I have a dream

– I have a dream

මේ සිහිනය ලාංකික අප වැඩිදෙනෙකුගේ හෝ සියලුදෙනාගේ සිහිනයයි. එහෙත්, අපේ සැබෑ සිහිනය ගැන අප කතාකරන්නේ අඩුවෙනි. ඒ වෙනුවට කෘත්‍රිම ව්‍යාජ දර්ශනවලින් අපේ සිත් නොමග යවා ඇත.

ලෝකයට ණය වී නිර්මාණය කරනු ලබන කෘත්‍රිම සංවර්ධනය වෙනුවට අපට උවමනා අපේ ජීවන ගුණය දිනෙන් දින යහපත් කරගත හැකි වන ආකාරයේ, සමාජයක් ලෙස අපගේ අනාගතය සුරක්ෂිත වන ආකාරයේ හා පරිසරයටත්, වෙනත් ජීවීන්ටත්, පෘථිවියේ පැවැත්මටත් තර්ජනයක් නොවන ආකාරයේ සංවර්ධනයකි.

අපටත්, අපගේ අනාගත පරපුරටත් සුරක්ෂිත අනාගතයක් අවශ්‍යය. මනා පෝෂණයක්, සෞඛ්‍යයක්, සනීපාරක්ෂාවක්, පොදු පහසුකම් සහිත වර්තමානයක් අවශ්‍යය.

අනවශ්‍ය තරගකාරීත්වයකින් හෝ පීඩනයකින් තොරව, යහපත් පරිසරයන් තුළ, විධිමත් හා ගුණාත්මක අධ්‍යාපනයක් ඔවුන්ට හිමිවිය යුතුය.

සාධාරණ වැටුප් සහිත රැකියා, විවේකය, විනෝදය සඳහා අවස්ථා අප සැමට තිබිය යුතුය. ආදායම් උපයාගැනීමටත්, අපට අවශ්‍ය දේ මිලදී ගැනීමටත් අපට හැකි විය යුතුය. මිලදී ගැනීමේ හැකියාව දුබල වූ විටදී, වැඩකිරීමට නොහැකි අවස්ථාවන්හිදී, රෝගී හා වියපත් වූ විට අපට සමාජ ආරක්ෂණ ක්‍රම තිබිය යුතුය. එහෙත්, රජය හෝ වෙනත් පාර්ශ්ව විසින් අප සිඟන්නන් බවට පත් නොකළ යුතු අතර ඒ මත පදනම්ව අවසානයේදී අපටම බරක් වන ව්‍යූහයන් ගොඩ නොනැගිය යුතුය. අපේ බදු මුදල් ගැන රජය වගවිය යුතුය. සපයනු ලබන සේවා කාර්යක්ෂම විය යුතුය.

පුද්ගලයන් ලෙස අප එකිනෙකාට අපේ හැකියාවන් පූර්ණත්වය කරා ගෙන යාමට හැකි විය යුතුය. ඉතින් එය කරන්නේ කෙසේද?

අපේ සිහින හඹා යාම නැවත ආරම්භ කළ යුතුව තිබෙන්නේ අප අද සිටින තැන සිටයි. එනම්, මේ ආර්ථික අර්බුදයේ සිටයි. රාජ්‍යයේ පැවැත්ම අභියෝගයට ලක්කර තිබෙන මෙම දේශපාලන අර්බුදයේ සිටයි.

මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා යෝජිත යම් යම් විසඳුම් තිබේ. රට බංකොලොත් තත්වයෙන් මුදාගැනීම පළමු පියවරයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීමටත්, අප දැනට ආපසු ගෙවීම අත්හිටුවා තිබෙන විදේශ ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමටත් යෝජිතය. ඒ සඳහා, මෙතෙක් ගත් ණය ගෙවන ආකාරය පිළිබඳ වැඩපිළිවෙලක් හා අනාගත ණය සම්බන්ධයෙන් ඉදිරිදැක්මක් නිර්මාණය කරගත යුතුය.

