Sunil Rathnayake

අජිත් පැරකුම් ජයසිංහ, 2019 ඔක්තෝබර් 20 අනිද්දා පුවත්පතේ ද පළ වේ

“එදා ඇපකැප වුණු රණවිරුවන් විශාල ප්‍රමාණයක් හිරගෙවල්වල ඉන්නවා, අභූත නඩු චෝදනා ඉදිරිපත් කරලා. මම මේ අවස්ථාවේදී කියන්නට කැමතියි, 17වෙනිදා උදේ වෙනකොට මේ සියලු දෙනා ම නිදොස් කොට නිදහස් කරනවා,” යි අනුරාධපුරයේ පැවැත්වුණ සිය ප්‍රචාරක රැළියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

මෙය ඉතා කූට පොරොන්දුවකි. අභූත නඩු චෝදනා කියා ජාතියක් නැත. හිටපු හමුදා නිලධාරීන් ඉතා සුළු පිරිසක් පමණක් ඉතා දීර්ඝ නඩු විභාගවලින් පසුව වරදකරු වී දඬුවම් ලබා තිබේ. සුනිල් රත්නායක නිදසුනකි.

2000 දෙසැම්බර් 20 වෙනිදා උඩුප්පිඩිහි අවතැන් කඳවුරේ සිට, හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හි තම ඉඩම් වෙත කෑමට යමක් සොයාගැනීමට ගිය මිනිසුන් පිරිසක් අතර සිටි වයස අවුරුදු පහක දරුවකු ඇතුළු දරුවන් තිදෙනෙකු  සමග දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා වැසිකිළි වලකට දැමූ බවට වූ චෝදනා ඔප්පු වූ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් 2015 ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී.

ඝාතකයින්ගෙන් පණ බේරාගත් පොන්නදුරෙයි මහේෂ්වරන් නමැත්තා හමුදා අත් අඩංගුවෙන් මිදී පලා ගොස් සිද්ධිය හෙළිදරව් කළේ ය. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ට උපකාර කළේ දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිටින යාපනය මන්ත්‍රී ඩග්ලස් දේවානන්දාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී. සංවිධානයයි. සුනිල් ඇතුළු හමුදා භටයන් පස්දෙනෙකු අඩංගුවට ගන්නා ලදී. සුනිල් රත්නායක ප‍්‍රධාන ඝාතකයා ලෙස හඳුනාගත් අතර තමා විසින් ඝාතනය සිදුකළා යැයි ඔහු පාපෝච්චාරණය කර ඇති බව වාර්තා වේ. වැසිකළිි වළක සඟවා තිබූ මළ සිරුරු යුද හමුදා පොලිසියට පෙන්වා තිබෙන්නේ ද ඔහු විසින් බවත් අධිකරණයේදී කියැවිණි. 2002 දී නඩු විභාගය ආරම්භ විය. වසර 13කට පසු සුනිල් රත්නායක පමණක් වරදකරු බවට පත් විය. සිරගතව සිටින රණවිරුවකුගේ කතාව එසේ ය.

දැන් ගෝඨාභය රාජපක්ෂ සමාව දෙන්නට යන්නේ මෙවැනි අයට විය යුතු ය. යුද්ධයට සම්බන්ධ නැති වෙනත් අපරාධ සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන් සුළු පිරිසකට චෝදනා එල්ල වී තිබේ. එම නඩු තවමත් විභාග වෙමින් තිබෙන අතර අධිකරණයේ විභාග වෙමින් තිබෙන නඩුවලට සමාව දීමේ හැකියාවක් ජනාධිපතිවරයාටවත් නීත්‍යානුකූලව නැත. එසේම, ජනාධිපතිවරයා අධිකරණයට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කර නඩුවලින් සැකකරුවන් නිදහස් කරන තත්වයක් ඇතිවන්නේ නම් එය බරපතල තත්වයකි.

මරණීය දණ්ඩනය නියම වූ ඉහත කී සුනිල් රත්නායක වැනි අයෙකුට සමාව දීම පවා සංකීර්ණ ක්‍රියාවලියකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ඒ පිළිබඳ දැක්වෙන්නේ මෙසේ ය: “යම් වරදකරුවකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුත්තේ ය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට, ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් දීමෙන් පසුව නීතිපතිවරයාගේ ඒ උපදෙස් සමග එය අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනාධිපතිවරයා විසින් එය නීතිපතිවරයා වෙත යැවිය යුත්තේ ය. ඉන්පසු ඒ අමාත්‍යවරයා විසින් සිය නිර්දේශ ද සමග එම වාර්තාව ජනාධිපතිවරයා වෙත එවිය යුත්තේ ය.”

ජනාධිපති සමාව ලබා දිය හැක්කේ ඉන් අනතුරුව ය. නොවැම්බර් 17 උදෑසන වන විට සියලු රණවිරුවන් නිදොස්කොට නිදහස් කරනවා ය යන්න හුදු වාගාලංකාරයක් පමණි. එහෙත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කරන අපේක්ෂකයකු ද වන හිටපු ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳ නිදහස් කළ අන්දම මෙහිදී අනුගමනය කළ හැකි ය. මිල්රෝයිගේ සහකාරියක හා ඇගේ සේවිකාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිටි මෙම කාන්තාව නිදහස් කිරීමට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇගේ දඬුවම අඩු කළේ ය. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ දඬුවම් අඩුකිරීමට ජනාධිපතිවරයාට ඇති බලතල අනුව ය.

කෙසේ වෙතත්, යුද්ධය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් හමුදා සෙබළුන්ට මෙන් ම දේශපාලන සිරකරුවන්ට ද පොදු සමාවක් ලබා දීම නරක දෙයක් නොවේ. දිගට ඇදෙමින් පවතින දේශපාලන සිරකරුවන්ගේ ප්‍ර‍ශ්නයට විසඳුම් සෙවිය හැකි ආකාරය පිළිබඳ සාකච්ඡාව නැවත ආරම්භ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගත යුතු ය.

යුද සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්ව සමග ඇති කර ගන්නා එකඟතාවකින් රජයේ ආරක්ෂක අංශ හා ඔවුන්ට සහාය දුන් සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන්ටත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හා යුද සමයේ ක්‍රියාත්මක වූ වෙනත් දෙමළ සංවිධානවලටත් පොදු සමාවක් ප්‍ර‍දානය කරන ලෙස ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ දෙමළ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින බවට ජාතික හෙළ උරුමය විසින් 2018 සැප්තැම්බරයේදී කරන ලද ඉල්ලීම ඉතාම කාලෝචිත හා ප්‍ර‍ගතිශීලී ඉල්ලීමක් ලෙස සලකමින් අගය කරන්නෙමු.

මිලිටරිකරණය සමස්ත සමාජ දේහය පුරා ම පැතිරුණු සංකීර්ණ ප්‍ර‍ශ්නයකි. හුදු සටන් පාඨවලින් මිලිටරිහරණය සිදු කළ නො හැකි ය. එසේම, එය දෙමළ ජනයාගේ ප්‍ර‍ශ්නයක් ලෙස පමණක් සැලකීම ද උවමනාවට වඩා සරලමතික තර්කයකි. මිලිටරිකරණයේ ගොදුරු බවට පත් වන්නේ පීඩිතයන් පමණක් නො වේ. පීඩකයන්ට ද මිලිටරිකරණය පීඩාවකි. සියලු දේශපාලන වෙනස්කම් අතර, මිලිටරිහරණය යනු ඉතා ඉවසිලිවන්තව කළ යුතු කාර්යයකි.

දේශපාලන සිරකරුවන්ගේ ප්‍ර‍ශ්නය ද හුදෙක් දෙමළ ප්‍ර‍ශ්නයක් පමණක් නො වේ. 1989 කැරැල්ල සමයේ එය සිංහල ජනතාවගේ ප්‍ර‍ශ්නයක් විය. එසේ ම, යුද සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සිර ගත වන්නට සිදු වූ දෙමළ ජාතිකයන් දෙස මෙන් ම, සිංහල ජාතිකයන් ස්වල්ප දෙනා දෙස ද බලන විට දැකිය හැකි කරුණක් වන්නේ දෙපාර්ශ්වයේ ම තෝරුන් හා මෝරුන් දැල් ඉරාගෙන ගොස් තිබියදී නීතියෙහි දැලේ පැටලී ඇත්තේ හාල්මැස්සන් බවයි. 

