මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කටුගෙය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයාට පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට බස්නාහිර පළාත්බද ත්‍රිපුද්ගල මහාධිකරණය පියවර ගන්නා ලදී.

Translations

නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම චෝදනා වලින් නිදහස් කළ යුතු බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා තිබූ විදේශ ගමන් තහනම ද ඉවත් කර ජනාධිපතිවරයාගේ ගුවන් ගමන් බලපත්‍රය ද මුදාහරින ලදී.

මෙය නිවැරදි පියවරකි. හේතුව, ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ නඩුවක් විභාග කිරීම හා එයින් ජනාධිපතිවරයා වැරදිකරු වීම බරපතල අර්බුදයකට හේතු විය හැකි බැවිනි. ජනාධිපතිවරයා පත් වන්නේ රටේ සමස්ත ජනතාවගේ ම ඡන්දයෙන් බැවින් ඔහු මේ අන්දමින් නීතියට ඉහළින් සිටීමෙහි යුක්තියුක්තභාවයක් තිබේ.

මේ පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තියේ දැක්වෙන්නේ මෙසේ ය: “යම් තැනැත්තකු ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවක දී, ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේ ය:
එසේ වුව ද, ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්ථාවේ කිසිවක්, කියවා තේරුම් නොගත යුත්තේ ය:

එහෙත්, මෙම වගන්තිය මතභේදාත්මක ය. එහි දැක්වෙන්නේ යම් තැනැත්තකු ජනාධිපති ධුරය දරන අවස්ථාවකදී කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතු බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරා තිබෙන්නේ ඔහු ජනාධිපති වීමට බොහෝ කලකට ඉහතදී කරන ලද වරදක් සම්බන්ධයෙනි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පවත්නා තත්වය තුළ, දැන් මෙම නඩුව පවත්වාගෙන යාම ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව ඉතා පැහැදිලි ය. එම නිසා ඒ සම්බන්ධයෙන් මෙම පියවර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට සිදු වේ. නීතිපති දෙපාර්තමේන්තුව එසේ නොකරන්නේ නම් නඩුව අවසානයේදී දඬුවම් ලැබුණ ද, ජනාධිපතිවරයාට ම තමාට සමාව ලබා දිය හැකි ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය අනුව,

ශ‍්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයක දී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවකුට

(අ) සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යනුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට;

(ආ) නියම කරන ලද යම් දඬුවමක් ක‍්‍රියාත්මක කිරීම කාලසීමාවක් නොමැතිව හෝ සුදුසු යයි ජනාධිපතිවරයා කල්පනා කරන කාලසීමාවක් ඇතිව හෝ කල් තැබීමට;

(ඇ) ඒ වරදකරුට නියම කරන ලද දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට; හෝ

(ඈ) නියම කරන ලද දඬුවමක් මුළුමනින් ම නිෂ්ප‍්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමට ද, එකී වරදකරු කළ වරද හේතුකොට ගෙන ඔහුගෙන් ජනරජයට අය විය යුත්තා වූ යම්කිසි දණ්ඩනයක් මුළුමනින් ම නිෂ්ප‍්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමට ද, එකී වරදකරු කිරීම හේතුකොටගෙන ඔහුට අයත් වස්තුවක් රාජ්‍ය සන්තක විය යුත්තේ නම්, එසේ රාජ්‍ය සන්තක විය යුත්තා වූ වස්තුවෙන් කොටසක් පමණක් රජයට ගැන්වීමට හෝ ඒ වස්තුව රාජ්‍ය සන්තක කිරීම මුළුමනින්ම අත්හිටුවීමට,
ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය:

ජනාධිපතිවරයකු තමන් සම්බන්ධයෙන් ම මෙම පියවර ගැනීම වළක්වන කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැත.

Translations by Creative Content Consultants

මෙවැනි ගැටලුවක් ජනාධිපතිවරයකු සම්බන්ධයෙන් මතු වූ ලාංකීය ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වෙමින් සිටියදී ඔහුට ද මෙවැනි ගැටලුවකට මුහුණ දෙන්නට සිදු විය. 2004 සුනාමි සිදු වන විට අගමැති වූ මහින්ද රාජපක්ෂ‍ ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලද මුදල් හෙල්පිං හම්බන්තොට නම් පෞද්ගලික ගිනුමකට බැර කිරීමෙන් රු. අට කෝටි තිස් ලක්ෂයක් පිළිබඳ විශ්වාසය කඩ වුණේ ය යන පදනම මත එවකට ඇමතිවරයකු වූ කබීර් හෂීම් විසින් කරන ලද පැමිණිල්ලක් මත එකල රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරන ලද අතර එකල අග්‍රාමාත්‍ය ලේකම් වූ ලලිත් වීරතුංගගෙන් පැය පහක් ප්‍රශ්න කරන ලදී.  මෙම පරීක්ෂණය ඔස්සේ සිය මානව හිමිකම් කඩ වන්නේ යයි රාජපක්ෂ අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පරීක්ෂණය අත්හිටුවන ලදී. නඩුවේ වගඋත්තරකරුවන් වූ පොලිස්පති චන්ද්‍රා ප්‍ර‍නාන්දු, නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක හා කබීර් හෂීම් රු. ලක්ෂය බැගින් වන්දි ද පැමිණිලිකරු වන මහින්ද රාජපක්ෂට ගෙව්වේ ය. රජය රු. ලක්ෂ දෙකක් ඔහුට ගෙව්වේ ය. එකල අග්‍ර විනිශ්චයකාරයා නම් සරත් නන්ද සිල්වා ය. සරත් නන්ද සිල්වා පසු කලෙක ප්‍ර‍සිද්ධ රැස්වීමකදී මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට තරග කළේ මෙම නඩුවෙන් තම නම මුදාගෙන ය. එවැනි නඩුවක් තිබියදී ජනාධිපතිවරණයකට තරග කළ නොහැකි ය යනුවෙන් මතයක් එකල තිබිණි.

ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුව දිගින් දිගට ම කල් යමින් තිබිණි. නඩුව ඉක්මණින් විභාග කර අවසන් කරගැනීම සඳහා විත්ති පාර්ශ්වයෙන් ද සහයෝගයක් ලැබුණු බවක් නොපෙනිණි.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ගොනුකර තිබුණු නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරුන් මූලික විරෝධතාවක් ගොනු කළ අතර එම අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ ය. එම තීරණය වැරදි බව සඳහන් කරමින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. අභියාචනාධිකරණය ද එය ප්‍රතික්ෂේප කරන ලදී. ඉන් අනතුරුව, එම තීන්දුවට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ ද පෙත්සමක් ගොනු කර තිබිණි. මෙම නඩුව 2019 ජනවාරි 20 දින විභාගයට ගැනීමට දින නියම කර තිබිණි. කෙසේ වෙතත්, අවසානයේදී විත්තිකරු ජනාධිපති විය. නඩුව ඉවත් කරගැනීම සිදු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් මගිනි.

මෙය අපූර්ව තත්වයකි. එම තත්වය තුළ ජනාධිපතිවරයා නඩුවෙන් නිදහස් කිරීම නිවැරදි ය.

1 thought on “ජනාධිපති ගෝඨාභය මැදමුලන නඩුවෙන් නිදහස් කිරීම ඉතා නිවැරදි ක්‍රියාවක් වන්නේ මෙහෙමයි

Leave comment

Your email address will not be published. Required fields are marked with *.