provincial council flags of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ

පළාත් සභා නවයම මේ වන විට තිබෙන්නේ ආණ්ඩුකාර පාලනය යටතේ ය. නැගෙනහිර, උතුරුමැද සහ සබරගමු පළාත් සභා 2017 ඔක්තෝබරයේ සිට ආණ්ඩුකාර පාලනය යටතේ ය. මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් සභා 2018 සැප්තැම්බර් සිට ආණ්ඩුකාරවරයා යටතේ ය. බස්නාහිර, දකුණ හා ඌව පළාත් සභාවල ධුරකාලය ද 2019 වසර තුළදී අවසන් විය. මේ වන විට පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකි තත්වයක් නිර්මාණය කර තිබේ. එය වනාහි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මැතිවරණ පරාජයන් වළක්වා ගැනීම සඳහා යොදන ලද උප්පරවැට්ටියකි.

පළාත් සභා මැතිවරණ කල් දමා තිබෙන්නේ කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර‍ ක්‍ර‍මය හා කාන්තා නියෝජනය ඉදිරියට ගෙන එමින් ලහිලහියේ පළාත් සභා පනත සංශෝධනය කිරීමෙනුයි. ඒ සඳහා අවශ්‍ය 2/3 බහුතර ඡන්දය ලබාගැනීමට ජවිපෙ හා දෙමළ ජාතික සන්ධානය පවා ආණ්ඩුවට සහයෝගය ලබාදුන්හ. ඡන්දය දීම සඳහා ඇතැම් මන්ත්‍රීවරුන් ගුවනිනුත් ගෙන්වාගන්නා ලදී. පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා උපක්‍ර‍මවලට අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා ඩිලාන් පෙරේරා සුවිශේෂ සම්බන්ධීකරණයක් සිදු කළේය. පසු කලෙක ඔහුගේ පියා වූ නැසීගිය මාෂල් පෙරේරා ඉතා වෘද්ධ අවධියක සිටියදී පළාත් සභා කීපයකම ආණ්ඩුකාර තනතුරුවලට පත්කිරීම ළබැඳියාවන් සම්බන්ධ බරපතල ගැටුමකට තුඩුදෙයි.

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලෙස උපරිම බලය බෙදාගැනීමක් වෙනුවෙන් උද්දේශනය කළ දෙමළ ජාතික සන්ධානය පළාත් සභා අක්‍රිය කිරීම සඳහා යහපාලන ආණ්ඩුවට සහාය දීම සම්බන්ධයෙන් ඔවුන් වගකියනවාද?

කොට්ඨාස ක්‍රමය හා සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ්‍ර‍ ක්‍ර‍මයකට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අලුතෙන් කොට්ඨාස සීමා නිර්ණය කිරීමක් සිදු කරන ලදී. එම සීමා නිර්ණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යහපාලන ආණ්ඩුවේ පක්ෂත්, මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන විපක්ෂයේ පක්ෂත් එක්ව එම සීමා නිර්ණය කොමිෂන් වාර්තාව පරාජය කරන ලදී. සීමා නිර්ණ කොමිෂම පත් කළ, හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂය නියෝජනය කළ පළාත් පාලන ඇමතිවරයා වූ ෆයිසර් මුස්තාෆා පවා සීමා නිර්ණය කොමිෂන් වාර්තාවට විරුද්ධව ඡන්දය දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ආ) හා 95(1) ව්‍යවස්ථාවන් අනුව 2015 නොවැම්බර් මස පිහිටුවන ලද සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපතිවරයා වූයේ ආචාර්ය කේ. තවලිංගම්ය. එහි අනෙකුත් සාමාජිකයන් වූයේ ආචාර්ය අකිලා ඩයස් බණ්ඩාරනායක හා මහාචාර්ය එස්.එච්. හස්බුල්ලාය. වර්තමාන ආණ්ඩුව විසින් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පත් කරන ලද සාමාජිකයන් වන්නේ මහින්ද දේශප්‍රිය, ජයලත් රවී දිසානායක හා පී.එච්.ජී. ප්‍රේමසිරි යන අයයි. සීමා නිර්ණය වෙනුවෙන් තමන් මහජන මුදලින් ලබාගත් වැටුප් හා වරප්‍රසාද සම්බන්ධයෙන් මෙම නිලධාරීන්ගේ වගවීම පවා උනන්දුව ඇතිකරන කාරණයකි.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ද සම අනුග්‍රාහකත්වයෙන් 2015දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව විසින් සම්මත කරනු ලැබූ 30/1 දරණ යෝජනා සම්මතයේ අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම ආදියයි. කරුණු ගණනාවක් ඇතුළත් වූ එක්සත් ජාතීන්ගේ මෙම යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකාව පොරොන්දු වී සිටිමුත් එය ඉටු කිරීමට ලංකාව අසමත් වීම හේතුවෙන් 2017 වසරේදී සම්මත කරගන්නා ලද 40/1 යෝජනා සම්මතය මගින් ඒ වෙනුවෙන් තවත් වසර දෙකක කාලයක් ලබාගන්නා ලදී. මෙම යෝජනා සම්මතයන් අනුව රජය ලබා දුන් පොරොන්දු 36 ක් පවතින බව ද එම පොරොන්දු ප්‍රධාන තේමාවන් පහකට වර්ග කළ හැකි බවද වෙරිටෙ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි. එනම් 1. සංක්‍රාන්ති යුක්තිය සහ සංහිඳියාව 2. අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍ය 3. ආරක්ෂාව සහ නිර්හමුදාකරණය 4. බලය බෙදා ගැනීම 5.අන්තර්ජාතික මැදිහත්වීම්.

ආර්ථික අර්බුදය හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව මේ වන විට ජාත්‍යන්තර කොන්වීමක අවදානමට දැඩි ලෙස මුහුණ දී තිබේ. වත්මන් ජනාධිපතිවරයා හා ආණ්ඩුව යුද අපරාධ හා බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිවයුතු අය වීම හේතුවෙන් ඔවුන්ගෙන් වගවීම ඉල්ලාසිටීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම හෝ ගලෙන් පට්ටා ලබාගැනීම වැනි දුෂ්කර කාර්යයකි. එහෙත්, බලය බෙදාගැනීමේ අවම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හෝ ඔවුන් යොමුකරගැනීමට හැකිවේද යන්න සොයාබැලිය යුතුය.

අඩු තරමේ පළාත් සභා ක්‍රමය යළි පණගැන්වීමටවත් ඔවුන් සමත් වේද? මේ වන විට ආණ්ඩුවේ පළාත් පාලන හා පළාත් සභා භාර ඇමතිවරයා වන සරත් වීරසේකර යනු පළාත් සභාවලට විරුද්ධව විවෘතවම කතා පවත්වන අන්ත ජාතිවාදී අදහස් ඇති අයෙකි. ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය පැවැත්වෙන අතරතුර ඔහු හිටිවනම බුර්කා හා නිකාබ් තහනමක් යෝජනා කිරීමට කටයුතු කළේ කුමන හේතුවක් මත ද යන්න විග්‍රහ කිරීම තරමක් සංකීර්ණ කාරණයකි. ජනාධිපතිවරයා මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් තමන්ගේ කළු ඉතිහාසය මතක් කිරීම ද එවැනිම තත්වයකි. මෙම පාලකයන්ට ඇත්තෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව සමග හිතාමතාම බාල්දි පෙරළාගන්නට උවමනාවක් නොතිබුණා නම්, අපට සිතන්නට වන්නේ ඔවුන් රටක නායකත්වයකට කිසිසේත් නුසුදුසු රාජ්‍ය තාන්ත්‍රික අඳබාලයන්ය කියාය. පළාත් සභා ගැන පවා අපට කතාකරන්නට සිදුවන්නේ මෙවැනි සංදර්භයකයි. මොවුන් කුමන ආකාරයේ අද්භූත දේශපාලන සත්වයන් පිරිසක් ද යන්න විග්‍රහ කිරීම අපහසුය. එවැනි අද්භූත ජීවීන් රටක නායකයන් වීම බරපතල අභාග්‍යයකි.

දැනට ක්‍රියාත්මක පළාත් සභා පනත අනුව පළාත් සභා මැතිවරණ පවත්වන්නට නම් අලුත් සීමා නිර්ණයක් සිදු කළ යුතුය. එහෙත්, ඒ සඳහා විධිමත් අන්දමින් කටයුතු කරන බවක් නොපෙනේ. එසේ නැතිනම් පළාත් සභා පනත තිබුණු ආකාරයෙන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු කළ යුතුය. මේ දෙකට ම ආණ්ඩුව පමණක් නොව, දෙමළ ජාතික සන්ධානය හා සෙසු දෙමළ පක්ෂ ඇතුළත් විපක්ෂය පවා උනන්දුවක් දක්වන්නේ නැත.

උතුරු පළාත හැර සෙසු පළාත්වල බලය විමධ්‍යගත කරනු ලැබුවේ ඉල්ලීමකින් හෝ තොරවයි. ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කරන ලද උතුරු නැගෙනහිර පළාත්වල පළාත් සභා කිසි සේත් ම අක්‍රිය නොවිය යුතුය. අවම විසඳුම පවා අත්හැර දමා ඉන් එහා විසඳුම් සොයන්නට බැරිය. පළාත් සභා අක්‍රිය කිරීම බෙදුම්වාදය දිරිදෙන ක්‍රියාමාර්ගයකි. එකී පළාත් සභා අක්‍රිය කරන්නට උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ සහයෝගය දෙන්නේ එම පදනමින් විය හැකිය. එතකොට දකුණේ සිංහල අන්තවාදීන් නැවත වරක් හැසිරෙන්නේ උතුරේ ජාතිවාදී මස්සිනාලාට සහාය පිණිස නොවේද යන ප්‍රශ්නය මතුවේ.

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙතෙක් ගෙනෙන ලද එක ම දේශපාලන විසඳුම පවා, එහි ප්‍රමාණවත් අප්‍රමාණවත්බව පිළිබඳ සාකච්ඡා පසෙක තිබියදී මෙසේ ගෙඩිය පිටින් අත්හිටුවීමට වංචනික අන්දමින් කටයුතු කිරීම කෙරෙහි ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සමාජ සංවිධානවල පමණක් නොව, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පවා අවධානය ප්‍රමාණවත් තරමින් යොමු නොවීම විස්මිත කරුණකි.

මේ ලිපියත් කියවන්න: බල පොරයේ ගිරයට අසු වුණ පළාත් සභා පුවක් ගෙඩිය

පළාත් සභා අහෝසි කළ යුතුය

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: