chamuditha Samarawickrama

අජිත් පැරකුම් ජයසිංහ

චමුදිතට එල්ල වූ ප්‍රහාරය ගැන සජීවීව අදහසක් දක්වන්නට ඊයේ රේඩියෝ චැනල් එකකින් ආරාධනාවක් ලැබුණා. මං ඒක කාරුණිකව ප්‍රතික්ෂේප කළේ ඒ ගැන උනන්දුවක් නැතිකම හා ඒ වෙලාවේ වෙන වැඩකුත් තිබුණු නිසායි. සාමාන්‍යයෙන් වෙන්නෙ අපි පැනලා දෙන එකනෙ. මාධ්‍යවලින් අපේ අදහස් විමසීමක් වෙන්නෙ කලාතුරකින්. මාධ්‍යවලට අදහස් ප්‍රකාශ කරන්න, අදහස් තියෙන කට්ටිය රටේ ඉන්නවානෙ. මං හිතන්නෙ චමුදිත වෙනුවෙන් කතාකරන්න ගොඩක් කට්ටිය ඕනැ වෙලා ඇති. නැතිනම් කට්ටිය මදි ඇති. ඒ නිසා වෙන්න ඇති මටත් කතා කළේ. කෙසේ වෙතත්, චමුදිතට අසූචි ප්‍රහාරයක් එල්ලකිරීම ගැන මට කියන්න තියෙන්නෙ මේ අදහස:

මාධ්‍යකරණය කියලා පාරිශුද්ධ වැඩක් ඉතිහාසයේ කවදාවත් තිබිලා නැහැ. කිසිම මාධ්‍යවේදියෙකු අපක්ෂපාතීයි කියලා මං හිතන්නෙ නැහැ. මාධ්‍යවේදියෙකු නොවුණට, මාධ්‍යකරුවකු වන මං නම් කොහොමවත් අපක්ෂපාතී නැහැ. මං පක්ෂපාතී මොකකටද කියන එකයි මෙතනදී වැදගත්. මං පක්ෂපාතී වෙන්නෙ දේශපාලනික අරමුණකට. මං ලියන්නෙ, පෙනීසිටින්නෙ ඒ අරමුණ වෙනුවෙනුයි.

මාධ්‍යකරණය නමින් මං නොකරන දේවල් ටිකක් තියෙනවා. මං ජනප්‍රියවාදය පස්සෙ යන්නෙ නැහැ. ලක්ෂ ගණන් මගේ පස්සෙන් එන්න මට ඕනැ නැහැ. කොටින්ම විශාල බලපෑම්කරුවකු නොවුණට මට කමක් නැහැ. ඒ වගේ මාධ්‍ය බලපෑමක් නඩත්තු කරන්න සල්ලි හොයන්නත් ඕනැ. ඒ වෙනුවෙන් ආධාරකරුවන්ගෙන් අරමුදල් ලබාගන්න, දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් පසුපස ගාටලා දැන්වීම් ලබාගන්න, එක එකාගෙ ප්‍රතිරූප ගොඩනගන හා එක එකාගෙ උවමනා වෙනුවෙන් තව අයගෙ ප්‍රතිරූප විනාශ කරන වැඩසටහන් කරන්න, අපට මෙහෙම කරන්න පුළුවන් ඒ නිසා සලකන්න කියලා බ්ලැක්මේල් කරන්න වගේ දේවලට මම නම් උනන්දුවක් නැහැ.

හැබැයි, අද අපි මාධ්‍යකරණය හා මාධ්‍යවේදීන් කියලා දකින්නෙ මේ දේවල් කරන අය වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නෙ නැහැ, චමුදිත සමරවික්‍රම එහෙම කෙනෙකුය කියලා. කොටින්ම මං චමුදිත ගැන මොකුත් දන්නෙ නැහැ. මං එයාගෙ වැඩසටහන් විශේෂ උනන්දුවකින් බලන්නෙත් නැහැ. බලන්නෙ නැහැ. පේනවා. කොටින්ම චමුදිත වැඩකරන්නෙ හිරු ටීවී එකේය කියන එක පවා මට නිච්චියක් තිබුණෙ නැහැ. මං ඒ චැනල් එක බලන්නෙම නැති නිසා වෙන්න ඇති.

චමුදිතට වැගන් ආර් එකකින් ඇවිත් අසූචිවලින් පහරදීම ආණ්ඩුවෙ වැඩක්ය කියලා මං හිතන්නෙ නැහැ. සමහරු වැගන් ආර් එකටත් සුදු වෑන් එකක්ය කියන්න කලබල වුණා. හැබැයි, මේක ලේසියෙන් අල්ලගන්න පුළුවන් වැඩක් නිසා අල්ලගත්තෙ නැතිනම් ඒක ආණ්ඩුවේ වැඩක්ය කියලා සැකයක් ඇතිවෙන එක වළක්වන්නත් බැහැ. කොහොම වුණත්, කවුරු වුණත්, චමුදිතට එල්ල කරපු මේ ප්‍රහාරය බොළඳ වැඩක්. ඒකට හේතුව මේකයි:

මාධ්‍යවේදීන් කියලා එක එක විදියෙ ස්මෝල්ටයිමර් හෙවත් අසාර්ථක, නොවැදගත් චරිත මතුවන එක වළක්වන්නට බැහැ. ඒගොල්ලන්ට යම් යම් කාලවලදී ලොකු ෆෑන් බේස් එකක් තියෙන්නටත් පුළුවන්. ඒ අය පුද්ගලයන්ට හා සමාජයට හානි සිදුකරන එකත් වළක්වන්නට බැහැ. එතනදී වැදගත් වෙන්නෙ සමාජයේ මාධ්‍ය සාක්ෂරතාවයි. හැබැයි, සමාජයේ මාධ්‍ය සාක්ෂරතාව ගොඩනගන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද, මාධ්‍යවේදීන් කියලා මතුවන මේ ස්මෝල්ටයිමර්ලා කරන වැඩවලින් සිදුවන්නෙ සමාජයේ මාධ්‍ය සාක්ෂරතාව විනාශ වෙන එක.

මාධ්‍ය සම්බන්ධයෙන් නියාමනයක් අවශ්‍යද, ඒ නියාමනය කරන්නේ කොහොමද කියලා සාකච්ඡාවක් තිබෙනවා. එම සාකච්ඡාව හා සම්බන්ධ ලිපියක් මේ සමග තිබෙනවා. කියවන්න ගෝලීය සමාජයක ජාතික මට්ටමින් මාධ්‍ය නියාමනය. කොහොම වුණත්, මාධ්‍යවලින් අගතියට පත්වන මිනිසුන්ට සහන ලබාගත හැකි විධිමත් ක්‍රමවේද අවශ්‍යයි. අගතියට පත්වෙච්ච මිනිසුන්ට ඒවා වෙත පහසු ප්‍රවේශය තියෙන්නට ඕනැ. ඒ වගේම අගතිය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රතිකර්මය බලපෑම් සහිත එකක් වෙන්නට ඕනැ.

මාධ්‍යවේදීන්ට අසූචිවලින් පහරදෙන තත්වයක් රටේ තියෙනවා නම්, ඒක ගැන මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සංවිධානවලට පැති ගණනාවකින් හිතන්නට සිදුවෙන බවත් මාධ්‍යවේදීන්ට කිව යුතුයි. ප්‍රකාශනයේ නිදහස කියන්නේ වල්බූරු නිදහසක් නොවන බව මාධ්‍යවේදීන් දැනගත යුතුයි. මාධ්‍ය නිසා අගතියට පත්වන පාර්ශ්ව හෝ ආණ්ඩුව හෝ නීතිය අතට ගෙන ප්‍රචණ්ඩත්වයට යොමුවෙනවා නම්, එතැන ප්‍රකාශනයේ නිදහසට බරපතල අභියෝගයක් තිබෙන බවත් කිව යුතුයි.

2 thoughts on “චමුදිතට අසූචි ප්‍රහාරයක් එල්ලකිරීම

  1. Pereda mang PAANSHOO namwoo nirmaanaya beluwa .
    Aeka honda maadya bhavithawak yai sithuwata kamak nethda ?

  2. මේ රටේ ඇතැම් භික්ෂුන් වහන්සේලා ඡුන්දය ඉල්ලූවාට මේ රටේ කිසිම කතෝලික ආගමික නායකයෙක් ඡුන්දය ඉල්ලනවා තබා දේශපාලනය ගැනවත් කතා කර නැත. මීට කලකට පෙර කොළඹ අගරදගුරු තනතුරට පත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් තුමා ද පාස්කු බෝම්බය පුපුරන තුරු ආගම හැරුණුකොට අනෙක් කිසිම දෙයක් ගැන ප‍්‍රසිද්ධියේ කතාකර නැත. එහෙත් පාස්කු බෝම්බය විසින් බලහත්කාරයෙන් උන්වහන්සේ ප‍්‍රසිද්ධ වේදිකාවට ඇද දමනු ලැබ තිබේ. පාස්කු බෝම්බය පුපුරා අවුරුදු කීපයක් ගතවී ඇතත් එයින් හානියට පත්වූ අයටත් අබ්බගාත වී සදාකාලිකව ඇඳේ සිටින අයටත් මියගිය අයගේ ආත්මවලටත් කිසිදු සාධාරණයක් ඉටුවී නැත. මළ මිනිහකුගේ ආත්මයට සාධාරණයක් ඉටුකරන්නේ කොහොමදැයි මේ වෙලාවේදී අපේ පාඨක ප‍්‍රජාව කල්පනා කරනු ඇති. තමන් මෙන් මැරී නොව, නොමැරී තුවාල ලබා අනාථ භාවයට පත්ව සදාකාලිකව දුක් විඳින අයට සාධාරණය ඉටු කිරීමෙන් මළ මිනිස්සු සතුටු වන බව අපට තර්කයක් වශයෙන් කිව හැකිය. මෙය විඤ්ඤාණවාදී අදහසක් වීමට ඉඩ තිබේ. එහෙත් මරණ මංචකයේදී අප හැමදෙනාම පාහේ කල්ගත කරන්නේ මරණින් මතු ජීවිතය, ඊළඟ ආත්මය, ඊළඟට උපදින්නේ කවරකු ලෙසද වැනි කාරණා ගැනය. පාස්කු බෝම්බයෙන් පසු මද කලක් ඉවසා සිටි කාදිනල්තුමා යහපාලන ආණ්ඩුවෙන් සාධාරණය ඉල්ලන්නට පටන් ගත්තේය. එහෙත් ටික කලකට පසු එළඹී මහ ඡන්දයේදී ඉල්ලූ සාධාරණය පමණක් නොව යහපාලන ආණ්ඩුව ද වාෂ්ප වී ගියේය. එසේ මළවුන් අතරට ගිය ඒ ආණ්ඩුව අදටත් ගත කරන්නේ ගන්ධබ්බ කාලයකි. ඒ නිසා හරිආකාර විරුද්ධ පක්ෂයක් නැති බැවින් මේ ආණ්ඩුව හිතුණු හිතුණු පරිදි පිස්සු කෙළින බව පෙනේ.

    නීතිපතිතුමා දේශපාලන අතකොළුවක් නොවන බවත් මේ ආණ්ඩුව කරන කුමන්ත‍්‍රණකාරී වැඩ නිවැරදිව හඳුනාගෙන සුදුසු වෙලාවට පියවර ගන්නා ලෙසත් කාදිනල්තුමෝ පසුගිය දිනක ප‍්‍රසිද්ධියේ පැවසූහ. නිවැරදි වෙලාවේදී නිවැරදි පියවර ගන්නා ලෙස කීමෙන් උන්වහන්සේ අදහස් කරන්නේ ඊළඟ ඡන්දයේදී ආණ්ඩුව පැරදවිය යුතුය යන බව පෙනේ. කාදිනල්තුමා මේ අදහස් ප‍්‍රකාශ කිරීමට මුල් වූයේ පසුගියදා පැහැරගන්නා ලද ෂෙහාන් මාලක නමැති තරුණයකු සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදීය. පාස්කු බෝම්බය කවරකු විසින් පුපුරවනු ලද්දේ ද යන්න තමා දන්නේ යයි ෂෙහාන් මාලක පසුගියදා ප‍්‍රසිද්ධියේ කීය. ඉන්පසු මේ තරුණයා පාරේ යමින් සිටියදී සුදු වෑන් රියකින් පැමිණි පොලිසිය ඔහු පැහැර ගත්තේය. පොලිසිය විසින් සුදු වෑන් සංස්කෘතිය වෙනස් කරනු ලැබිය යුතුමය. ඒ සඳහා ඔවුන් මුලින්ම කළ යුත්තේ වෑන් එකේ පාට වෙනස් කිරීමය. දීර්ඝ කාලයක් තිස්සේ සුදු වෑන් යොදාගෙන මිනිසුන් පැහැර ගැනීම නිසා මේ වනවිට ගෙයක් ඉදිරියෙන් වෙනත් හේතුවකට සුදු වෑන් එකක් දෙතුන් වරක් කැරකුණත් නිවැසියන්ට බඩ යන්නට පටන් ගනී. සැකකරුවකු පාරේ ගමන් කරන විට පොලිස් වාහනය නවත්වා සැකකරු කුදලා ඒ වාහනයට දමා ගැනීමට බොහෝවිට පොලිසියට සිදුවේ. විශේෂයෙන්ම සැකකරු නීතියේ ආධිපත්‍යයට ඇඳිවත ඔසවා පෙන්වමින් පොලිසියෙන් සැඟවී සිටින විට පෙරකී ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම කළ යුතුමය. එවිට එය පැහැරගැනීමක් ලෙස අර්ථකතනය වෙයි. සැකකරු පාරේ යනවිට පොලිස් වාහනය නවත්වා ”මල්ලි මෙහෙ එන්න. ඔයාට වරෙන්තුවක් තියෙනවා. ඇවිත් වෑන් එකට නගින්න. අපි පොලිසියට ගිහින් හීනියට මොනව හරි ටිකක් කමු බොමු” යනාදී සංග‍්‍රහශීලී වචනයෙන් සැකකරු ආමන්ත‍්‍රණය කර ඔහුට නෛතික වරෙන්තුව පෙන්නා වෑන් එකේ තිබෙන පොලිස් පොතේ පැමිණිල්ලක් ලියා සැකකරු ජීප් එකට නග්ගාගෙන යෑම කිරීමට නොහැක. එබැවින් සැකකරුවකු බලෙන් ගෙනයද්දී ඔහු පැහැරගත් කෙනකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය ආයතනවල රෙජිස්ටර්වල ලියාපදිංචි වේ. මේ පැහැරගැනීම් කිසිවක් හෝ මේ ආකාරයට අත්අඩංගුවට ගැනීමක් පොලිසිය කවදාවත් නවත්වන්නේ නැත. එබැවින් ඔවුන්ට මේ මොහොතේදී කළ හැක්කේ සුදු වෑන් එකේ පාට වෙනස් කර එයට කහ පාට වැනි ආගමික සහ ස්වාධීනත්වය නියෝජනය වන වර්ණයක් යෙදීම පමණි. මාලක පැහැරගැනීම කිසියම් කෙනකු විසින් වීඩියෝ කර අන්තර්ජාලයට නිකුත් කරන ලදී. වැඬේ පත්තු වන්නේ එතැන් සිටය. මේ රටේ ධනවාදී ලේබලය යටතේ පත්වූ කිසිදු ආණ්ඩුවක් මේ ආකාරයෙන් මිනිසුන් පැහැරගෙන නැත. එහෙත් ප‍්‍රගතිශීලී සහ ජනතාවාදී ආණ්ඩු ලෙස හඳුන්වාගත් (හෙවත් සැක කෙරුණු) හැම ආණ්ඩුවක්ම මිනිසුන් පැහැරගෙන ගියේය. මිනිසුන් ඝාතනය කළේය. ලසන්ත වික‍්‍රමතුංග මැරීම, ප‍්‍රගීත් එක්නැලිගොඩ ‘රූපය දිරනා නාමේ නොදිරනා’ තත්ත්වයට ගෙන ඒම, පුවත්පත් කලාවේදීන්ගේ ගෙවල්වලට පහරදීම, පුවත්පත් ආයතන පිටින්ම ගිනි තැබීම, රූපවාහිනී ආයතනවලට පහරදීම, කර්තෘවරුන්ගේ අත පය කැඞීම යන සියලූදේම ප‍්‍රගතිශීලී සහ ජනතාවාදී රාජපක්ෂ ආණ්ඩු යටතේ සිදුවිය. මේ ගැන රට පාලනය කළ හෝ කරන ජනාධිපතිවරුන් හෝ අගමැතිවරුන් නොදන්නා බව අපි දැඩිව විශ්වාස කරමු. මේ සියල්ල කළේ ඔවුන්ගේ දෙවන පෙළ නියෝජනය කරන බූරු රැුලය. ලොහාන් රත්වත්ත පසුගිය කාලයේදී කුදාර් වෙන්නට විස්කි බී හිරගෙදර එල්ලූම්ගස බැලීම පිණිස මහ රැ ‘සංචාරකයන්’ ගෙන ගියේය. සිරකරුවන් බිම දණ ගස්සවා හිසට පිස්තෝලය එල්ල කළේය. ඉන්පසු එහි වගකීම භාරගත් ඔහු බන්ධනාගාර කටයුතු භාර ඇමැතිකමින් ඉල්ලා අස්විය. ඔහුට විරුද්ධව අදටත් කිසිම නඩුවක් නැත. ඔහු අදටත් චූන් එකේ වෙනත් රාජ්‍ය ඇමැති තනතුරක් දරමින් ෆන් ගනී. ගෝඨාභය රාජපක්ෂ බලයට ඒමේදී සඳහන් කළ මතවාදය සමග මේ ක‍්‍රියාකලාපය කිසිසේත් නොගැළපේ. කාදිනල්තුමා කට අරින්නේ පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් නොව පවතින සමාජ අසාධාරණයටත් එරෙහිව එක්ක බව අපගේ විශ්වාසයයි. බොහෝ අපරාධ පැය 24 න් අල්ලන පොලිසියක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් අපට තිබේ. ඕනෑම හාවකු අත්අඩංගුවට ගෙන තමන් හාවකු නොව වලසකු බවට පාපොච්චාරණයක් ඒ හාවාගෙන් ලබා ගැනීමට අපගේ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත්ය. එහෙත් පාස්කු බෝම්බය පිපිරවූ කට්ටියගෙන් මියගිය කොටස හැර පණ පිටින් ඉන්න කොටස ගැන කිසිවක් හෙළි කර ගැනීමට පොලිසියට බැරිය. කාදිනල්තුමා ඉල්ලන්නේ තම සමය අදහන ජනයාට වූ අවැඩ සම්බන්ධයෙන් යුක්තිය පමණි. මේ ගේමට, ගේමක් ගහගන්නට බැරි ආණ්ඩුවෙන් වැඩක් නැත.

Leave a Reply to Lakshman Jayasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: