Dissolve parliament

අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ ජුලි 9 අර්ධ උද්‍යෝගී (half-hearted) උත්සාහයක් දැරුවා පාර්ලිමේන්තුව අල්ලන්න. ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, හරිනි අමරසූරිය වගේ අයගෙන් ඒ අර්ධ උද්‍යෝගීත්වය පැහැදිලිව දක්නට ලැබුණා. වැඩේ පත්තු කරලා ඒ කට්ටිය හෙමින් සැරේ දිරාමාරු වුණා. කට්ටිය සෑහෙන්න ගුටිකෑවා එදා, ඒ ගැන කවුරුවත් වැඩිය සද්ද නැහැ. ඒ අතරෙ එතනදි ආයුදයක් නැතිවුණා.

දවසක් පාර්ලිමේන්තුවේ කොරිඩෝවකදි ජනාධිපති රනිල් අනුර කුමාරගෙන් ඇහුවා ‘අර ආයුදේ කෝ?’ කියලා. අනුර කලබල වෙලා මොන ආයුදේද, ඔබතුමා පිස්සු කතාකරනවද කියලා කිව්වා. ආයුදේ භාරදෙන්න කියලා රනිල් යන්න ගියා. මේක අරුණ පුවත්පතේ ගොසිප් අතරෙ පළවුණා. කවුරුවත් ඒ ගැන වැඩි සද්දයක් නැතුව හිටියා. ඒක තර්ජනයක්ය, මෙන්න මර්දනය කරන්න හදනවාය කියලා වැළලෙන්න ගියේ නැහැ. ඇයි ඒ?

මේ අතරෙ අරගලේ සම්මුතිය තමයි දැන් නීතිය කියල කයිවාරු ගහපු පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් අඩියක් පස්සට ගත්තා. කුමාර් ගුණරත්නම් කාලෙකින් දැක්කෙත් නැහැ. ඔය අතරෙ නැතිවුණ ආයුදේ දියවන්නාවෙ තිබිලා හමුවුණා.

පෙසප ජාමෙ බේරගන්න අන්තරේ ෆෝම් කරලා එව්වට අරගලේ සම්මුතිය ප්‍රමෝට් කරපු කට්ටිය ඒ පස්සෙන් ආවෙ නැහැ. අත්අඩංගුවට පත්වුණේ කවුරුද? වසන්ත මුදලිගේව අල්ලගත්තෙ ගෑස්පහ හන්දියෙදි ආපසු යද්දි. ෆලෝ කරලද ඇල්ලුවෙ? නැතිනම් ඔත්තුවක් ලැබුණාද? ඇයි අර පසුගිය දිනවල කැපීපෙනුණු චරිත උද්ඝෝෂණයෙ හිටියෙ නැත්තෙ? ඒ වෙනුවට අත්අඩංගුවට පත්වුණේ මොන්ලාර් කියන ඉඩම් හා කෘෂිකර්මය සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන චින්තක රාජපක්ෂ වගේ අය. කවුරුද ඔවුන්ව අනතුරේ හෙලුවේ?

අන්තරේ උද්ඝෝෂණයි, ජවිපෙ උද්ඝෝෂණයි ඇයි එක ළඟ දවස්වල වැටෙන්නෙ? ඇයි ජවිපෙ ජාතික ජන බලවේගය වෙලා ලංකාවෙම සෙනග අරන් මේ වගේ වෙලාවක නුගේගොඩ එන්නෙ? ඇයි ඔවුන් හරිම රොමැන්ටික් විදියට පෙනීසිටින්නෙ?

ආණ්ඩුව දැනට ආර්ථිකය හා දේශපාලනය කළමනාකරණය කරගන්නා ආකාරය අනුව, අවුලක් ඇති නොවුණොත් ලබන අවුරුද්දෙ මැද විතර වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවලා ඕනැ නම් අලුතෙන් මැතිවරණයක් පවත්වන්නට වුණත් පුළුවන් වෙිවි. අවුල් ඇතිවෙන්නට ඉඩ තියෙනවා. විශේෂයෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන, ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම වගේ දේ සංකීර්ණ වෙන්න පුළුවන්. සමහර ඒවා අත්හැර දමන්නට සිදුවෙන්නත් පුළුවන්. එහෙම වුණොත්, මැතිවරණ පවත්වන එකට වඩා ප්‍රමුඛතාව දෙන්නට වෙන්නෙ ආර්ථිකය පවත්වාගෙන යන්නටයි.

සමහරවිට රනිල් මහ මැතිවරණයට කලින් ජනාධිපතිවරණයක් කැඳවන්නට වුණත් ඉඩ තියෙනවා. ඔහු නැවත ජනාධිපතිවරණයට තරග කරන්නට ඉඩ තියෙනවා. දැනට තිබෙන තත්වය අනුව නම්, පොහොට්ටුව ඔහුට සහාය දෙනවා.

එහෙම වුණොත්, ජනාධිපතිවරණය එපා කියනවාද? අපට ඕනැ මහ මැතිවරණයක්ය කියනවාද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තත්වය කරා ආපසු යන්නට මුලපුරා තියෙද්දි ඒකත් නැතුව ඇයි මේ ජනතා විමුක්ති පෙරමුණ මහ මැතිවරණයක් ඉල්ලන්නෙ? මැතිවරණ ක්‍රමය වෙනස් කරගන්නට තිබෙන අවස්ථාවවත් පාවිච්චි කරන්නට උත්සාහ කරන්නෙ නැද්ද? ඇයි මේ හදිසි? දැන් මැතිවරණයක් තිබ්බොත් ජවිපෙ ජයග්‍රහණය කරයි කියලා ඔවුන් හිතනවාද?

මේවා තමයි උභතෝකෝටික ප්‍රශ්න. අවුල් වෙන්න එපා. අවුල ලිහාගන්නයි ඕනැ අපි.

2 thoughts on “ජනාධිපතිවරණයක් එයිද මහ මැතිවරණයක් වෙනුවට

  1. බොහෝ රාජ්‍ය ආයතන බිඳ වැටී තිබෙන්නේ එම ආයතනවල ක්‍රියාකාරකම් හා කළමනාකරණ දුබලතා හේතුවෙනි. අධිකතර වැටුප් ගෙවීම, කොමිස් ගැහිලි, දරාගත නොහැකි තරමේ සේවක බඳවා ගැනීම් මෙන්ම ආයතන හා සම්බන්ධ අභ්‍යන්තර බාහිර අක්‍රමිකතාද මෙම දුබලතා අතරින් කිහිපයකි. ප්‍රතිව්‍යුහගතකරණය වැදගත් වන්නේ මෙබඳු දුබලතා වළක්වා ගැනීමේ පියවරක් වශයෙනි. මේ කටයුත්ත අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් බව සත්‍යයකි. යම් යම් පිරිස් මේ සම්බන්ධ විවිධ මතවාද පළ කරනු ඇත. ප්‍රබල විරෝධතාද ඉදිරිපත් විය හැකිය. එහෙත් අකැමැත්තෙන් හෝ සත්‍යයට මුහුණ දිය යුතුව තිබේ.

    ප්‍රතිව්‍යුහගතකරණයත්, පෞද්ගලීකරණයත් ක්‍රියාකාරකම් දෙකකි. බිඳවැටුණු ආයතනයක් යළි ගොඩනඟන්නට පියවර ගැනීම ප්‍රතිව්‍යුහගතකරණයයි. එහි පෞද්ගලීකරණ තත්ත්වයක්ද තිබිය හැකිය. එහෙත් රාජ්‍ය වගකීම හා හිමිකාරිත්වය මුළුමනින්ම බැහැර කිරීමක් සිදුනොවන තැනට වගබලාගත යුතුවේ. අනෙක් කාරණය දැනට ලාභ ලබන තත්ත්වයෙන් පවත්වාගෙන යමින් තිබෙන ආයතන ප්‍රතිව්‍යුහගතකරණයට පත් කිරීම නුසුදුසුය

Leave a Reply to Lakshman Jayasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: