Selvam Sivapakyam

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, 2020 මාර්තු 08දා ලංකා පුවත්පත

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසි වාරයේදී ශ්‍රී ලංකාව 30/1 හා 40/1 යෝජනා සම්මතයන්ගේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කළා. ශ්‍රී ලංකාව දැන් කෙසේ කටයුතු කළත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ ද අවධාරණය කර තිබෙන පරිදි, මෙම යෝජනා සම්මතයන්ගේ මූලාරම්භය ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ක්‍රියාවලි තුළ ම තමයි. යුද්ධය හා එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් වගකීම් භාරගන්නට තමන් සූදානම් බව මුලින් ම පළ කළේ යුද්ධය අවසාන වන සමයේ ජනාධිපති වූ මහින්ද රාජපක්ෂමයි.

Translations by Creative Content Consultants

වසර 2015දී ශ්‍රී ලංකාව විසින් 30/1 යෝජනා සම්මතයට සම අනුග්‍රාහකත්වය දක්වන ලදී. යුද ගැටුම විසින් ඇතිකරන ලද තත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ සියල්ලන් ඇතුළත් කරගන්නා තිරසර සාමයකට පදනම් දැමීම සඳහා එමගින් රාමුවක් සැකසුණා. ඒ අනුව, ශ්‍රී ලංකාව වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රගතිය වාර්තා කිරීමට ඇපකැප වී සිටියා.

මෙම යෝජනා සම්මතයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයටත්, ශ්‍රී ලංකාවටත් අති විශාල වශයෙන් වැදගත්. 2015 වසරේ සිට ශ්‍රී ලංකාව වැදගත් පියවර ගණනාවක් ම තැබුවා. අතුරුදහන් වූවන් සඳහා කාර්යාලය සහ හානිපූරණ කාර්යාලය පිහිටුවීම ඒ අතරින් ප්‍රධානයි. වසර ගණනාවක් පුරා සිදු වූ, දස දහස් සංඛ්‍යාත අතුරුදහන් කිරීම් හේතුවෙන් විපතට පත්ව ඉතිරි වූවන්ට එයින් යම් බලාපොරොත්තුවක් ඇති කරනු ලැබුවා. මේවා ඇත්තට ම පසුගිය ආණ්ඩුව විසින් කරන ලද කාර්යයන් නොවෙයි. ඒවා යෝජනා කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ම පත් කරන ලද මැක්ස්වෙල් පරණගම කොමිෂම විසිනුයි. යුද අපරාධ පිළිබඳ සොයාබැලීම සඳහා පත් කරන ලද මැක්ස්වෙල් පරණගමගේ සභාපතිත්වයෙන් යුත් කොමිෂම යුද්ධයේ අවසන් සමයේ සිවිල් වැසියන් 7000 – 7500 අතර සංඛ්‍යාවක් මිය ගිය බව වාර්තා කළා. මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පවත්වන බවට එක්සත් ජාතීන්ට පැවසුවේ ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් රජය ම තමයි.

එහෙත්, දැන් නැවතත්, ශ්‍රී ලංකා රජය ලෝකය හමුවේ ප්‍රශ්නාර්ථයක් නිර්මාණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව දේශීය පරීක්ෂණයක් කරනවා ද? ඒ කෙසේ ද?

සෙල්වම් සිවපාක්‍යම් මුලතිව්හි පදිංචි කාන්තාවක්. ඇය පසුගිය කාලය පුරා ම අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය සොයන උද්ඝෝෂණවලට සක්‍රියව සහභාගි වුණා. ඇය සොයන්නේ යුද්ධයේ අවසන් සමයේදී අතුරුදහන් වූ සිය දියණියගේ පුත්‍රයා වන ඇල්ෆ්‍රඩ් දිනූට කුමක් වුණා ද කියන එකයි.

යුද්ධයෙන් අවතැන් වී යළි පදිංචි කළ ජනයාගේ ජීවිත නැවත ගොඩනගාගැනීම සඳහා තවමත් ප්‍රමාණවත් තරමින් ආධාර උපකාර සිදුවන්නේ නැහැ. අධික රස්නය මැද තහඩු නිවසක ජීවත් වූ ඇය දිගුකාලීනව අසනීප වී සිට 72 විය සපුරද්දී ජරපත් මැහැල්ලක සේ මිය ගියා.

ඇය උපදින්නේ ශ්‍රී ලංකාව නිදහස ලබා මාස එකහමාරකට පමණ පසුව 1948 මාර්තු මාසයේදීයි. ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත්, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධනත් උපදින්නේ ඉන් වසරකට පසුවයි.

දුකට පත්, දුගී කාන්තාවක් ලෙස මිය ගිය සිවපාක්‍යම්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇගේ සම වයසේ සිටින මෙම නායකයන්ට වගකීමක් නැද්ද? ඔවුන්ට වගකීමක් ඇතත්, නැතත්, ඇය සම්බන්ධයෙන් සහෝදර පුරවැසියන් වන ඔබට හා මටත්, ලෝක ප්‍රජාවටත් වගකීමක් නැද්ද? ශ්‍රී ලංකා රජයට එය මගහැර යා හැකි ද?

මේ ලිපියත් කියවන්න: 30/1 සහ 40/1 යෝජනා සම්මතයන් සහ සෙල්වම් සිවපාක්‍යම්

Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.