President Gotabaya Rajapaksa in parliament

අජිත් පැරකුම් ජයසිංහ

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පවත්වන ලද කතාව කෙරෙහි අවධානය යොමුකළ යුතුය. එය ඉතා සාමකාමී කතාවකි. එහෙත්, අසම්පූර්ණය. මෙවැනි අභියෝගාත්මක සමයක ජනාධිපතිවරයකුගෙන් ඊට වඩා ශක්තිමත් ප්‍රකාශනයක් අවශ්‍යය.

වත්මන් අභියෝග ජයගැනීම සඳහා සහාය වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලාසිටීම අත්‍යවශ්‍යය. එහෙත්, සහාය වන්නේ කෙසේදැයි කවුරු හෝ ප්‍රශ්නයක් නැගුවහොත් එයට දීමට පිළිතුරක් ජනාධිපතිවරයාට තිබේද? වැඩිදුර යන්නට අවශ්‍ය නැත. පාර්ලිමේන්තුවේ විපක්ෂයට එම සහාය පිරිනැමීම සඳහා යාන්ත්‍රණයක් තිබේද? අඩු තරමේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට හෝ එවැනි අවස්ථාවක් තිබෙන බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පෙනෙන්නේ නැත. කැබිනට් මණ්ඩලයේ තත්වය ද එයයි. සහාය වන්නට ක්‍රම හා විධි නැත. ජනාධිපතිවරයා සහාය යන්නෙන් අදහස් කරන්නේ ඔහුත්, ඔහුගේ කණ්ඩායමත් කරන දේ නිහඬව, ප්‍රශ්න නොකර සිටීමද? නැත. අප නම් සිතන්නේ සහයෝගය යනු විසඳුම් සඳහා තීරණ ගැනීමේ සිට ක්‍රියාත්මක කිරීම හා ඇගයීම දක්වා සහභාගීත්වයයි. ජනාධිපතිවරයා කළ යුත්තේ එයට නායකත්වය දීමයි.

ගෝලීය වසංගතය සම්බන්ධයෙන් එන්නත්කරණයේ සාර්ථකත්වය පිළිබඳ හුරුපුරුදු පම්පෝරිය කෙසේ වෙතත්, ලංකාවේ වසංගත අවදානම අවසන් වී නැත. ජනතාවට දුරස්ථභාවය පවත්වාගැනීමට, වසංගත සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමට රජය සමත් වූයේ නැත. මේ වන විට එන්නත්කරණය සම්බන්ධයෙන් රටේ ජනතාවගේ උනන්දුව ද අඩුවී තිබේ. වසංගත අවදානම සම්බන්ධයෙන් මහජනතාවට කතාකිරීමට ජනාධිපතිවරයා මෙම කතාව භාවිතා කළ යුතුව තිබිණි.

“ජාතිවාදය අවුස්සන උසිගැන්වීම් නතර කරන්නැයි මෙය තවදුරටත් කරන දේශපාලකයන් ගෙන් ඉල්ලා සිටිනවා. රටේ ස්වෛරීත්වය ට සහ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙන අතර ජාත්‍යන්තර ප්‍රජාව කරන නිරීක්ෂණ සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වන්නට කටයුතු කරනවා,” යි ජනාධිපතිවරයා පැවසීය. මෙය ඉතා වැදගත් ප්‍රකාශයකි. ඔහු බලයට පත් වූයේම ජාතිවාදය අවුස්සන උසිගැන්වීම් හරහාය. ඔහුගේ ඇතැම් අනුගාමිකයෝ තවමත් එම ක්‍රියාවල යෙදෙති. මෙය ඔහු පක්ෂ අභ්‍යන්තරයට කළ ප්‍රකාශයකි. එසේම, ජාත්‍යන්තර ප්‍රජාවට ධනාත්මක ප්‍රතිචාර දක්වන්නට ඔහුට මතක් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව තව සති කීපයකින් රැස්වීමට නියමිත නිසාය. ජාතිවාද මැඩලීම, සංහිඳියාව, සංක්‍රාන්ති යුක්තිය හා තිරසාර දේශපාලනික විසඳුම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අවශ්‍යය. හුදු කතාවලින් පමණක් කිසිවක් සිදුවන්නේ නැත.

තම පාලන කාලය තුළ ද කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල නොදුන් බව ජනාධිපතිවරයා පැවසීය. එහෙත්, 2015-19 සමය තුළදී පූර්ණ අන්දමින් නතර කර තිබූ රාජ්‍ය අත්අඩංගුවේ සිටින සැකකරුවන් මරාදැමීම යළි ආරම්භ කළේ රාජ්‍ය අනුග්‍රහයෙන් බව නොදන්නේ කවුරුද? ඒවා නතර කිරීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම පොලිසිය මිලිටරි මානසිකත්වයෙන් පෙළෙන සරත් වීරසේකර වැනි ඇමතිවරයකුගෙන් මුදාගැනීම එහිදී වැදගත් වනු ඇත. ක්‍රියාමාර්ග අවශ්‍යය. කයිවාරු වැඩක් නැත.

නීතියේ ප්‍රමාදය නිසා පීඩා විඳින ජනතාවට විසඳුම් ලබාදීමටත් ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාව කේන්ද්‍ර ස්ථාන කිරීමේ නීති හඳුන්වාදීමත් පිළිබඳ ජනාධිපතිවරයා අදහස් පළකළේය. අපරාධ, සිවිල් හා වාණිජ නීති 98ක් ප්‍රතිසංස්කරණය සඳහා කටයුතු කිරීම අතිශය වැදගත්ය. ඇත්තෙන්ම ඒ සම්බන්ධයෙන් මීටත් වඩා අවධානය යොමුකළ යුතුව තිබේ. ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද වැදගත්ම ප්‍රතිපත්තිය එයයි.

ආර්ථික ක්‍රියාවලිය ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය. එය සුබාරංචියකි. එහෙත්, හිතන තරම් සරල තත්වයක් එහි නැත. තිබෙන සංකීර්ණත්වය පිළිබඳ අවංකව ජනතාව සමග සාකච්ඡා කිරීමට වගකීමක් ජනාධිපතිවරයාට තිබේ. රු. බිලියන 229 ඊනියා සහන පැකේජය වැනි විජ්ජා හා සුරංගනා කතා වෙනුවට ජනතාවට ඇත්ත ඇති සැටියෙන් පැවසිය යුතුය. ආර්ථිකය ගොඩගන්නට නම් අප හැමදෙනාම කැපකිරීම් කළ යුතුය. වෙහෙස විය යුතුය.

මේ වන විට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අර්ධ වශයෙන් අකර්මණ්‍ය වී හමාරය. රජයේ ආදායමෙන් 80%ක් පමණ වැයවන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහායි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව නැංවීම අද වන විට අතිශය වැදගත් වී තිබේ. ආණ්ඩුව ගන්නා කුමන තීරණයක් වුව ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය සේවය අතිශය වැදගත්ය. කොපමණ නීති ප්‍රතිසංස්කරණ සිදුකළත්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නොමැති නම් එය සංවර්ධනයට බාධකයකි. ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ ඒ පිළිබඳ අවධානයක් යොමුකර ඇති බවක් නොපෙනේ.

2022 යනු ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට සිදුවන වර්ෂයක් බව ඇත්තය. එයට හේතුව, 2021 වසරේ ආණ්ඩුව විසින් ගන්නා ලද ඇතැම් ප්‍රතිපත්ති තීරණ හේතුවෙන් ආහාර සුරක්ෂිතභාවයට දැඩි බලපෑමක් ඇතිවීමයි. ඇතැම් තීරණ හා තීන්දුවලින් හරකුන් මැරීම නැවැත්වීමෙන් පව් සමාකරගැනීම වැනි අපේක්ෂා සහිත අගමැති මහින්ද රාජපක්ෂ වැනි අය අසතුටු වීම අනිවාර්යය. විශේෂයෙන්ම, වගාවට හානිකරන වන සතුන් පාලනය සම්බන්ධයෙන් රජය ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යය. කෘෂි රසායනික සම්බන්ධයෙන් ආණ්ඩුවේ මිථ්‍යා මත ඉවත නොදමා ආහාර සුරක්ෂිතභාවය ඇති කළ නොහැක.

මේ වනවිට උග්‍රවී තිබෙන විදේශ සංචිත අර්බුදයට හේතුව ලෙස ජනාධිපතිවරයා දක්වන්නේ, සංචාරක ව්‍යාපාරය කඩාවැටීම, විදේශ ශ්‍රමිකයන් විසින් රටට එවනු ලබන ප්‍රේෂණ අඩුවීම හා කොරෝනා නිසා රට වසාතැබීම හේතුවෙන් විදේශ ආයෝජන අවම වීමයි. විදේශ ආයෝජන අවම වීමට හේතුව රජයේ වැරදි ප්‍රතිපත්තිය. විදේශ ආයෝජන සම්බන්ධයෙන් මහජන විරෝධයන් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයාගේ පක්ෂය විපක්ෂයේ සිටින සමයේදී කටයුතු කළේය. එම්සීසී වැනි විදේශ ප්‍රදානයන් හා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැනි සහන ණය මත පදනම් වූ ව්‍යාපෘති සම්බන්ධයෙන් ඔවුන් විසින් බිල්ලන් නිර්මාණය කරන ලදී. නැගෙනහිර ජැටිය පෞද්ගලීකරණය කිරීමේ ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව ඉඩදුන්නේය. යුගදනවි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාජය තුළ අවිශ්වාසය නිර්මාණය වන තත්වයක් නිර්මාණය කළේය. කොටස් වෙළඳපොළේ විදේශ ආයෝජන ඉවත්වී යන තත්වයක් නිර්මාණය කළේය. කළුසල්ලි ජාවාරම්වලට හිතකර වාතාවරණයක් නිර්මාණය කළේය. බලයට පත්වූ සැණින් රාජ්‍ය ආදායම් බිඳවැටෙන ආකාරයේ බදු සංශෝධන ගෙනඑමින් රාජ්‍ය මූල්‍ය අර්බුදයක් නිර්මාණය කළේය. ආනයන සීමා පණවමින් අපනයන කර්මාන්තවලට ද අකුල් හෙළුවේය. විදේශ සංචිත අර්බුදය නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුව විදේශ ආයෝජන බිංදුවට ආසන්න මට්ටමටම පහතවැටීමයි.

ආයෝජකයන් දිරිගන්වන එකදු තීරණාත්මක ක්‍රියාමාර්ගයක් හෝ ජනාධිපතිවරයාගේ කතාවේ තිබුණේදැයි සැක සහිතය. ශ්‍රීලන්කන් වැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කරන බව කියන්නට ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මෙතරම් අකැමැති ඇයි. මේ වන විට රටේ බලශක්ති අර්බුදයක් ද නිර්මාණය වී හමාරය. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරන්නට ආණ්ඩුව බියය. එවැනි සංදර්භයක් තුළ ආයෝජකයන් රටට ආකර්ශනය වනු ඇද්ද? අධිවේගී මාර්ග හැදූ පමණින් රට සංවර්ධනය වන්නේ නැත. රට සංවර්ධනය වන්නට නම් ව්‍යවසායකත්වය දියුණු විය යුතුය.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සාධනීය අදහස් ඉදිරිපත් කළේය. ඒවා නම් ඕනෑ කෙනෙකුගේ කතා රස කිරීම සඳහා එකතු කරනු ලැබේ. වැදගත් වන්නේ කීම නොව කිරීමයි.

කෙසේ වෙතත්, බලයට පත්වී අවුරුදු දෙකකට වැඩි කාලයක් ගතවී තිබියදී හෝ ජනාධිපතිවරයා තම වගකීම පිළිබඳ යම් අධ්‍යාපනයක් ලබා තිබෙන බව මෙම කතාවෙන් පෙනේ. රාජ්‍ය විශ්වවිද්‍යාල ධාරිතාව වැඩි කරන අතර ඉහළ ඉහල ප්‍රමිතියෙන් යුතු රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇරැඹිය යුතු දැයි සාකච්ඡා කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා පැවසීය. වැදගත් ප්‍රතිපත්තිමය තීන්දු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වැඩි වැඩියෙන් සම්බන්ධ කරගැනීම ප්‍රජාතන්ත්‍රවාදීය. ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ප්‍රජාතාන්ත්‍රික වීමෙන් ආණ්ඩුවේ අසාර්ථක කාබනික ප්‍රතිපත්තිය වැනි භයානක වැරදි මගහරවාගත හැකිය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ප්‍රවේශය අගය කළ යුතුය. මේ අවස්ථාවේ ආණ්ඩු පෙරළීමට වඩා වැදගත් වන්නේ පාලකයන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොමුකරගැනීමයි. ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් ඒ සම්බන්ධ උවමනාවක් තිබෙන බව පෙනේ.

1 thought on “ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විමසීමක්

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: