national flags of countries

අජිත් පැරකුම් ජයසිංහ

මේ වන විට ලංකාවේ සමාජයෙන් කොවිඩ්-19 රෝගීන් හමුවීම මුළුමනින් ම නතර වී ඇත. එසේම, ලංකාවේ ලොකුම කොරෝනා පොකුර වූ නාවික හමුදාවේත් රෝගීන් පාලනය වී ඇත. මෙම සටහන පළ වන විට ලංකාවේ මෙතෙක් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 2,000 ඉක්මවා තිබෙන්නට පුළුවන.

Translations by Creative Content Consultants

මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සංඛ්‍යාලේඛන ඉහළ යන්නේ විදේශයන්හි සිට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිසායි. රටකින් පිටත්ව රටකට පැමිණෙන මිනිසුන්ට කොවිඩ්-19 වැළඳී නැති බවට එම මගියා පිටත් වන රට වගකිව යුතුයි. වුණත්, ලංකාවට පැමිණ පීසීආර් පරීක්ෂණ සිදු කරන විට එම පුද්ගලයන්ට කොවිඩ්-19 වැළඳ තිබීමෙන් පෙනී යන්නේ කොරෝනා වයිරසයේ ආක්‍රමණශීලී ස්වභාවයයි.

මේ වන විට ආපසු සිය රට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 50,000ක් පමණ වේ. ඔවුන්ගෙන් අති විශාල පිරිසකට මේ වන විට රැකියා අහිමි වී ඇත. බොහෝ දෙනෙකුට නවාතැන්, ආහාර ආදිය පිළිබඳ ප්‍රශ්න ඇති වී තිබේ. ශ්‍රී ලංකා රජය කල්ගනිමින් සිටින්නේ ඇතැම් රටවල් කොවිඩ්-19 මැද ම යථා තත්වයට හැරෙමින් පවතින නිසා මේ අතරින් යම් පිරිසකට ආපසු රැකියා ලැබිය හැකි බැවින් විය හැකි ය. එහෙත්, කොවිඩ්-19ට පෙර හා පසු තත්වයන් සමාන වන්නේ නැත. වඩාත්ම පීඩිත ශ්‍රමිකයන් අන්ත අසරණ වී තිබේ. මේ අතරට වීසා කල් ඉකුත් වූ අනවසර ශ්‍රමිකයන්, විවිධ ප්‍රශ්න නිසා රැකියා ස්ථානවලින් පළා යන්නට සිදු වූ අය හා සේවායෝජකයාගෙන් ඉවත්ව ස්වාධීනව වැඩ කරන අය ආදීහු අයත් වෙති. ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම රජයේ වගකීමකි. පුළුවන් කාලේ වැඩ ගෙන එම රටවල් විසින් ඔවුන් අත්හැර දමා තිබුණත්, ඒ අපේ පුරවැසියෝ ය. ඔවුන්ට යන්නට වෙනත් තැනක් නැත.

එහෙත්, විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීම පහසු කාර්යයක් නොවේ. එක පැත්තකින් නිරෝධායන මධ්‍යස්ථානවල ධාරිතාවන් ප්‍රමාණවත් නැත. අනෙක් පැත්තෙන් නිරෝධායන කාලසීමාවේදී ප්‍රවාහනය, ආහාර පාන, ආරක්ෂාව, ඖෂධ ආදිය වෙනුවෙන් විශාල ජාතික ධනයක් වැය වේ. සමස්තයක් ලෙසම කොවිඩ්-19 සම්බන්ධ දේශපාලනික ප්‍රචාරණ සංදර්ශන දැන් යල්පැන ගොසිනි. නිතර දෙවේලේ රූපවාහිනිය අරක් ගෙන සිටි කොවිඩ්-19 යුග පුරුෂයන් දැන් දැන් තිරවලින් මැකී යමින් තිබේ. හේතුව සරල ය. කොරෝනා වයිරසය අප අතරට කඩාවැදී ඇත්තේ සරල දේශපාලන සංදර්ශනවලින් පළවා හැරිය හැකි තරම් දුර්වල සතුරකු ලෙස නොවේ. කොරෝනා වයිරසය අප අතර තව බොහෝ කාලයක් පවතිනු ඇත.

මේ අතර, ලෝකයේ අති විශාල පිරිසකට රෝගය වේගයෙන් වැළඳෙමින් තිබේ. මෙම සටහන තබන මොහොත වන විට, රෝගීන් සංඛ්‍යාව කෝටියකටත්, මරණ සංඛ්‍යාව ලක්ෂ පහකටත් ආසන්න වෙමින් තිබේ. වැඩි පිරිසක් රෝගයට ගොදුරු වී, මරණවලින් ඉහළ වන්දියක් ගෙවූ රටවල් රැසක කොවිඩ්-19 ප්‍රස්ථාරයේ වක්‍රය පැතලි වෙමින් හෝ පහළ යමින් තිබෙනු දැකිය හැකි ය. එම රටවල වයිරසය පාලනය වී තිබෙන්නේ වයිරසය මගහැර යාමෙන් නොව, වයිරසයට මුහුණ දීමෙනි.

එහෙත්, ශ්‍රී ලංකාවේ උපායමාර්ගය වෙනස් එකකි. අප කළේ වයිරසය මගහැර යාමයි. ශ්‍රී ලංකාවේ පසුගිය මාස දෙකක ප්‍රස්ථාරයේ වක්‍රය ගතහොත් එය හිටි හැටියේ ඉහළ යමින් යළි පහළ බසිමින් ඇති එකකි. එහෙත් එය ඇත්තේ පහළ මට්ටමක ය. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ වක්‍රය පැතලි එකකි. ලෝකයේ ජනගහනයෙන් මිලියනයක් අතරින් කොවිඩ්-19 වැළඳී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,188ක් වෙද්දී, ලංකාවේ එය 91ක් පමණි.

එහෙත්, එපමණකින් ශ්‍රී ලංකාව සුරක්ෂිත යයි කිව හැකි ද? මෙම සුරක්ෂිත තත්වය රැකගන්නට නම්, ශ්‍රී ලංකාවට කැප කිරීම් රැසක් කිරීමට සිදු වේ. ආපසු සියරට පැමිණීමට සිදු වී තිබෙන විදේශ ශ්‍රමිකයන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීම සඳහා තව දිගු කාලයක් තිස්සේ විශාල ජාතික ධනයක් වැය කිරීමට සිදු වේ. එසේම, රටේ දෙවන ප්‍රධානතම විදේශ විනිමය උත්පාදන මාර්ගවලින් එකක් හා ප්‍රධාන රැකියා ක්ෂේත්‍රයක් වන සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීම දැඩි අභියෝගයක් වනු ඇත. සරලව කිව්වොත්, දවස් 14ක් නිරෝධායනය වන්නට බලාගෙන සංචාරකයන් ලංකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි ය. ඔවුන් ලංකාවට පැමිණෙන්නේ කොරෝනා වයිරසයත් රැගෙන ය. ඔවුන්ගෙන් රට ආරක්ෂා කරගන්නේ කෙසේ ද?

ගෝලීයකරණය වූ ලෝකයක වසංගත ද වේගයෙන් ගෝලීයකරණය වන බව කොවිඩ්-19 අපට පෙන්වා දුන්නේ ය. එහෙත්, ලෝකයේ සිදුවන ආර්ථික ගෝලීයකරණයට සමගාමීව ප්‍රජාතන්ත්‍රයේ ගෝලීයකරණයක් සිදු වී නැත. ප්‍රාග්ධන ගෝලීයකරණය බලවත් රටවල ආධිපත්‍යයට නතු වූ ජාතිකවාදී ව්‍යාපෘතියකි. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීයකරණය වූ වසංගතවලට පවා අප විසඳුම් සොයන්නේ ජාතිකවාදය තුළිනි. එය සැබැවින් ම කළ යුතු ගෝලීය ප්‍රජාතන්ත්‍රය ලෙස යම් දුරකට හෝ සැලකිය හැකි ලෝක සෞඛ්‍ය සංවිධානය හා එහි මාතෘ සංවිධානය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය කොයි තරම් අසරණ හුදු වෘත්තිකයන්ගේ සාකච්ඡා සංසදයක් බවට පත් වී තිබේ ද යන්න විමසා බලන්න.

ගෝලීය ප්‍රශ්නවලට ජාතික මට්ටමටත් වඩා සංරක්ෂණවාදී වූ දූපත් මට්ටමින් විසඳුම් සෙවිය හැකි ද යන කාරණය පිළිබඳ පරීක්ෂාවක් ශ්‍රී ලංකාවේ සිදුවෙමින් තිබේ.

Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.