යුද්ධයට නියමින් හා අනියමින් සහභාගි වූ සෑම පාර්ශ්වයක් ම නීති විරෝධී අන්දමින් කටයුතු කළ ය. ඍජුව යුදවැදුණු පිරිස් පමණක් නොව මාධ්‍යකරුවන් පවා සාපරාධී වැරදි කළ හ. මේ වැරදිකරුවන් අතරින් ඇතැමෙකුගේ වැරදි රජය විසින් නොතකා හරින ලදී. රජයේ හමුදාවලට අමතරව කරුණා, කේපී වැනි කොටි නායකයෝ ද ඒ අතර සිටිති. තවත් ඇතැමෙකු පුනරුත්ථාපනය කර නිදහස් කරන ලදී. තවත් පිරිසකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අතරින් පිරිසකට දඬුවම් පමුණුවා හමාර ය. ඒ අතර හමුදා සෙබළු ද සිටිති.

අවසානයේදී දේශපාලන සිරකරුවන්ට අවශ්‍ය නිදහසයි. මෙයට විසඳුම් සෙවිය හැක්කේ සාකල්‍ය ප්‍රවේශයකින් පමණි. සිංහල ජාතිවාදීන් කියන පරිදි හමුදා අතින් කිසිදු වරදක් වී නැති බව හා වැරදි කළේ කොටින් පමණක් ය යන්න කිසිවකු පිළිගන්නේ නැත. එපරිද්දෙන් ම දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය පරිදි හමුදා සම්බන්ධයෙන් පමණක් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්නටත්, සියලු දෙමළ දේශපාලන සිරකරුවන් පමණක් නිදහස් කරන්නටත් බැරි ය.

කළ හැකි වඩාත් ප්‍රායෝගික දෙය වන්නේ යුද වකවානුවේදී සිදු වූ යුද්ධය හා සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් පොදු සමාවක් පිරිනැමිය හැකි ය. යුද්ධය හා සම්බන්ධව සිදු වුණු අපරාධ සහ වෙනත් අරමුණු මත සිදුකරන ලද අපරාධ අතර වෙනස විග්‍ර‍හ කරගැනීම ද මෙහිදී අත්‍යවශ්‍ය ය. මේ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විසින් ක්‍ර‍මවේදයක් යෝජනා කර තිබේ. ඒ අනුව, නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍ර‍ධානත්වයෙන් පත් කරන ලද කමිටුවක් මගින් යුද සමයේ වූ අපරාධ යුදමය අභිමතාර්ථ සාධනයේදී ඇති වූ දේවල් ද, නැතිනම් පෞද්ගලික අභිමතාර්ථ සාධනයේදී වූ දේවල් ද යන්න වෙන් කර හඳුනාගනු ඇත. මෙය ද ඉතා සරල කාර්යයක් නොවේ. යුදමය අරමුණු මෙන් ම පෞද්ගලික අභිමතාර්ථ ද එකට මුසු වූ අපරාධ රැසක් සිදු වී තිබේ.

යුද්ධය අවසන් වී දශකයකට ආසන්න කාලයක් ගෙවී හමාර ය. මේ වන විටත් බොහෝ සාක්ෂි විනාශ වී අවසන් ය. යුද අපරාධ චෝදනාවන්ගෙන් අවසානයේදී ලංකාවට ඉතිරි වී තිබෙන්නේ ජාත්‍යන්තරයට අපට තරවටු කරන්නට යොදාගත හැකි කෙවිටක් පමණි.මේ තත්වය සිංහල ජාතික ව්‍යාපාරය විසින් යම් දුරකට තේරුම් ගෙන තිබෙන බව ජාතික හෙළ උරුමයේ ස්ථාවරයෙන් පෙනේ.1989 කැරැල්ල සම්බන්ධයෙන් විධිමත් අන්දමින් නොවුණත්, ප්‍රායෝගික භාවිතාව තුළින් මෙවැනි පොදු සමාවක් ප්‍ර‍කාශයට පත් විය.

1 thought on “ගෝඨාභයගේ නිදොස්කොට නිදහස් කිරීම, රණවිරුවන් සහ දේශපාලන සිරකරුවන්

  1. මගේ අදහස නම් වැරදිකරුවෙකුට සමාව දීමේදී වඩාත් වැදගත් විය යුත්තේ වින්දිතයාගේ මතයද විමසීමට ඉඩ සැළසිය යුතු බවය. මන්ද යත් එකී අපරාධයෙන් නඩුව විමසූ විනිසුරුවරුන්හට හෝ නීතිපතිට හෝ ජනාධිපතිට හෝ කිසිදු අගතියක් සිදුවී නොමැති අතර ජනාධිපතිහට එය අන්කෙනෙකුගේ පීඩාව තුළින් තම ප්‍රතිරූපය මවා ගැනීමේ තුච්ඡ ප්‍රයත්නයට වුව පිටිවහළක් වියහැකි බැවිනි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.