යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ උතුරේ ක්‍රියාකාරී ප්‍රධාන දේශපාලන පක්ෂ පහක් එක්ව සියලු අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය අතිශය වැදගත් ය. බොහෝදෙනෙකු ඒවා ඉතා සරල ලෙස ජාතිවාදී කොන්දේසි ලෙස දක්වා තිබේ.

Translations by Creative Content Consultants

මේ ගැන දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව, “දෙමළ සන්ධානය විසින් ගෙන ආ යෝජනා සලකා බලනවා තබා අදාළ ලියැවිල්ල කියවා බැලීමට හෝ පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු නොකළ බව සම මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. සුළු ජන කොටස් සඳහා ශී‍්‍ර ලංකාව තුළ ජීවත් වීමේ පූර්ණ අයිතිය සපයා ඇති මොහොතක ඔවුන් සමග යෝජනා සම්මත කරගැනීමක් කිසිසේත්ම අවශ්‍ය නැති බවත්, ඒකීය රටක එක් නීතියක් යටතේ ජීවත් වීමට අවශ්‍ය පසුබිම සහ ජාතික ආරක්ෂාව පොදුවේ සැමට සමව ලබා දීමට තමන් කටයුතු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන බවද හෙතෙම කීය.”

මේ ප්‍රකාශය ම ගැටලු සහගත ය. සුළු ජන කොටස් සඳහා ශ්‍රී ලංකාව තුළ ජීවත් වීමේ පූර්ණ අයිතිය ලබා දී තිබේ ය කියන්නේ එය මහ ජාතිය විසින් ඔවුන්ට ලබා දී තිබෙන වරප්‍රසාදයක් යන අදහස දෙන ප්‍රකාශයකි. තමන් ජාතිවාදී නොවේ යයි කියන හා ඇතැම් විට අවංකව ම සිතන අයත් මෙවැනි අදහස් දරති. සුළුතර ප්‍රජාවන්ට එය දැනෙන්නේ ජාතිවාදය ලෙසයි. එසේම, දෙමළ පාර්ශ්වයේ ඉල්ලීම් ඕනෑවට වඩා බැරෑරුම් ලෙස සැලකීමක් ද මෙම ප්‍රතිචාරය තුළ තිබේ. එතරම් තදින් පහර දෙන්නට තරම් එම ඉල්ලීම් වැදගත් ද යන්න අපි මතු සාකච්ඡා කරන්නෙමු.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හෝ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක හෝ මේ ගැන කිසිදු අදහසක් පළ කර නැත. එහෙත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විවෘතව ම දෙමළ යෝජනා ප්‍රතික්ෂේප කර තිබේ. ඒවා රට බෙදන කොන්දේසි බව ඔහු පවසා තිබිණි. එය ඇත්තක් ද? අප මේ උත්සාහ කරන්නේ දෙමළ ජනතාවගේ සපත්තුවට ද යම් දුරකට බසිමින් මෙම යෝජනා විමසා බැලීමටයි.

1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම: උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම අලුත් දෙයක් නොවේ. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඒකාබද්ධ කර තිබුණු මෙම පළාත් දෙක වෙන් කරනු ලැබුවේ එම එක්කිරීම අනුමත කරගැනීම සඳහා පවත්වන්නට නියමිතව තිබුණු ජනමත විචාරණය නොපැවැත්වීම මත ජනතා විමුක්ති පෙරමුණ විසින් පවරන ලද නඩුවක් අනුව ය. ඉංග්‍රීසීන් විසින් නිර්ණය කරන ලද මෙම පළාත් භූමි සීමා ඒ අයුරින් ම පිළිපැදීමේ අවශ්‍යතාවක් නැත. රටේ අවශ්‍යතා අනුව, පළාත් ප්‍රතිව්‍යූහගත කරගන්නට අපට හැකියාව තිබිය යුතු ය. ස්වයං නිර්ණ අයිතිය යනු අනිවාර්යයෙන් ම වෙන් වීමේ අයිතිය නොවේ. වෙන් නොවී එක්ව සිටීමට ද තීරණය කිරීමේ අයිතිය එහි තිබේ. එසේම, එක් රටක් තුළ බලය බෙදාගැනීම පිණිස දෙමළ පාර්ශ්වයෙන් ඉදිරිපත් වී තිබෙන අභ්‍යන්තර ස්වයං නිර්ණ අයිතිය ද ස්වයං නිර්ණ හිමිකම මත ම පදනම්ව දෙමළ ජනතාව විසින් නිර්මාණය කරගන්නා ලද්දකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂය මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ ද පවසයි.

2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ 2015දී ශ්‍රී ලංකාව සම දායකත්වය සපයමින් ඉදිරිපත් කරන ලද 30/1 යෝජනා සම්මතය අනුව,
මානව හිමිකම් සහ අන්තර්ජාතික මානවවාදී නීතියේ කඩවීම් විමර්ශනය කිරීම සදහා විශේෂ නීති නිලධාරියෙකු සහිතව සහ අන්තර්ජාතික සහභාගීත්වය යටතේ කි‍්‍රයාත්මක කෙරෙන අධිකරණමය යාන්ත‍්‍රණයක් ස්ථාපිත කළ යුතු ය. එය ජාත්‍යන්තර මැදිහත්වීමක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වුවහොත් 30/1 යෝජනා සම්මතය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව පවසයි. එසේ වුවහොත්, ජාත්‍යන්තර මැදිහත්වීමක් සඳහා වැඩි ඉඩක් ලැබෙනු ඇත.

3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම: මෙය ද ඉහත කී 30/1 යෝජනා සම්මතය අනුව ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය එකඟ වී තිබෙන කරුණකි. මේ සඳහා ගෙන ආ ප‍්‍රති ත්‍රස්ත පනතෙහි ඇතැම් කාරණා ව්‍යවස්ථානුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුවක් හේතුවෙන් එහි ඉදිරිගමන ඇණහිට තිබේ. වර්තමාන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අන්දමින් පවත්වාගෙන යා යුතු යයි කියන කිසිවකු සිටිත්දැයි නොදනිමි.

4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම: යුද්ධය සම්බන්ධ වැරදි හේතුවෙන් සිරගතව සිටින හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් ද මෙවැනි ම ඉල්ලීමක් තිබේ. මේ දෙපාර්ශ්වයට ම කොන්දේසි සහිත පොදු සමාවක් ලබාදීම පිළිබඳ රජයට සලකා බැලිය හැකි ය. කරුණා, කේපී යන දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ඉහළ ම නායකයන්ට දෙපලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන සංදර්භයක් තුළ පහළ සාමාජිකයන් කුමන වැරදි සම්බන්ධයෙන් හෝ සිරගත කර තැබීම තේරුමක් නැත.

5. අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම: 2018 අපේ‍්‍රල් මාසය වන විට, දක්නට නොමැති බවට සහතිකයක් ලබා දෙන ලෙස ලැබුණු ඉල්ලූම්පත් 827 කින්, 616 කට එම සහතිකපත් නිකුත් කර තිබුණු බව වෙරිටෙ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි. අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය දෙමළ දේශපාලන පක්ෂ හිතන තරම් සරල නැත. සාක්ෂි සහිත අතුරුදහන් කිරීම් පිළිබඳ ඉහත දෙවන ඉල්ලීම යටතේ යොදාගත හැකි ක්‍රමවේද ඔස්සේ කටයුතු කළ හැකි ය.

6. උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම: යුද හමුදාව භාරයේ පැවති ඉඩම් පසුගිය වසර හතරක කාලය ඇතුළත කලින් කලට ඒවායේ සිවිල් අයිතිකරුවන් වෙත නිදහස් කිරීම සිදුව ඇති බව වෙරිටේ රිසර්ච් පෙන්වා දෙයි.. කෙසේවුවත්, 2018 වසරාවසානය වන විටත්, අක්කර 30,187ක ඉඩම් ප‍්‍රමාණයක් (රජයේ ඉඩම් අක්කර 25,946ක් සහ පෞද්ගලික ඉඩම් 4,241ක ප‍්‍රමාණයක්) තවමත් පැවතියේ යුද හමුදාව භාරයේ බව එම සංවිධානය පවසයි. මේවා ද ක්‍රමානුකූලව නිදහස් කළ යුතු ය යන රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබේ. එතරම් බරපතල ගැටලුවක් නැත.

7. උතුරු – නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම: උතුරු නැගෙනහිර ආක්‍රමණශීලී සිංහල ජනාවාසකරණයක් සිදු වන බව බොරුවක් නොවේ. මෙය එකී අරමුණෙන් ම 1980 දශකයේ සිට ආරම්භ වූවකි. එහෙත්, 1950 දශකයේ පදවිය ගොවි ජනපදය පිහිටුවන විට, ජනවාර්ගික අනුපාතය අනුව එහි පදිංචි කළ යුතුව තිබුණු දෙමළ ජනයාට පදිංචි වන්නට බෞද්ධ භික්ෂූන්, ඉඩම් සංවර්ධන සංස්ථාවේ සේවකයන් සහ කලින් පදිංචි වූ ජනපදිකයන් ඉඩ නොදීමෙන් පෙනෙන්නේ එම ඉතිහාසය ඊටත් වඩා ඈතට විහිදෙන බවයි. මෙම ඉල්ලීම එම තත්වයට ප්‍රතිචාරාත්මක ඉල්ලීමක් ලෙස සැලකිය හැකි ය. මුළුමනින් ම ඉටු කළ නොහැකි ය.

8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු – නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම: මෙම කාරණය ප්‍රධාන වශයෙන් ම අදාළ වන්නේ වැලිඔය, මහවැලි එල් කලාපය ප්‍රදේශවලටයි. එහෙත්, එම ප්‍රදේශවල පදිංචි කරන ලද ජනතාව දැන් පරම්පරාවකට වඩා එහි ජීවත් වී තිබේ. කොටි සංවිධානයට කපා, කොටා, පහර දී, මරා දමා හෝ මෙම ජනතාව ඉවත් කිරීමට බැරි විය. මෙය ද ප්‍රතිචාරාත්මක ඉල්ලීමකි.

9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම: මෙය සහ ඉහත ඉල්ලීම අතර එතරම් වෙනසක් ඇති බවක් නොපෙනේ.

10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම: මෙහි අර්ථයක් නැත. පුරාවිද්‍යා, වනජීවි සංරක්ෂණ පනත් වලංගු නීති ය. දෙමළ ජනතාවගේ නිජභූමි යන සංකල්පය වලංගු නීතියක් නොවේ.

11. උතුරු – නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම: මෙය ඉතා සාමාන්‍ය ඉල්ලීමකි.

12. උතුරු – නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම: මෙය ද ඉහත ඉල්ලීම හා සමාන ය. එහෙත්, බොළඳ, අදේශපාලනික ඉල්ලීමකි. යම් දුරකට ඉටු කළ හැකි ය.

13. උතුරු – නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම: මෙය ද අදේශපාලනික, බොළඳ ඉල්ලීමකි. මෙවැනි ඉල්ලීම්වලට දෙමළ ජාතික සන්ධානය ද එකඟ වීමෙන් පෙනී යන්නේ ඔවුන් අතර ද මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් බැරෑරුම් සලකාබැලීමක් නැති බව ය. පළාත් සභා මැතිවරණ පවත්වා පළාත් සභා පිහිටුවාගත හැකි ය. ඒ නැතත්, දැනටත් උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතනවලට සභිකයන් පත් කරගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සිටිති. මහජනයා සංවිධානය කරගැනීම ඔවුන්ගේ වගකීමකි.

මෙම යෝජනාවලිය ඉදිරිපත් වන්නට හේතු කීපයක් හඳුනාගත හැකි ය. එක පැත්තකින් පසුගිය වසර හතරකට වැඩි කාලයක් තිස්සේ රජයට අනියමින් සහයෝගය දක්වමින් සිටින දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව වෙනුවෙන් පැහැදිලි ජයග්‍රහණ දිනා දීමට අසමත් වී ඇති බවට ඔවුන්ට වඩා ආන්තික ආස්ථානවලින් ඔවුන් ප්‍රශ්න කරන අය චෝදනා කරති. එම බලවේග සඳහා ඡන්ද පදනම් වෙනුවෙන් තරගයක් ඇත. මෙම යෝජනා ගෙන එන්නේ එකී තරගකාරී බලවේගවල ද හවුල්කාරිත්වයෙනි. අනෙක් පැත්තෙන් රැඩිකල් දෙමළ තරුණ කොටස් වෙතින් දේශපාලන නායකයන්ට දැඩි බලපෑමක් වෙමින් තිබෙන බව මෙම යෝජනාවලිය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මුලපිරුමක් වීමෙන් පෙනේ.

මෙම යෝජනාවලියට දකුණෙන් ලැබෙන ප්‍රතිචාරය ඔස්සේ සිදු විය හැකි ආන්තික ම දෙය වන්නේ ජනාධිපතිවරණයේදී ඡන්දය වර්ජනය කරන්නැයි දෙමළ පක්ෂ ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටීමයි. එහෙත්, 2005දී මෙවැනි වර්ජනයක් සාර්ථක අන්දමින් කිරීමෙහි අත්දැකීමක් දෙමළ සමාජයට තිබේ. කොටි සංවිධානය එම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා ඡන්ද වර්ජනය පාවිච්චි කළේ ය. එමගින් තමන් වඩා දුර්වල පාලකයකු පත් කරගෙන වාසිදායක තත්වයක් අත් කරගන්නවා යයි කොටි සංවිධානය අපේක්ෂා කළමුත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ සිදු වූයේ අනෙක් පැත්තයි. කොටි සංවිධානයට පමණක් නොව දෙමළ අරගලයට ද එයින් දැඩි හානියක් සිදු විය. දෙමළ ජනතාව දවල් වැටුණු වලේ රෑත් වැටීම තෝරා ගනීවි ද?

3 thoughts on “දෙමළ යෝජනා රෑ වැටුණු වලේ දවලුත් වැටෙන්නට ද?

  1. Aththa majaathiye wedi kotasak sithan inne owun sulu jaathien yai handunwana janakotas thaman yatathe sitiya youthu bawai . Mahinda Raajapaksha mahatha da thama pudhgalika mathaya koika wunath , prakaaseta pathkoranne ihatha kie bahutharaye jaathiwaadie manobhaawayata peahena ayurini . Deasapaalanaya wurthiyak karaganna athemunge manasa hadanawaata wadaa janathaawagemanasa nirawul kiriemaiy wedagath . Adyaapana kramaya thulin nethahoth paasala thulin eyata daayakathwaya diyayuthuwe .

  2. මුන් මෙහේ මෙහෙම කිව්වට උතුරට ගියාම කියන්නේ තව එකක්

  3. • Sri Lankan Tamil
    609,584 (39.29%)
    • Sri Lankan Moors
    569,182 (36.69%)
    • Sinhalese
    359,136 (23.15%)
    • Indian Tamil
    7,711 (0.50%)
    Ethnic groups in eastern province

Leave comment

Your email address will not be published. Required fields are marked with *.