ් බදුර්දීන් 20වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ විය යුතු බවට ඔවුන්ගේ පක්ෂ දේශපාලන මණ්ඩලවලදී තීරණයක් ගෙන නොමැති නිසා පාවාදීම් කළ මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ හැකියාව ඔවුන්ටද නැති බව ඔහු පවසයි. එහෙත්, මේ නායකයන් දෙදෙනාගේ ක්‍රියාකලාපය කෙතරම් අවංක ද යන්න ද ප්‍රශ්නයකි. ඔවුන් කළේ දෙපැත්ත කෑම විය හැකිය.

අතීතයේදී මුස්ලිම් ජනතාව නියෝජනය කළ දේශපාලන පක්ෂය වූයේ වර්තමානයේදී සමගි ජන බලවේගය බවට පත් වී තිබෙන එක්සත් ජාතික පක්ෂයයි. 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී පවා බකීර් මාකර්, එම්. එච්. මොහොමඩ් වැනි මුස්ලිම් නායකයන් එම පක්ෂයෙන් පත්වී ජාතික නායකත්වයට පත්වූහ.

එම්.එච්.එම්. අෂ්රෆ් විසින් මුස්ලිම් කොංග්‍රසය ආරම්භ කරමින් පටන් ගත් මුස්ලිම් ජාතිවාදී දේශපාලනය වර්තමානය වන විට අන්තයටම පිරිහුණ තුච්ඡ අවස්ථාවාදයක් වී තිබේ.

කොවිඩ්-19න් මියයන මුස්ලිම් ජනතාවගේ මළසිරුරු සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් බලපෑමක් කිරීමටවත් අලි සබ්‍රිගේ සිට ආණ්ඩුවට අලුතෙන් එකතු වූ මුස්ලිම් මන්ත්‍රීන් දක්වා කිසිවකු අසමත් වී තිබෙන්නේ මෙම සංදර්භය තුළය.

මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් තම පක්ෂයේ ඡුන්ද ලබා ගෙන පාර්ලිමේන්තුවට පැමිණ තීරණාත්මක අවස්ථාවලදී පක්ෂය පාවාදුන් අවස්ථා රැසක් තිබෙන බවත් ඒවා සැලකිල්ලට ගෙන මින් ඉදිරියට ඔවුන්ට පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට තීරණය කළ බවත් කිරිඇල්ල ප‍්‍රකාශ කළේය. එහෙත්, මෙය සුළු ජාතීන්ට පමණක් සීමා වූ තත්වයක් නොවේ. ඩයනා ගමගේ වැනි හොල්මන් නිර්මාණය කළේ කවුරුද?

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය ද ප්‍රතිසංවිධානය වීම සඳහා උත්සාහ දරමින් සිටියි. එම ප්‍රයත්නය තුළ ඔවුන් ද මුස්ලිම් දේශපාලන පක්ෂවලින් ඈත්වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මුස්ලිම් අවස්ථාවාදය පරාජය කළ යුතු බව ඇත්තකි. ඒ වෙනුවෙන් කටයුතු කළ ප්‍රධාන බලවේගය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එහෙත්, මේ වන විට පාර්ලිමේන්තුවේ මුස්ලිම් අවස්ථාවාදීන් එම පක්ෂය වටා නිල මැස්සන් සේ කැරකෙමින් සිටිනු පෙනේ.

ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව මත පදනම් වූ සියලු දේශපාලන පක්ෂ ඉදිරියේදී මුස්ලිම් පක්ෂවලට තම සන්ධාන තුළින් නාම යෝජනා නොදෙන තත්වයක් නිර්මාණය වෙමින් තිබේ. සිංහල ජනතාව මත පදනම් වූ දේශපාලන පක්ෂ ශ්‍රී ලාංකික ජාතික දේශපාලනයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම පක්ෂ තුළ මුස්ලිම් නායකත්වයන් ගොඩනගාගත යුතුය. මුජිබර් රහුමාන්, මරික්කාර්, කබීර් හෂීම් වැනි ජන පදනම් සහිත මුස්ලිම් හා ජාතික නායකයන් කිහිපදෙනෙකු දැනටමත් බිහි වී තිබේ. එම ප්‍රවණතාව ශක්තිමත් කළ යුතුය. විශේෂයෙන්ම මහනුවර හා උතුරු නැගෙනහිර ද මුස්ලිම් නායකයන් නිර්මාණය කරගැනීමට ප්‍රධාන පක්ෂ උත්සාහ කළ යුතුය. අවස්ථාවාදී ජාතිවාදී පක්ෂ සමග යන පහසු හා අවදානම් ගමනට වඩා එය තිරසාරය.

මුස්ලිම් ජනතාව විසින් අවබෝධ කරගත යුතුව තිබෙන කාරණයක් තිබේ. ආගමික අන්තවාදයෙන්, ජාතිවාදයෙන් හා අවස්ථාවාදයෙන් මුස්ලිම් ජනතාවට කිසිවක් දිනාගැනීමට ලැබෙන්නේ නැත. ඒවාට ගොදුරු වීමෙන් ඔවුන් සිංහල ජනතාව අතර සිටින මිතුරන් ද අහිමි කරගනිමින් සිටියි. ඔවුන්ට ලෝකයේ වෙන කොහේවත් සිංහල ජනතාව තරම් සමීප මිතුරන් පිරිසක් නැත.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: