Comic wall paintings of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (2019 දෙසැම්බර් 15 අනිද්දා පුවත්පතේ ද පළ වේ)

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අප මිත්‍රයකු පසුගිය දිනෙක ප්‍රංශ ජාතික සංචාරක පිරිසක් සමග ශ්‍රී ලංකාවේ චාරිකා කරද්දී, තැන තැන තරුණ පිරිස් විසින් සිදු කරන චිත්‍රකර්ම ගැන ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ. මෙය දෘෂ්‍ය දූෂණයක් ය යන අදහස එක් ප්‍රංශ ජාතික කාන්තාවක් විසින් පවසා තිබිණි.

Translations by Creative Content Consultants

Encylopedia.com වෙබ් අඩවිය අනුව, දෘෂ්‍ය දූෂණය යනු සෞන්දර්යාත්මක ප්‍රශ්නයකි. එයින් අදහස් වන්නේ යමෙකුට දර්ශනයක් විඳගැනීමට නොහැකි වන අන්දමින් ඇති කරනු ලබන බාධකයි. දැකීමට ඇති ඉඩ ආවරණය කිරීම, දුර ඇති වස්තු දැකීමට ඇති හැකියාව සීමා කිරීම මෙන් ම වඩා විෂයාත්මක ප්‍රශ්න වන දෘෂ්‍යමය අවුල්, ‘සුන්දර’ දර්ශන මත කරනු ලබන ආක්‍රමණික ක්‍රියා මෙන් ම ග්‍රැෆිටි හෙවත් විරෝධාකල්ප වීදි චිත්‍ර ද වෙනත් දෘෂ්‍යමය විකෘති කිරීම් ද දෘෂ්‍ය දූෂණය යන පුළුල් යෙදුමෙන් ආවරණය වේ.

පරිසර දූෂණය හා නාගරික ආලෝකය වැනි හේතු මත සිදු වන දෘෂ්‍ය දූෂණයට කදිම උදාහරණයක් වන්නේ කොළඹ හා වෙනත් නාගරික ප්‍රදේශවල රාත්‍රී අහසයි. දූවිලි, කාබන් වැනි අංශු මත නාගරික ආලෝකය පරාවර්තනය වීම නිසා නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනයාට රාත්‍රී අහසේ සැබෑ සුන්දරත්වය දැකගැනීමට ලැබෙන්නේ නැත.

දෘෂ්‍ය දූෂණය සිදුකරන තවත් ප්‍රධාන මාර්ගයක් වන්නේ මාර්ග අසල දැවැන්ත ප්‍රචාරණ පුවරු ය. එහෙත්, ඒවා වර්තමාන වානිජ ලෝකය සඳහා අවශ්‍ය යයි සැලකේ. ඒවා සම්බන්ධයෙන් පාලනයක් තිබිය යුතු ය. එය නාගරික සංවර්ධන අධිකාරියේත්, පළාත් පාලන ආයතනවලත් විෂයපථයට අයත් වේ.

ශ්‍රී ලංකාවේ ඉතා සුලබ හා මුළුමනින් ම නොතකා හරින ලද දෘෂ්‍ය දූෂණයක් වන්නේ විදුලි හා දුරකථන රැහැන් ය. ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දෘෂ්‍ය දූෂණය සම්බන්ධයෙන් මුළුමනින් ම අන්ධ ය. තම රැහැන් පද්ධති නඩත්තු කිරීමේදී දෘෂ්‍ය දූෂණය අවම කිරීම කෙරෙහි හෝ ඔවුන් අවධානය යොමු කරන්නේ නැත. අපිළිවෙලට අදින ලද විදුලි රැහැන් මෙන් ම, අතහැර දමන ලද දුරකථන රැහැන් සහ කණු රැසක් ද සුන්දර ග්‍රාමීය ප්‍රදේශවල පවා දැවැන්ත දෘෂ්‍ය දූෂණයක් සිදුකරයි. සන්නිවේදන සංඥා කුළුණු මගින් සිදුකරනු ලබන දෘෂ්‍ය දූෂණය සම්බන්ධයෙන් යම් සංවේදීබවක් පසුගිය කාලයේ ඇති විය. ඒ අනුව, ඇතැම් සංඥා කුළුණු රූස්ස ගස් මෙන් වෙස්වළාගන්වා තිබෙන ආකාරය මා කතරගමදී පවා දැක තිබේ.

මතුගම මංසන්ධියේ දෘෂ්‍ය දූෂණය

ශ්‍රී ලංකාවේ දෘෂ්‍ය දූෂණය සිදු කරන ප්‍රධාන ආකාර කීපයක් වන්නේ පෝස්ටර්, බැනර්, කටවුට් ලෙස හැඳින්වෙන පුවරු ආදියයි. පෝස්ටර් සඳහා නාගරිකව දැන්වීම් පුවරු සවිකර තිබෙනමුත්, පෝස්ටර් අලවන්නන් විසින් භාවිතා කරනු ලබන අයෝග්‍ය ස්ථාන රැසක් තිබේ. ජවිපෙ වැනි දේශපාලන පක්ෂ පෝස්ටර් කලාව සිය ප්‍රචාරණය සඳහා පුළුල් ලෙස භාවිතා කරන ලද අතර පෝස්ටර් කලාවේ නිම් වළලු පුළුල් කිරීමක් ද කළේ ය. මැතිවරණ කාලවලදී සියලු දේශපාලකයන් තැන නොතැන නොබලා පෝස්ටර් අලවා දැවැන්ත දෘෂ්‍ය දූෂණයක් සිදුකරති. ටියුෂන් ගුරුවරුන් යනු පෝස්ටර්, කටවුට් ආදිය භාවිතා කරමින් දෘෂ්‍ය දූෂණය සිදුකරන ප්‍රධාන පිරිසකි. තවත් පිරිසක් වන්නේ ඉඩම් අලෙවිකරුවෝ ය. පාරවල අවිධිමත් අන්දමින් තිබෙන විදුලි හා දුරකථන රැහැන් කණු මත ඔවුහු ඊටත් වඩා අවිධිමත් ලෙස බැනර්, කටවුට් ආදිය එල්ලති. ඒවා යම් ප්‍රමාණයක් සඳහා පළාත් පාලන ආයතනයෙන් අවසර ලබාගන්නා අවස්ථා ද ඇත. එහෙත්, අනවසර භාවිතය එමෙන් බොහෝගුණයකි. පාසල් ඉදිරිපස ද දෘෂ්‍ය දූෂණය සුලබ ය. පාසලේ විවිධ ජයග්‍රහණ සන්නිවේදනය කිරීම සඳහා විවිධාකාරයේ බැනර් ප්‍රදර්ශනය කරන්නේ පාසලේ පෙනුම පිළිබඳ කිසිදු සැලකිල්ලකින් තොරව ය. ඇතැම් දෘෂ්‍ය දූෂණයන් සඳහා විදුහල්පතිවරුන් පොළඹවන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් එවනු ලබන චක්‍රලේඛ මගිනි. අද වන විට අවමංගල්‍යයක් පැවැත්වෙන නිවෙස් වනාහි විවිධාකාරයේ බැනර් නිසා දැවැන්ත දෘෂ්‍ය දූෂණයකට ලක් වන ස්ථානයකි. එහෙත්, ලාංකිකයන් වැඩිදෙනෙකු ඉහත දක්වන ලද කාරණා කිසිවක් දෘෂ්‍ය දූෂණය ලෙස දකින්නේ නැත.

මේවා මගින් දෘෂ්‍ය දූෂණයට අමතරව දැවැන්ත පරිසර දූෂණයක් ද සිදු වේ. ඩිජිටල් බැනර් සඳහා භාවිතා වන ප්ලාස්ටික්, පොලිතින් ආදී ඉතා සෙමින් දිරා යන අපද්‍රව්‍ය රැසක් මෙමගින් පරිසරයට එක් වේ. ඒවා ප්‍රදර්ශනය කරන අය බොහෝ විට ඒවා ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ගන්නේ නැත. මෙවැනි බොහෝ ප්‍රදර්ශන ද්‍රව්‍ය ඒ ඒ ස්ථානවල ම පරිසරයට එක් වේ.

ග්‍රැෆිටි හෙවත් වීදි චිත්‍ර යනු වෙන ම කලාවක් ලෙස ද සැලකිය හැකි ය. එය විරෝධාකල්ප ප්‍රකාශන කලාවකි. ගතානුගතික අදහස්වලට වඩා වෙනස් අදහස් ක්‍රම විරෝධී, ප්‍රචණ්ඩ ආක්‍රමණික ආකාරයකින් ප්‍රදර්ශනය කිරීමට ග්‍රැෆිටි කලාව භාවිතා කෙරේ. ලෝක ප්‍රකට වීදි සිත්තරකු වන C215 යන සන්නාමයෙන් තමන් හඳුන්වා ගන්නා ප්‍රංශ සිත්තරකු වන ක්‍රිස්ටියන් ගූමි ශ්‍රී ලංකාවට පැමිණ කොම්පඤ්ඤවීදියේ වොක්ෂෝල් වීදියේ කලකට ඉහතදී අපූරු ග්‍රැෆිටි පෙළක් නිර්මාණය කළේ ය. ඇතැම් ඒවා තවමත් ඉතිරි වී තිබේ. මෙවැනි චිත්‍ර නිර්මානය කරන්නට ස්ටෙන්සිල්, විදින තීන්ත කෑන් හා පරිගණක තාක්ෂණය ආදිය උපයෝගී කර ගනු ලැබේ. එසේම, නිශ්චිත කාලයක් තුළ වේගයෙන් නිර්මානය කරන්නටත් නිර්මාෙණකරුවාට සිදු වේ. එය බොහෝ විට කලින් සැලසුම් කර ගත් චිත්‍රයකි.

Graffiti at Colpetty Station

2018 දෙසැම්බර් මාසයේ දිනෙක කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේදී මගේ ජංගම දුරකථන කැමරාවට හසු කර ගත් වීදි චිත්‍රය මා විස්මයට පත් කරන්නට සමත් විය. එය තිබුණේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ දකුණුපසට වන්නට ඇති අතහැර දැමූ ගොඩනැගිල්ලකයි. ඒ ගොඩනැගිලි බිත්තිය ම පවා අපූරු අපූරු චිත්‍රයක් වැනි විය. එම චිත්‍රයේ පසුබිම දැනගැනීමට මම පසුව දිනෙක කොල්ලුපිටිය දුම්රිය ස්ථානයට කතා කළෙමි. දුරකථනයට කතා කළ පුද්ගලයා වරදක් වසා ගන්නට උත්සාහ කරන්නා සේ දැන් එය මකා දමා ඇති බව කීවේ ය. එපමණක් නොව, එය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අවසර ගෙන කරන ලද වෙළඳ දැන්වීමක් බවත්, ඒ සඳහා ගෙවීම් කළ බවත්, කාලය අවසන් නිසා දැන් එය මකා දමා ඇති බවත් කීමට ඔහු වගබලාගත්තේ ය. මට අවශ්‍ය වුණේ ඒ නිර්මානය කළේ කවුරුද යන්න දැන ගන්නටයි. ඒත්, ඔහු කිව්වේ කැම්පස් එකෙන් ද කොහෙද කියා ය.

ගිය සතියේ දිනෙක මා කළුතර දුම්රිය ස්ථානයෙන් බැස යන විට දුටුවේ එහි බිත්ති පුරා විවිධ චිත්‍ර අඳින ආකාරයයි. කලින් ‘මුත්‍රා කිරීම බල්ලන්ට පමණයි’ යනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලියා තිබුණු බිත්තියේ පවා චිත්‍ර අඳිමින් තිබිණි. අන්තර්ජාලයෙන් බාගත කරගත් විවිධ රූප සටහන් රැසක් එහි විවිධාකාරයෙන් ඇඳෙමින් තිබිණි. තවත් දිනෙක, දොඩන්ගොඩ අධිවේගී මාර්ගයෙන් පිටවන පිවිසුම අසල තරුණ පිරිසක් අධිවේගී මාර්ගයේ පාලමේ චිත්‍ර ඇඳීම සඳහා ආධාර එකතු කරමින් සිටිය හ. පසුව එතැන ද යම් යම් රූප ඇඳ තිබෙනු මම දුටුවෙමි.

මේ වන විට, පොදු අවකාශවල මේ අන්දමින් විවිධ රූප ඇඳීම සඳහා විධිමත් අන්දමින් අවසරගැනීමේ අවශ්‍යතාවක් නැති බව පෙනෙන්නට තිබේ. එහෙත්, එවැන්නක් කලින් තිබුණු බව කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ උදාහරණයෙන් පෙනේ.

බොහෝ අයට මේ චිත්‍ර අඳින රැල්ල දේශපාලනිකව විග්‍රහ කරගැනීමේ ගැටලුවක් ඇති බව දක්නට ලැබේ. ඔවුන්ට සිදු වී තිබෙන්නේ උණු නිසා බොන්නත් බැරි කිරි නිසා අහක දාන්නත් බැරි ආකාරයේ යමක් ඔවුන් මෙම චිත්‍ර අඳින රැල්ල තුළ දැකීමයි. වර්ණ, හැඩතල තිබුණු පළියට ම හැම චිත්‍රයක් ම කලාවක් වන්නේ නැත. විශේෂයෙන් ම මෙම චිත්‍ර අඳින රැල්ල පසුබිමේ තිබෙන සිංහල, බෞද්ධ ස්වෝත්තමවාදී දේශපාලනය තුළ මෙය සෞන්දර්ය කලාවක් ලෙස ඉස්මතු වීමේ හැකියාවක් නැත. එය වනාහි රාජ්‍යය මත සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ ආක්‍රමණය ම සංකේතවත් කරන පොදු අවකාශ ආක්‍රමණයක් හා ප්‍රචණ්ඩ දෘෂ්‍ය දූෂණයකි. මෙහි යෙදෙන බොහෝ දෙනෙකුට එහි අරමුණ කුමක් ද යන්න පැහැදිලි නැති බව හා ඇතැමෙකු මෙය අහිංසක හොඳ වැඩකැයි සිතා කිරීම අන් කිසිවක් නොව මුග්ධත්වයයි. අයුතු ජන රාශිවල ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ද මුග්ධත්වයයි. රංචු ගැසී මුස්ලිම් කඩවලට පහර දෙන්නට යාම හා රංචු ගැසී පොදු අවකාශ ආක්‍රමණය කර දෘෂ්‍ය දූෂණයේ යෙදීම අතර දේශපාලනිකව මහ ලොකු වෙනසක් නැත.

Translations

1 thought on “දෘෂ්‍ය දූෂණය හා චිත්‍ර අඳින රැල්ල

  1. Oba wathman andime rella vigraha kala heti kadimai . Maa wadaathma kemathi mea roopamaya perahhera thulin yatipela aruthwan sinhala bawudda swooththama waadaya ismathuwiema oba dutu aakaarayai . ( ESEAMA FASIST WAADAYA JANA ASIRIWAADAYA MATHIN AWATHIERNA WIYAHEKI AYURU SARALAWA MINISUNTA DENENA PARIDI LIVIEMA YUGAYE AWASYATHAWAYAK VIYAHEKA .)

Leave comment

Your email address will not be published. Required fields are marked with *.