ඒ සඳහා අප මේ අන්දමින් ණය බරකට යට වූයේ ඇයිදැයි නිවැරදිව හඳුනාගත යුතුය. ලංකාව මුහුණදුන් අර්බුද දෙකක් තිබේ. එකක් අපනයන මගින් ලබන ආදායමට වඩා වැඩි වියදමක් දරමින් ආනයන සිදුකිරීමයි. විදේශ රැකියා මගින් ලැබෙන ආදායම් අඩුවීම හා සංචාරක කර්මාන්තය කඩාවැටීමත් සමග අපට ඉන්ධන, ඖෂධ හා ආහාර වැනි අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් ගෙවන්නට ප්‍රමාණවත් තරම්වත් ඩොලර් හිඟ විය. මේ වන විට අප දැඩි ලෙස ආනයන සීමාකර තිබේ. එය අපේ ජීවන ගුණයට බලපා තිබේ. ජනයාගේ පෝෂණය, සෞඛ්‍යය, අධ්‍යාපනය, විනෝදාස්වාදය වැනි සියලු දේවලට එය බලපා තිබේ. අප මෙම සීමාකිරීම්වලින් හැකි ඉක්මනින් නිදහස් විය යුතුය. ඒ සඳහා අපේ ආර්ථිකය ගොඩනගාගත යුතුය. නිෂ්පාදනය, සේවා සම්පාදනය දියුණු කිරීමට අප සැම මහන්සි විය යුතුය.

විසඳාගත යුතුව තිබෙන බරපතලම අනෙක් අර්බුදය වන්නේ රාජ්‍ය මූල්‍ය අර්බුදයයි. රාජ්‍ය ආදායම් මෙන් දෙගුණයක් පමණ ප්‍රතිශතයක් රාජ්‍ය යන්ත්‍රය නඩත්තු කිරීමට හා ණය ගෙවීමට වැය වීම නිසා රජයේ ණය බර දිනෙන් දින වැඩිවෙමින් තිබේ. විසඳුම කුමක්ද? රාජ්‍ය ආදායම් වැඩිකරගත යුතුය. වියදම් අඩු කළ යුතුය.

එහෙත්, මෙය කරන්නේ කෙසේදැයි කෙළින් කියන්නට බොහෝදෙනා බිය වෙති. රාජ්‍ය ආදායම් වැඩිකරගන්නට ප්‍රධාන ක්‍රමය වන්නේ බදු හා බදු නොවන ආදායම් වැඩිකරගැනීමයි. වියදම් අඩුකරගැනීමට නම් පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කළ යුතුය. ශ්‍රීලන්කන්, විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, ලංගම, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, සතොස වැනි පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කළ යුතුය. 400ක් පමණ රාජ්‍ය ව්‍යවසාය අතරින් 52ක් 2006-2021 කාලයේදී රු. බිලියන 1,500ක් පාඩු ලබා ඇති බව වාර්තා වේ.

එතැනින් නොනැවතී, රජය නැවත මෙවැනි රාජ්‍ය මූල්‍ය අර්බුදයක් වෙත තල්ලු වීම වළක්වා ගැනීම සඳහා රජය නියාමනයට සීමාවී භාණ්ඩ හා සේවා වෙළඳාම නිදහස් වෙළඳපොළට සම්පූර්ණයෙන් පවරාදිය යුතු බව අපි කියන්නෙමු. රජය රැකියා සම්පාදනයට නොව රැකියා නිර්මාණයට හා ව්‍යවසායකත්වයට අවධානය යොමුකළ යුතුය. පුරවැසියන් හට නිෂ්පාදනය වැඩිකිරීම සඳහා දායක වීමට තිබෙන ස්වාධීන සමුපකාර වැනි විවිධ ක්‍රමවලට පහසුකම් සැපයිය යුතුය. විවිධ සේවා සමුපකාර සමිතිවලට කළ ආකාරයට රජයේ යටතට සමුපකාරය පවා පත්කරගැනීම නැවැත්විය යුතුය.

