Sri Lanka Police logo

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය, ලංකා පුවත්පත 2021 අප්‍රේල් 4

ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින් අඩක් පමණ සම්බන්ධයෙන් පොලිසිය වගකිව යුතුය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉතිරියට වගකිව යුතු ප්‍රධාන ආයතනයයි. එයට අමතරව පොලිසිය විසින් සැකකරුවන් වධහිංසනයට ලක්කිරීමේ සිදුවීම් රැසක් ද 2020දී වාර්තා විය. සාමකාමී මහජන උද්ඝෝෂණවලට බාධාකිරීම්, පහරදීම්, අත්අඩංගුවට ගැනීම් හා හිංසනයට පත්කිරීම් ද රැසක් වාර්තා විය. ජුනි මාසයේදී ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාන්තාවන් ඇතුළු ක්‍රියාකාරිකයන්ට පහරදීම එහිදී කැපීපෙනෙන සිදුවීමකි.

යහපාලන ආණ්ඩුව බලයේ සිටි 2015-2019 කාලය තුළ පොලිස් ප්‍රචණ්ඩත්වයේ යම් සීමිත පාලනයක් දක්නට ලැබිණි. අඩු තරමින් පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම හෝ අවම විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඊට පෙර අවුරුදු පහකදී සිදුවූ පොලිස් ප්‍රචණ්ඩ ක්‍රියාවලට වඩා ප්‍රචණ්ඩත්වයක් එක් වසරකදී වාර්තා විය. එසේ වීමට හේතුව කුමක්ද?

ආණ්ඩුව පොලිස් ප්‍රචණ්ඩත්වයට දිරිදෙන හැම කලකම පොලිසියේ අමානුෂිකත්වයට තටු ලැබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ සමයේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය දිරිගැන්වූ නායකයෙකි. ඔහු බලයට ගෙන ඒම පසුපස ද ඉන් පසු ද ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ට මෙන්ම ඡන්දදායකයන් අතරින් යම් පිරිසකට ද රාජ්‍ය ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය අවශ්‍ය විය. එහෙත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන් හැසිරුණේ නැති බව ප්‍රශංසාත්මකව පැවසිය යුතුය. ජනාධිපති ධුරය දරන්නා විසින් ගරු කළ යුතු මූලික ප්‍රජාතන්ත්‍රවාදයට තවමත් ඔහු ගරු කරයි. එහි යම් යම් ගැටලු නැති බවක් මෙයින් අදහස් වන්නේ නැත. ශ්‍රී ලංකාවේ 1978න් පසු සිටි ජනාධිපතිවරුන්ට වඩා අමුතු හොඳක් හෝ නරකක් හෝ වත්මන් ජනාධිපතිවරයා තවමත් පෙන්නුම් කර නැත. එහෙත්, ඔහු බලයට පත්වීමෙන් පසු ඇතැමෙකු ඔහුගෙන් බලාපොරොත්තු වූ තත්වයට අනුව හැසිරෙන බව පෙනේ. පොලිසිය ඒ අතරින් ප්‍රධානය.

ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ සිටින 80,000කට අඩු නිලධාරීන් අතරින් අඩකට වඩා යෙදී සිටින්නේ ප්‍රභූ ආරක්ෂක රාජකාරිවල බව පසුගිය දිනෙක මහජන ආරක්ෂක ආමාත්‍ය සරත් වීරසේකර පැවසීය. ප්‍රභූ ආරක්ෂාව සඳහා එතරම් පොලිස් නිලධාරීන් අවශ්‍යද? පොලිස් විශේෂ කාර්ය බලකාය ස්ථාපිත කර තිබෙන්නේම මෙම අරමුණ වෙනුවෙනි. එසේම, මේ රටේ ඊනියා ප්‍රභූවරුන්ට ඔය කියන තරම් ආරක්ෂාවක් අවශ්‍යද? ආරක්ෂක රථ පිරිවරාගෙන, මහ දවල් ලයිට් දමාගෙන, සයිරන් හඬවාගෙන, මාර්ග නීති හා සාමාන්‍ය ජන ජීවිතය නොතකා ගමන් යන මෙම සෝබනකාර මහජන නියෝජිත සංස්කෘතිය වෙනස් කළ යුතුය. පොලිසිය ප්‍රභූ ආරක්ෂාවෙන් ඉවත් කළ යුතුය. මහජන මුදලින් නඩත්තු වන පොලිසිය තිබෙන්නේ මහජන මුදලින්ම නඩත්තු වන ප්‍රභූන් ආරක්ෂා කරන්නට නොවේ. මහජන ආරක්ෂාව වෙනුවෙනි.

මහජන ආරක්ෂාව වෙනුවෙන් සේවයේ යොවන ලද පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නැත. අපට පොලිස් ස්ථානයේදී, මහමග රථවාහන හැසිරවීමේදී හමුවන පොලිස් නිලධාරියා වනාහි වැඩ වැඩිකමින් පීඩාවට පත්, ප්‍රමාණවත් විවේකයක් නැති, රජයේ සේවකයන්ට පොදු ප්‍රශ්නයක් වන මධ්‍යම පංතික අපේක්ෂාවන්ට සරිලන වැටුපක් නැති පුද්ගලයෙකි. මහමග අවිනීත රියදුරන් දහස් ගණනක් මැද කාකි ඇඳුම් ඇඳ, බර බූට් සපත්තු පැළඳ, ගිනි අව්වේ රාජකාරි කරන පොලිස් නිලධාරීන් මාර්ග අනතුරුවල ගොදුරු බවට පත්වූ අවස්ථා ගණන එකක් දෙකක් නොවේ. පොලිස් නිලධාරීන් ගණනාවක් ම මහමගදීම මරණයට ද පත්වූහ.

පොලිස් දෙපාර්තමේන්තුව වනාහි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) වගන්තියට ද පටහැණි බඳවාගැනීම්, උසස්වීම් පටිපාටියක් පවත්වාගෙන යන ආයතනයකි. “කීසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය,” යි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) වගන්තියේ සඳහන් වේ. එහෙත්, පොලිසියේ තනතුරු කාඩරයන් ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන්කර තිබේ. ශ්‍රී ලංකාවේ පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ෂානි ජාසිංආරච්චිගේ උසස්වීමට එරෙහිව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් රැසක් මූලික මානව හිමිකම් පෙත්මක් ගොනුකර තිබෙන්නේ එම පදනමිනි. එය එම පෙත්සම්කරුවන්ගේ වරදක් නොව පොලිස් ව්‍යූහයේම ගැටලුවකි. පොලිස් කාඩරයේ 77,000ක් පමණ වන නිලධාරීන් අතරින් තවමත් කාන්තාවන් සිටින්නේ 8,000කට අඩු සංඛ්‍යාවකි. එම නිලධාරිනියන් අතරින් වැඩි පිරිසක් සේවය කරන්නේ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේය. කාන්තාවන් හා ළමයින් එක්ව ගත්තත් මේ රටේ සමස්ත ජනගහනයෙන් 65%ක් පමණ වේ.

පොලිස් ව්‍යූහයේ වෙනස්කම් සිදුකිරීමේදී කාඩරය ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතුය. “පසුගිය දිනවල අපි ජාතික වශයෙන් පොලිසියට අවශ්‍ය කරන පිරිස් බලය හෙවත් කාඩරය කීදෙනෙකුද කියා සමීක්ෂණයක් කළා. ඒ අනුව, පොලිසියට 113,000ක පමණ කාඩරයක් අවශ්‍යයි. දැනට අනුමත කාඩරය 85,000ක්. ඒත්, ඇත්තටම පොලිසියේ ඉන්නේ 77,000ක්,” යි පොලිස් පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රේණුකා ජයසුන්දර පැවසුවාය.

එහෙත්, පොලිස් කාඩරය පුළුල් කිරීමෙන් පමණක් පොලිස් සේවයේ ගුණාත්මකභාවය වර්ධනය වන්නේ නැත. ඒ සඳහා මහජන සේවයක් ලෙස පොලිසිය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක් මත පදනම් වූ වැඩසටහනක් අවශ්‍යය. විශේෂයෙන්ම, යුද්ධයත් සමග පොලිස් සේවය බොහෝ දුරට අතුරු හමුදාවක ලක්ෂණ අවශෝෂණය කරගත්තේය. යුද්ධයකින් තොරව පවා විශාල හමුදාවක් නඩත්තු කරන ශ්‍රී ලංකාවට තවදුරටත් හමුදා රාජකාරි සඳහා පොලිසිය අවශ්‍ය නැත. එසේම, ත්‍රස්ත ක්‍රියා, මත්ද්‍රව්‍ය ජාවාරම්, භයානක අපරාධ ආදිය මැඩපැවැත්වීමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ හා අවශ්‍ය නම් හමුදාවල සහාය ලබාගැනීමේ හැකියාව තිබියදී තවදුරටත් පොලිසිය අතුරු හමුදාවක් විය යුතු නැත. පොලිසිය කුලී ඝාතන, නීති විරෝධී ඝාතන, අතුරුදහන් කිරීම්, වධහිංසා පැමිණවීම් හා දූෂණය වෙත වැඩිපුර යොමුවීමට මෙම අතුරු හමුදා ලක්ෂණ හේතු විය.

ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකා පොලිසියේ අභ්‍යන්තරයටම කාවැදුණු ලක්ෂණයකි. යුද්ධය හේතුවෙන් එය පොලිස් ව්‍යූහයේ නහර, ඇටමිදුළු දක්වාම ව්‍යාප්ත විය. යුද්ධයෙන් දෙළොස් වසරක් ඇවෑමෙන් පසු දැන් එම තත්වය වෙනස් කිරීමට රජය පැත්තෙන් බරපතල මැදිහත්වීමක් අවශ්‍යව තිබේ. ඒ සඳහා පොලිසිය නිල ඇඳුමේ පටන් වෙනස් කරන ඉතා උන්නතිකාමී වැඩසටහනක් අවශ්‍යය. පුහුණුවීම්, නැවත පුහුණුකිරීම්, නීති අධ්‍යාපනය, මානව හිමිකම් සංවේදීභාවය වැනි කාරණා මෙන්ම පොලිස් නිලධාරීන්ගේ මෘදු කුසලතා ගොඩනැගීම ද වැදගත්ය. තම ගනුදෙනුකරුවන් සමග ආචාරශීලී ලෙස කතාබහ කිරීම, විනීත හැසිරීම, සුහද අයුරින් සේවා සැපයීම සඳහා මෙම මෘදු කුසලතා ඉතා වැදගත්ය.

මේ ලිපියත් කියවන්න: අම්මා නිසා ආ දුර ගමනක කතාව

මේ අඩවියත් බලන්න: වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව