අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය, ලංකා පුවත්පත 2022-01-22

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංවර්ධන මූලෝපායන් තෝරාගැනීමේදී ධනවාදය විසින් යෝජනා කරනු ලබන්නේ ගෝලීය නිෂ්පාදන හා සේවා දාමයන් සමග මැනවින් සම්බන්ධ වීමයි. එහිදී නිදහස් වෙළඳාම, ව්‍යාපාර කිරීමේ පහසුව, ජාත්‍යන්තර හවුල්කාරීත්වයන්, ආයෝජන, තාක්ෂණය, රාජ්‍ය මූල්‍ය විනය, පෞද්ගලික අංශය, ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාව ආදිය අතිශය වැදගත් වේ.

එම මූලෝපාය අනුව ශ්‍රී ලංකාවට මේ මොහොතේදී විදේශ ආයෝජකයන් සමග හවුල්කාරීත්වයන් ඉතා වැදගත් වේ. චීනය සමග වරාය නගර හවුල්කාරීත්වය ද, ඉන්දියාව සමග ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සම්බන්ධ හවුල්කාරීත්වය ද, ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමග යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් සහ කොළඹ, වෙරළට ඔබ්බෙන් නව එල්එන්ජී පර්යන්තයක් සංවර්ධනය කිරීමේ ආයෝජනය සඳහා  පිළිබඳ ගිවිසුම ද වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට වැදගත් වන්නේ එම සංදර්භය තුළයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් වන, යුරෝපා සංගමය, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බ්‍රිතාන්‍යය, රුසියාව, පකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින වැනි රටවලට ද ශ්‍රී ලංකාව සම්බන්ධ අභිලාෂයන් තිබේ. ඒවා ද ලංකාවට ඉතා වැදගත්ය.

යුදමය හා ජාත්‍යන්තර වෙළඳාම පැත්තෙන් මූලෝපායික මධ්‍යස්ථානයක පිහිටි රටක් වන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉහත දක්වන ලද රටවල් හා තවත් රටවල් අතර තරගකාරීත්වයක් තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනයට, ආර්ථිකයට හා සමාජයට බලපෑම් කිරීමේ හැකියාව ඉහළ නංවාගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. එය ශ්‍රී ලංකාවට වාසි අවාසි දෙකම සහිත තත්වයකි. ශ්‍රී ලංකාවේ ධනවාදී ආණ්ඩුවල මූලෝපායන් තීරණය වන්නේ එම බල සම්බන්ධතාවල ස්වභාවය අනුවයි.

ඒ අනුව, කලින් කලට ලංකාව විවිධ බලවතුන් දෙසට දෝලනය වන ආකාරයක් දක්නට ලැබේ. එහිදී බොහෝවිට සිදුවී තිබෙන්කේ එක් රටක් උදව් කිරීමට අදිමදි කරන විට වෙනත් රටක් වෙත ගොස් උදව් ලබාගැනීමයි. අලුත්ම තත්වය නම්, ලංකාවේ හොඳම හිතවතා බවට ඉන්දියාව පත්වීමයි. ඉන්දියාවේ මැදිහත් වීමේ තීව්‍රතාවට සාපේක්ෂව චීනය ද මැදිහත් වේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට තිබෙන්නේ ජාත්‍යන්තර ආධාර නොමැතිව පැවතිය නොහැකි මට්ටමකය.

නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයට, යුරෝපා සංගමයට හෝ ජපානයට වඩා සමීප වන්නට මෙන්ම, බටහිර ආර්ථික මූලෝපායන් සමග අනුගත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නට ද ඉඩ තිබේ.

ශ්‍රී ලංකාවේ අර්බුදයේ පැතිකඩ දෙකකි. එක් පැත්තකින් රාජ්‍ය මූල්‍ය අර්බුදයකි. රජයට ආදායම් හා වියදම් තුලනය කරගැනීමේ ගැටලුවක් තිබේ. රාජ්‍ය ණය ආපසු ගෙවීමට යන වියදම හා රාජ්‍ය අංශය නඩත්තු කිරීමට යන වියදම එහිදී ප්‍රධාන ගැටලු වී තිබේ. අනෙක් අර්බුදය වන්නේ වෙළඳ ශේෂ අර්බුදය හෙවත් අවශ්‍ය ආනයන සිදුකිරීමට තරම් විදේශ ආදායම් ප්‍රමාණවත් නොවීමයි. මෙහිදී විදේශ ආදායම් ප්‍රමාණවත් නොවන්නේ ආනයන සිදුකිරීමට පමණක් නොවේ. රජයේ ණය ගෙවීමට ද අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍යය. 2022 වසරේදී පමණක් ඒ සඳහා ඩොලර් බිලියන හතකට වඩා අවශ්‍යය.

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු දල්වන තත්වයක් ද නිර්මාණය වී තිබෙනු දැකිය හැකිය. ඒ සංචාරක කර්මාන්තයේ ඇතිවී තිබෙන නවෝදයයි. 2022 වසරේදී සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම මෙන්ම, විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ හා ඍජු විදේශ ආයෝජන ද ඉහළ නංවාගෙන ආර්ථික අර්බුදයෙන් යම් දුරකට ගොඩඒමට හැකි වේ යයි ආණ්ඩුව බලාපොරොත්තු තබා තිබේ. කෙසේ වෙතත්, ආනයන සීමා, බලශක්ති අර්බුදය, භාණ්ඩ හිඟය, ආහාර සුරක්ෂිතභාවයේ ගැටලු ආදිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායටත්, නිෂ්පාදන, සේවා හා අපනයනවලට සිදුවන බලපෑම අතිමහත්ය. සියලු බලාපොරොත්තුවල මග අවුරන බාධක බවට පත්වීමේ හැකියාව ඒවාට තිබේ. වසංගතය ද තවම අවසන් වී නැත.

ඉහත විස්තර කරන ලද ධනවාදී ආර්ථික මූලෝපායට විකල්පයක් තිබේද? ජාතික ආර්ථිකය, ජාතික සම්පත් රැකගැනීම, විදේශ ආර්ථික ආක්‍රමණ පිටුදැකීම වැනි ජනප්‍රිය ජාතිකවාදී අදහස්වලින් විසඳුම් නිර්මාණය කළ හැකිද? පසුගියදා ජාතික ජන බලවේගය විසින් එළිදක්වන ලද අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය විසින් යෝජනා කරනු ලබන්නේ ධනවාදී මූලෝපායේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මානුෂිකකරණයකි. එහෙත්, හරයාත්මක වශයෙන් ධනේශ්වර නොවන වෙනත් ‘සමාජවාදී’ විකල්පයක් අපට තිබේද?

එවැනි විකල්ප ගවේෂණය කරන්නට නම්, පළමුකොටම අප වත්මනෙහි සිරවී සිටින ධනේශ්වර චින්තන රාමුවෙන් ගැලවිය යුතුය. සංවර්ධනය පිළිබඳ අපගේ චින්තනය ධනවාදයෙන් ගලවා නොගෙන සමාජවාදී විකල්ප පරිකල්පනය කිරීමට බැරිය. එසේම, ජාතිකවාදය යනු කිසිසේත්ම සමාජවාදී සංකල්පයක් නොවන බව ද අවබෝධ කරගත යුතුය.

ධනේශ්වර සංවර්ධනය අවශ්‍යද යන්න පිළිබඳ එඩිතර තීරණයක් සමාජවාදීන්ට තිබිය යුතුය. ඒ අනුව, සංවර්ධනය සම්බන්ධයෙන් නව අර්ථ නිරූපණයක් ද සමාජවාදීන් විසින් නිර්මාණය කරගත යුතුව තිබේ.

ලංකාව සම්බන්ධයෙන් නම් සරල තීරණ කීපයක් වැදගත් වනු ඇත. අපට තවදුරටත් අධිවේගී මාර්ගවලින් සංකේතවත් කරන ආකාරයේ මෙගා සංවර්ධනයක් අවශ්‍යද? ලංකාවේ ජනයා දිගින් දිගටම ධනවාදී කැමැත්ත නිෂ්පාදනය කිරීමේ යාන්ත්‍රණයන් විසින් නිර්මාණය කරනු ලබන පාරිභෝජනවාදී බහුභාණ්ඩකරණයේ ගොදුරු බවට පත්විය යුතුද? අල්පේච්ඡතාව, බුද්ධිමත් පරිභෝජනය සහ පරිසරය සුරකින, ආහාර සුරක්ෂිතභාවය හා නීරෝගී දිවිපැවැත්ම කෙරෙහි යොමුවූ, තිරසර, මන්දගාමී සංවර්ධනයක මාවත තෝරාගන්නට සමාජවාදීන් සූදානම්ද?

1 thought on “ධනේශ්වර චින්තන රාමුව තුළ සමාජවාදී විකල්ප තිබේද?

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: