Dr. Wickramabahu Karunarathna

අජිත් පැරකුම් ජයසිංහ – 2020 පෙබරවාරි 2දා අනිද්දා පුවත්පතේ පළ විය

සිවිල් සමාජය නියෝජනය කිරීම සඳහා 2015 මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද ජයම්පතී වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඉල්ලා අස් වූ පසු ඉදිරි සති කිහිපයක් පමණක් පැවතිය හැකි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස සිවිල් සමාජ සංවිධායක සමන් රත්නප්‍රිය පත් කරන ලදී. පසුගිය වකවානුවේදී සිවිල් සමාජය සංවිධානය කිරීම සඳහා කටයුතු කළ ප්‍රධාන පුද්ගලයකු වන සමන් රත්නප්‍රිය එම තනතුරට යෝග්‍ය බව ද ඔහු එම තනතුරට පත් කළ යුතුව තිබුණේ මීට පෙර බව ද අමුතුවෙන් කියන්නට දෙයක් නැත.

Translations by Creative Content Consultants

මෙම පත්කිරීම සම්බන්ධයෙන් මා සමග කතා කළ මගේ මිතුරෙකු ඇසූ කරුණක් වන්නේ වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා එම තනතුරට පත්කිරීමට තිබුණා නොවේ ද යන්නයි.

මේ අතර ජානක ලියනආරච්චි විසින් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සම්බන්ධයෙන් ලියන ලද ලිපියක වැදගත් කරුණු රැසක් අඩංගු විය.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දක්ෂ විද්‍යාර්ථියෙකි.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධිය ලැබූ වික්‍රමබාහු කරුණාරත්න එහි කණිෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස 1965දී සේවයට බැඳී පසුව ශිෂ්‍යත්වයක් ලැබ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ න්‍යායාත්මක භෞතික විද්‍යාවේ ව්‍යවහාරික ගණිත අංශයෙන් ආචාර්ය උපාධිය ලබාගත්තේ ය. මහා භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් වික්‍රමබාහු සමඟ එකම පීඨයක අධ්‍යාපනය හැදෑරූ සරසවි සගයෙකි.

“අපි විසිපහකට වඩා නොඅඩු කණ්ඩායමක් හිටියට අපි කළ පර්යේෂණ වෙනස්. හෝකින්ගේ කණ්ඩායම හිටියෙ වෙනත් කාමරයක. ඔවුන් විශ්වය සම්බන්ධ පුළුල් ක්ෂේත්‍රයක පර්යේෂණ කළා. ඔහුගෙ කණ්ඩායමේම පර්යේෂණ සගයෙක් තමයි ලාංකිකයෙක් වූ ආචාර්ය ශාන්ත ද අල්විස්. ශාන්ත මේ වනවිට ඉන්නෙ ඇමරිකාවෙ. ඔහු විශිෂ්ට විද්‍යාඥයෙක්. මට වඩා ගොඩක් හොඳට ශාන්ත හෝකින්ව දන්නවා. මම හිටියෙ හෝකින්ගෙ පර්යේෂණ කණ්ඩායමේ නෙමෙයි. තරංගවලට බාධක ඇතිවන ආකාරය ගැන තමයි මා ඇතුළු මගේ කණ්ඩායම පර්යේෂණ කළේ. කණ්ඩායම භාරව හිටියෙ ආචාර්ය ක්ලෙමෝ. ආචාර්ය ක්ලෙමෝ කටයුතු කළේ ලෝකයේ සුප්‍රකට තාරකා විද්‍යාඥ ශ්‍යාමන් යටතේ. සූර්යයාගෙන් පිටවන වලාකුළු වගේ දෙයක් තියනවා. ඒවා පාවෙලා යනවා. එහි ඇතිවන යම් යම් තරංගවලින් පිපිරීම් ප්‍රමාණයක් ඇති වෙනවා. අපි ඒ පිපිරීම් ගැන පරීක්ෂණ කළා. ඒක නිශ්චිත විෂයයක්. හෝකින්ස්ලාගෙ පර්යේෂණ ක්ෂේත්‍රය ඊට වඩා පැතිරිලා තිබුණා. ඔවුන් විශ්වයේ විවිධ පැතිවලට බලපාන කරුණු ගැන පර්යේෂණ කළා.”

හෝකින්ගේ සමකාලීනයකු වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැනි විද්වතකුගෙන් අපට ඔහු වර්තමානයේ අත්පත් කරගෙන ඇති දෙයට වඩා යමක් ලබාගත නොහැකි වූයේ ඇයි?

“මම ලංකාවට ආවා. අවුරුදු 18ක් විශ්විද්‍යාල ආචාර්යවරයෙක් ලෙස කටයුතු කළා. 1978 දී යූ.එන්.පී ආණ්ඩුව මාව සරසවියෙන් ඉවත් කළා. එතකොට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ. අවුරුදු 40කට පස්සෙ රනිල් වික්‍රමසිංහ අගමැතිගෙ ආණ්ඩුව යළිත් මාව සේවයේ පිහිටෙව්වා. විශ්වවිද්‍යාලයෙන් නෙරපා සිටි වකවානුවේ විවෘත විශ්වවිද්‍යාලයේ උපදේශකවරයෙක් විදිහට වැඩ කළා. පර්යේෂණ කණ්ඩායමක් එක්ක බුදු දහමේ දර්ශනවාදය පිළිබඳ පර්යේෂණයක් කළා. මගෙ පර්යේෂණ ක්ෂේත්‍රය වුණේ බුදුදහම, විද්‍යාව හා මාක්ස්වාදී දර්ශනය. මේ දර්ශනවාද තුනෙන්ම ලෝක විෂය පිළිබඳ ඉදිරිපත් කරලා තිබෙන්නෙ එකම කරුණු. මා මේ සම්බන්ධව නිබන්ධනයක් ඉදිරිපත් කළා. මේ අදහස පදනම් කරගෙන මහාචාර්ය වයි. කරුණාදාස හා මම මේ වනවිටත් ඒ පිළිබඳව තවදුරටත් හදාරමින් ඉන්නවා. ඒ හැදෑරීම පදනම් කරගෙන ෆිලෝසොෆි ඔෆ් බුඩිසම් ඇන්ඩ් සයන්ස් කියන පර්යේෂණ කෘතිය ගොඩනන්වනවා.”

ආචාර්ය වික්‍රමබාහු යනු වාමාංශික ව්‍යාපාරයේ ආවේණික ලක්ෂණ හේතුවෙන් අපතේ ගිය තවත් එක් බුද්ධිමය සම්පතක් ලෙස මා කරන යෝජනාවට වාමාංශිකයන් එකඟ නොවනු ඇත. එහෙත්, වාමාංශික ව්‍යාපාරය විසින් අවසානයේදී මේ රටට ලබා දී තිබෙන දේ මෙන් ම මෙවැනි නාස්ති ද අතිවිශාල ය. වික්‍රමබාහු සහෝදරයාගේ නම් අඩු ගණනේ ජීවිතය හෝ ආරක්ෂා විය. වියපත් පුද්ගලයකු වුව ද ඔහු තවමත් දේශපාලනික වශයෙන් සක්‍රිය ය. 2015 ජනවාරි 8 මෘදු විප්ලවය වෙනුවෙන් ඔහු දායක වූයේ ය. එහෙත්, එම විප්ලවය අන්ත පරාජයකට ලක්වනු දැක දැක එය වළක්වාගැනීමට හැකි තරම් බලයක් ඔහුට ගොඩනැගුණේ නැත. වාමාංශිකයන් තවත් වාමාංශිකයකුට එවැනි බලයක් ගොඩනගා නොදීම ඉතා සාමාන්‍ය ලක්ෂණයකි. සෑම වාමාංශිකයෙකු ම පාහේ සිතන්නේ තමන් ඉතිහාසය විසින් බිහි කරන ලද මහා මෙහෙවරක් උර මත තබාගෙන සිටින පුද්ගලයකු ය කියා ය. එහෙයින් වාමාංශිකයන් සැලකිලිමත් වන්නේ තමන්ගේ තැන පිළිබඳ මිස සහෝදරයාගේ තැන ගැන නොවේ. එක්සත් ජාතික පෙරමුණෙන් හෝ ඔහුට අවස්ථාවක් නොලැබුණේ මේ පසුබිම නිසා ය. කෙටියෙන් කිවහොත්, ඔහු වෙනුවෙන් තැනක් ලබා දිය යුතු බව යෝජනා කරන්නට කිසිවෙකු සිටියේ නැති බව මම සිතමි. පුද්ගලයකුගෙන් ගතහැකි වැඩ ගැන රනිල් වික්‍රමසිංහට හැඟීමක් තිබුණේ නැත. ඔහු නායකත්වය දුන් ආණ්ඩුව තිරසර කිරීම සඳහා උර දිය හැකිව තිබුණු බොහෝ අයට අවස්ථාවක් හෝ ලබාදීමට ඔහුට උනන්දුවක් තිබුණේ නැත. තනතුරුවලින් ‘පිදුම් දුන්’ අයකු වන ඔහුට වඩා ගෝඨාභයගේ කමිටු වැඩසටහන ද සෑහෙන දුරට ඉදිරිගාමී ය.

2006දී පමණ පැවැත්වුණු පළාත් සභා මැතිවරණයකදී ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් පළාත් සභාවට පත් කර යැවීම සඳහා ප්‍රචාරණ ව්‍යාපාරයට අපි උර දුන්නෙමු. එහෙත්, එය සාර්ථක වූයේ නැත. වර්තමානයේ පවතින තත්වය තුළ ඔහුට මහජන නියෝජිතයකු ලෙස පත් වීමට තිබෙන අවස්ථාව අවම ය. එහෙත්, මුළු ජීවිත කාලය පුරා ම වික්‍රමබාහු සහෝදරයා පීඩිත මහජනයා නියෝජනය කළ අයෙකි. එය වැඩිපුර ම නොදන්නේ එකී පීඩිතයෝ ම ය.

ජනප්‍රියත්වය වෙනුවෙන් ඔහු කිසිදු කලෙක ජාතිවාදයට යට වූයේ නැත. බොහෝ දෙනෙකු ඔහු දකින්නේ දෙමළ ජාතිවාදයට කත් ඇද්ද අයෙකු ලෙස වුව ද, ඔහු ජනප්‍රිය දෙමළ ජාතිවාදය සමග පවා සිටගත්තේ නැත. 2004 මහ මැතිවරණයේදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට නාස්ති කරන්නට තරම් මන්ත්‍රීවරුන් සිටිය ද ජාතික ලැයිස්තුවෙන් හෝ වික්‍රමබාහු සහෝදරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ධුරයකට පත් කිරීමට කොටි සංවිධානය උනන්දුවක් නොදැක්වූයේ එම නිසා විය හැකි ය.

වික්‍රමබාහු සහෝදරයා පමණක් නොව, වාමාංශික හා දක්ෂිණාංශික දේශපාලනඥයන් බොහෝ දෙනෙකු විසින් ලංකාව වෙනුවෙන් කරන ලද මැදිහත්වීම්වල ප්‍රතිඵල සාධනීය නැත. එම මැදිහත්වීම් ගැන අවසානයේදී සතුටු විය හැක්කේ එක දෙයක් මත පමණි. එනම්, එම මැදිහත් වීම් සිදු නොවුණා නම් තත්වයන් වඩාත් නරක වන්නට ඉඩ තිබුණා ය කියා ය. වික්‍රමබාහු සහෝදරයා ශ්‍රී ලාංකික රාජ්‍යය සුළුතර ප්‍රජාවන්ගේ හිමිකම් සුරක්ෂා වන පරිදි ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයකට ලක්කිරීම වෙනුවෙන් ජීවිත කාලයක් පුරා සටන් කළේ ය. මා එසේ කියනුයේ විප්ලවය අමතක කරමිනි. දැන් වාමාංශිකයන් පවා විප්ලවය ගැන කතා කරන්නේ නැත. වික්‍රමබාහු සහෝදරයා වැනි අයගේ මැදිහත් වීම කුමක් වුව ද, වර්තමානය වන විට සිංහල බෞද්ධ අධිපතිවාදය රාජ්‍යය තුළ අන් කවරදාටත් වඩා බලවත් වී තිබේ.

දේශපාලනය හැර බාහු සහෝදරයාට සමාජ ප්‍රගමනය වෙනුවෙන් කළ හැකිව තිබුණු තවත් බොහෝ දේ තිබිණි. ඔහු විද්‍යාඥයෙකි. දාර්ශනිකයෙකි. එහෙත්, ඒ ගැන ඔහුගේ ලිවීම් හා දේශන ආදිය ප්‍රමාණවත් නැත. දේශපාලන උද්ඝෝ්ෂණ විසින් ඔහුගේ කාලය නාස්ති කළ බව මම සිතමි. එයට වගකිව යුත්තේ කවුරු ද?

බාහු සහෝදරයාගෙන් මිනිස් සමාජයට ලබාගත හැකිව තිබුණු ප්‍රයෝජනය ලබාගැනීමට බැරි වීම පිළිබඳ වගකිව යුත්තේ සමාජය ය යන්න ද වාමාංශික අදහසකි. බාහු සහෝදරයාට එහෙම වීම සම්බන්ධයෙන් වැඩිපුර ම වගකිව යුත්තේ බාහු සහෝදරයා ම ය. තමන්ගේ හැකියාවන් පූර්ණ කරගැනීම පුරවැසියකු ලෙස තමන්ගේ ම වගකීමකි. සමාජයට පුළුවන් එයට උදව් කිරීමට පමණි. පුද්ගලයා තම හැකියාවන් පූර්ණ කරගැනීම සඳහා බාධක සමග නිරන්තර අරගලයක යෙදිය යුතු ය. සමාජය උපකාර කළත්, නොකළත් තමන්ගෙ ශක්‍යතාවන් සොයාගෙන සමාජය වෙනුවෙන් තමන්ගේ උපරිමය සිදුකිරීම පුද්ගලයකුගේ සමාජමය වගකීමයි.

‍දේශපාලනයෙදි බාහු සහෝදරයා නියෝජනය කරන්නෙ මූලධාර්මික ධාරාවක් මිස තත්කාර්යවාදී දේශපාලනය නොවේ. පැරණි වම මෙන් ම අලුත් වම ද මූලෝපායික වශයෙන් අසාර්ථක ය. එයට හේතුව, උවමනාවට වඩා දෘෂ්ටිවාදීමය හා මූලධාර්මික වීම යයි මම සිතමි. අනන්ත දෘෂ්ටිවාදයන් පවතින ලෝකයක එක් දෘෂ්ටිවාදයක් ආන්තිකව වැළඳ ගැනීම තරම් කෙනෙකුට කර ගත හැකි බුද්ධිමය විනාශයක් තවත් නැත. වික්‍රමබාහු සහෝදරයා චින්තනමය නිදහස අත්පත් කරගන්නා විට ඔහුගේ පක්ෂය තවමත් තිබෙනවා ද, එහි සිටින්නේ කවුරු ද යන්න ඔහුවත් දන්නේ නැත.

වික්‍රමබාහු සහෝදරයා ආගමික මාක්ස්වාදියෙකු විය. වර්තමාන යුගයේදී ඔහු දීර්ඝ කාලීනව උත්සාහ කරමින් සිටින්නේ බෞද්ධ හා මාක්ස්වාදී දර්ශනයන් අතර දාර්ශනික සාම්‍යයක් නිර්මාණය කරන්නට ය. බෞද්ධ දර්ශනය හා විද්‍යාව පිළිබඳ ඔහුගේ පර්යේෂණය විසින් ලෝකයට වටිනා බුද්ධිමය දායකත්වයක් සැපයීමට ඔහුට තවමත් කාලය තිබේ. ඔහුගේ සමකාලික ස්ටීවන් හෝකින් සම්ප්‍රදායික ආගමක් ඇදහුවා ද නැද්ද යන්න මම නොදනිමි. ඔහු විද්‍යාව සිය ආගම කරගන්නට ඇතැයි මට සිතේ.

Translations

2 thoughts on “බාහු සහෝදරයා: පාර්ලිමේන්තු නොගිය මහජන නියෝජිතයා

  1. Karaliye aalokayata viwurtha woo deasapaalana paksa ho niyedi puglalayan adu ho vedi wasayen kuhakaya . Nanuth Baahu sahodaraya ema karunin nidahaswe . Ithin paarlimenthu niyoojanayakata ohu nirdeasa nokiriema pudumayak nowe .

  2. Aagama saha Jaathiya pilibandawa andhabakthiya muhawath karanu laboo , aathmaarthaya mudun malkada karagath bahuthara samaajayak Baahu sahodarayaata awaya manaapaya die parlimenthuwa niyojanaya karawaida ?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.