මෙම පරිවර්තන සමග රැකියා අහිමි වීමට ඉඩ තිබෙන, ව්‍යාපාර බිඳවැටෙන, ජීවනෝපාය අහිමි වන, අවදානමට ලක්වන ප්‍රජාවන් වෙනුවෙන් ආරක්ෂණ ජාලයක් නිර්මාණය කළ යුතුය. ඒ වෙනුවෙන් ද සමෘද්ධි අධිකාරිය වැනි දැවැන්ත අකාර්යක්ෂම රාජ්‍ය ආයතන නිර්මාණය නොකර දිළිඳු ජනයාගේ ගිනුම්වලට කෙළින්ම මුදල් බැරවන ක්‍රම සම්පාදනය කළ යුතුය.

අපේ සිහිනය අපේ ජීවිත මත සුදු අලියෙකු ලෙස කඩා නොවැටුණු, දක්ෂතාවන්ට මුල්තැන දෙමින් පාලනය කරන කාර්යක්ෂම රජයකි. අපේ සිහිනය යථාර්ථවාදී රාජ්‍ය නියාමනයට යටත් වූ සාධාරණ වෙළඳපොළකි. අසාධාරණ රාජ්‍ය බාධාවලින් තොර තරගකාරී වෙළඳපොළ ආර්ථිකයකි. නැති බැරි ජනයා රැකගන්නා සමාජ ආරක්ෂණ ජාලයකි.

අපේ සිහිනය මෙම තත්වයන්ගේ පැවැත්මට උපකාරී වන, ඒකාධිපතිවාදය පිටුදකින, සියලු ප්‍රජාවන් වෙත සාධාරණ අන්දමින් බලය බෙදී යන ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට පක්ෂ අභ්‍යන්තරය හරහා සමාජය හා පවුල දක්වාම විහිදෙන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයකි.

අපේ සිහිනය රාජ්‍ය හෝ වෙනත් බලහත්කාරයන් හා ප්‍රචණ්ඩත්වය වෙනුවට නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත දේශයකි.

අපේ සිහිනය දහසක් මත ගැටෙන, දහසක් මල් පිපෙන සාමකාමී, සුන්දර සිරි ලංකාවකි.

අපේ සිහිනය අපමය. වෙනස අපම වන්නෙමු.

අප සමග එක්වන්න කැමති නම්, අමතන්න පිලිප් දිසානායක – 077 774 9740 / අජිත් – 077 1229191

1 thought on “මගේ රට වෙනුවෙන් මට සිහිනයක් ඇත

  1. 60′ දශකයේ එක්තරා දිනක හොරණ ප්‍රදේශයේ විශ්‍රාමලත් ගුරුවරයකු හමුවන්නට කොළඹ සිට මිතුරකු ගියේය. මිතුරා සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිටි ගුරුවරයා ඔහු ගෙතුළට කැඳවා අල්මාරියක් හැර සූට්කේසයක් එළියට ගත්තේය.

    මේසය මත තබා එය විවර කළ විට දුටු දෙයින් මිතුරා විමතියට පත්විය. එහි වූයේ විවිධ ප්‍රමාණවල සෑහෙන ගල් සහ ගඩොල් කැබලි කීපයකි. ඒ ගැන පැහැදිලි කිරීමේදී ගුරුවරයා කීවේ ඒවා පසුගිය මැතිවරණය පරාජය වූ විට ඉදිරිපිට නිවෙසේ යූ.එන්.පී.කාරයා තම නිවෙසට ගැසූ ගල් බවය.

    ඔහු එම ගල් සුරක්ෂිතව තබා තිබුණේ ඊළඟ මැතිවරණය දිනූ පසු නැවත පහරදීම සඳහාය.

    එකල මහ මැතිවරණයක් අවසානයේ රටම යුද පිටියක් විය. අඩු තරමේ හත්අට දෙනෙක් මියගිය අතර නිවාස තුන් හාරදාහක් ගිනිබත් විය. පාක්ෂිකයන්ට ජයග්‍රහණය භුක්ති විඳීම සඳහා පොලිසියට නිවාඩු දුන් අවස්ථාද වාර්තා විය. නමුත් ඒ කිසිවක් එකල පැවැති ආණ්ඩු, ත්‍රස්තවාදය ලෙස අර්ථ ගැන්වූයේ නැත. එකල ශ්‍රී ලංකා පොලිසිය ජයග්‍රහණයෙන් උදම්ව ගෙවල් ගිනි තැබූ දේශපාලන පක්ෂවල නායකයන් ලුහුබැඳ ගොස් ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරුවේද නැත.

    1983 කළු ජූලියේදී දෙමළ ජනතාවගේ නිවාස දස දහස් ගණනක් පුලුස්සන ලද අතර දෙමළ ජනයා 4000කට ආසන්න ප්‍රමාණයක් මංමාවත්වල මරා පුලුස්සා දමනු ලැබීය. සිංහලයන්ගේ එම ක්‍රියා ත්‍රස්තවාදය ලෙස හැඳින්වූයේ නැත. පොලිසිය මිනීමරුවන් ලුහුබැඳ නොගිය අතර එකදු නඩුවක් හෝ පැවරුවේ නැත. වර්තමාන ජනාධිපතිවරයා එදා පැවැති ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙකි. රටක නීතියක් තිබිය යුතු බව එදා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කීවේද නැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එදා ද තිබිණ.

    1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන (තාවකාලික) පනත ඉදිරිපත් කරමින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ප්‍රකාශ කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කිරීම සඳහා මාස 6ක කාලයක් ඉලක්ක කරගෙන පනත ගෙන එන බවය. ඊට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලබා ගත හැකි වූයේ කෙටි කාලයක් ඉලක්ක කර ගත් පනතක් වූ නිසාය.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සවස විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් එකතුව කොළඹ හයිඩ් පිටියේ පනතට එරෙහිව විරෝධතා රැලියක් පැවැත්වීය.

    විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් සමඟ ජවිපෙ නායක රෝහණ විජේවීර එකම වේදිකාවක පෙනී සිටි එකම අවස්ථාවද එය විය.

    මාස හයකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අකුළා ගත්තේ නැත. පනත ඉවත් කරගන්නා බවට මෙරට ආණ්ඩු ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ අවස්ථා ගණනාවක් පොරොන්දු වුවද වසර 43ක් ගත වී ඇතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) විශේෂ විධිවිධාන පනත තවමත් ක්‍රියාවට නැඟේ.

    නීති විශාරදයන් පැහැදිලි කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ “ත්‍රස්තවාදය” අර්ථ දක්වා නැති බවය. එබැවින් එය යොදා ගන්නා ආණ්ඩුවලට අවශ්‍ය පරිදි කබරගොයා තලගොයා කළ හැකිය. ආණ්ඩු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගන්නේ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය සඳහා බවට අටුවාටීකා අවශ්‍ය නැත.

    අරගලය විසින් සමාජ පරිවර්තනයක් ඇති කළ බව ප්‍රකාශ කරමින් අරගලයේ නායකයන් සිරගත කරන දෙබිඩි දේශපාලනයට ජනතාව පිළිතුරු දිය යුතුය. අපකීර්තිමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ව්‍යාජ සළුපිළි අන්දවා ජනතාව මුළා කරන්නට වෑයම් නොකර ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන පනත මුළුමනින්ම අහෝසි කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා වී ඇති ජනතාවගේ භාෂණයේ නිදහස තහවුරු කළ යුතුය.

Leave a Reply to Lakshman Jayasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: