අජිත් පැරකුම් ජයසිංහ, 2019 ඔක්තෝබර් 11 ලංකා පුවත්පතේ පළ වේ

ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපතිවරණයේදී කාට සහයෝගය දෙන්නේ ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත්, ඔහු රඳා පවතින්නේ අන්ත සිංහල බෞද්ධ අන්තවාදීන් මත ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ රාජපක්ෂ පවුලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පදනම් වන්නේ සිංහල බෞද්ධ ජාතිවාදය මත ය. ඔවුන් අන්තවාදය ප්‍රතික්ෂේප කරනවා වෙනුවට එයට ඉඩ දී එහි වාසිය අත්පත් කරගන්නා බව පෙනේ. ඒ අතරතුර ම දෙමළ, මුස්ලිම් ජනතාවන් සමග උපයෝගිතාවාදී සම්බන්ධතාවක් ඇති කරගැනීමට ද ඔවුහු උත්සාහ කරති.

Translations by Creative Content Consultants

ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් දෙබරෙකට ගසන ලද ගලක් නිසා උතුරේ කැළඹීමක් ඇති වී තිබේ. ඒ මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරුහි සෙම්මාලෙයි නීරාවියඩි නමින් දෙමළ වැසියන් හඳුන්වන, සිංහල පවුල් පහක් පමණක් පදිංචි දෙමළ ගම්මානයේ පිහිටි ගුරුකන්ද විහාරස්ථානයේ වැඩ සිට, පසුගිය සැප්තැම්බර් 21දා පිළිකා රෝගී තත්වයකින් මහරගම අපේක්ෂා රෝහලේදී අපවත් වූ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝගයකට පටහැණිව පන්සල් භූමියේ ම ආදාහනය කිරීමෙනි.

දකුණේ සිංහල සමාජය තුළ සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් ගොඩනගා තිබෙන තර්කය වන්නේ ‘හාමුදුරුවන්ගෙ මිනිය පන්සලේ ආදාහනය කරන්නට බැරි මොකද?’ යන්නයි. බැලූ බැල්මට මෙයින් පෙනෙන්නේ දෙමළ ජනයා අන්තවාදීව කටයුතු කරන බවයි. දෙමළ ජනතාව අතර ජාතිවාදී අන්තවාදී ප්‍රවණතා තිබේ. මෙම සිදුවීමපසුපස ද ඒවායේ යම් බලපෑමක් තිබිය හැකි ය. එහෙත්, මෙම සිදුවීම ගැඹුරින් විමසා බැලිය යුතු ය.

මෙම පන්සල ආශ්‍රිතව පැරණි බෞද්ධ නටබුන් තිබෙන නිසා එහි බෞද්ධ උරුමයක් ඇති බවට සිංහල බෞද්ධයෝ තර්ක කරති. එහෙත්, යුද්ධයට පෙර සමයේ සිට මෙම ස්ථානයේ හින්දු කෝවිලක් තිබුණු බව දෙමළ ජනයා තර්ක කරති. වර්තමාන පන්සල ආරම්භ වී තිබෙන්නේ හමුදාව විසින් මෙම ප්‍රදේශය පාලනය කළ සමයේ සෙබළුන් විසින් ආගමික වතාවත් පවත්වන ලද ස්ථානයක් ලෙස ය. යුද්ධයෙන් පසු එම ස්ථානයේ භික්ෂුවක් වැඩ වාසය කර පන්සලක් පවත්වාගෙන ගොස් තිබේ. පන්සලේ ඉදිකිරීම් සම්බන්ධයෙන් දෙමළ පිරිස් විරෝධය පළ කරති. මෙම ආරාවුල අධිකරණයට ගිය නඩු කටයුත්තකි.

හින්දු ආගමිකයන් තම දේවස්ථාන භූමිය යයි කියන ප්‍රදේශය තුළ භික්ෂුවගේ දේහය ආදාහනය කිරීම වැළැක්වීමේ නියෝගයක් අධිකරණයෙන් ලබාගන්නා ලදී. අධිකරණය විසින් දේහය අදාහනය කිරීම සඳහා මතභේදයට තුඩු දුන් භූමියෙන් පිටත ප්‍රදේශයක් ලබා දෙන ලදී. එහෙත්, ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු දකුණෙන් පැමිණි සිංහල බෞද්ධ පිරිසක් විසින් මතභේදයට තුඩු දුන් භූමියේ ම බලහත්කාරෙන් ආදාහනය සිදු කරන ලදී. මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඔක්තෝබර් 09දා ප්‍රකාශයක් කළ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේ එම අවස්ථාවේදී එහි සිටි පොලිස් අධිකාරිවරයකු ප්‍රධාන පොලිස් පිරිස එම නීති විරෝධී ක්‍රියාව වැළැක්වීමට කටයුතු නොකරන ලද බවයි. ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ක්‍රියාව විසින් පොලිසිය පමණක් නොව අධිකරණය ද අර්බුදයට යවා තිබේ. ඥානසාර හිමිට එරෙහිව කටයුතු කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අසමත් වීම සමස්ත අධිකරණ පද්ධතිය ම අර්බුදයට ලක් කිරීමකි. පුද්ගලයන් නීතියට ඉහළින් යාම නීතියේ ආධිපත්‍යය විනාශ කරයි.

මෙම ප්‍රදේශයේ ඉතිහාසය විමර්ශනය කිරීමේදී බෞද්ධ මෙන් ම හින්දු ආගමික ස්ථාන ද මෙම ස්ථානවල එකට හෝ එක් එක් කාල වකවානුවල වෙන වෙන ම පැවත ඇති බව වාර්තා වේ. බෞද්ධ මෙන් ම හින්දු ආගමික ස්ථාන එකට ඇති නටබුන් පොළොන්නරුව, පදවිය වැනි ස්ථාන ගණනාවකින් හමු වී තිබේ. විශේෂයෙන් ම පොළොන්නරු යුගයේ මුල පටන් ම මෙම ප්‍රදේශයේ හින්දු බලපෑම අධික විය. කෙසේ වෙතත්, මෑතභාගය වන තුරු ම කිසිවකු මෙම පුරා විද්‍යා ස්ථානවලට හානි සිදු කළේ නැත. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් මෙම ප්‍රදේශ පාලනය කළ සමයේ පවා, ජාතිවාදී පදනමින් පුරාවස්තු විනාශ කළේ නැත. එහෙත්, මෑත අවධියේදී ජාති ආගම් භේදයකින් තොරව, නිදන් සොරුන් විසින් දිවයින පුරා පුරාවිද්‍යා ස්ථාන රැසක් විනාශ කර තිබේ.

පසු කලෙක මෙම ප්‍රදේශයේ විසූ දෙමළ ජනතාව පළවා හරින ලදී. එයට සිංහල වැසියන් මෙන් ම හමුදාවල ද සම්බන්ධයක් තිබේ. එසේම, මෙම ප්‍රදේශවල විසූ දෙමළ ජනයා පදවිය, වැලිඔය, කැබිතිගොල්ලෑව වැනි ප්‍රදේශවල සිංහල මායිම් ගම්මානවලට පහර දීමේ සිද්ධිවලට සම්බන්ධ බවට සැකයක් ද ආරක්ෂක අංශවලට තිබිණි.

නයාරු ප්‍රදේශය පිහිටා තිබෙන්නේ මහවැලි සංවර්ධන අධිකාරියේ එල් කලාපයට ආසන්නයේ ය. මහවැලි වතුර බිංදුවක්වත් තවමත් ගමන් නොකරන මෙම මහවැලි එල් කලාපය ආරම්භ වූයේ 1980 දශකයේදී මිලිටරි ජනපදයක් ලෙස වැලිඔය සිංහල ජනපදය ආරම්භයත් සමග ය.

එල් කලාපයට අයත් වූ ප්‍රදේශවල අතීතයේ පදිංචිව සිට දීර්ඝකාලීනව අවතැන්ව සිටි ජනතාවගේ ඉඩම් ගැටලුව පිළිබඳ විශේෂ හමුවක් උතුරු පළාත්  ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්  මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03 වනදා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. එම හමුවෙන් පසු ආණ්ඩුකාරවරයා අදාළ ඉඩම්  නිරීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ චාරිකාවක් ද කළේය. මහවැලි එල් කලාපයට අයත් ඉඩම්වල ජීවත් වූ වැසියන් ආණ්ඩුකාරවරයා හමුවේ ප්‍රකාශ කර සිටියේ සිය ඉඩම්වල  1984 වන තෙක් ඔවුන් පදිංචිව සිටි බවත් අවතැන් වීමෙන් පසු ඔවුන් එම ප්‍රදේශවලින් ඉවත් වීමට සිදු වූ බවත්,  2012දී නැවත පැමිණි විට ඔවුන්ගේ ඉඩම් භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබූ බවත් ය. විශේෂයෙන් එහි ඇතැම් ඉඩම් සිංහල ජනතාවට බෙදා දී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ. 

උතුරු පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන ගණනාවක් සම්බන්ධයෙන් ආගමික මතභේද තිබේ. සත්‍යය වන්නේ එම ස්ථාන බෞද්ධ මෙන් ම හින්දු යන උරුමයන් දෙකෙන් ම යුක්ත වීමයි. එසේම, සිංහල බෞද්ධයන් විසින් අමතක කර තිබෙන කාරණයක් වන්නේ, මෙරට දෙමළ බෞද්ධයන් ද ජීවත් වූ බවයි. බුද්ධාගම යනු භාරතයේ ජීවත් වූ දාර්ශනිකයකු විසින් දේශනා කරන ලද දහමක් මිස ලංකාවේ සිංහලයන්ට පමණක් අයිති බුද්ධිමය දේපලක් නොවේ. බෞද්ධ පුරාවස්තු හැම එකක් ම සිංහලයන් විසින් ඉදි කරන ලද ඒවා නොවේ.

සිංහල ජාතිවාදීන් දෙමළ බෞද්ධකම පිළිගැනීමට දක්වන මැලිකම නිරූපණය වන සිද්ධියක් පිළිබඳ තාරක වරාපිටිය විසින් දිනමිණ පුවත්පතට ලියන ලද ලිපියක මෙසේ දැක්වේ. ”
‘දෙමළ බෞද්ධයා’ නමින් කෘතියක් මීට දශකයකට පමණ පෙරාතුව මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සම්පාදනය කරනු ලැබීය. ඔහු 80 දශකයේදී පමණ යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කොට ඇති බැවින් ශාස්ත්‍රීය මට්ටමින් මේ තේමාවට අදාළ කරුණු එකතු කරන්නට ඇත.මෙහිදී කෙනකු අපේක්ෂා කරනුයේ,අතීතයේ දෙමළ සමාජය තුළද බෞද්ධයන් සිටි බවට වන සාක්ෂි සමාජගත වීම පිළිබඳව සිංහල බෞද්ධයන් සතුටු විය යුතු බවය. එහෙත් මෙම කෘතිය පිට වූ වහාම ආචාර්ය නලින් ද සිල්වා රැස්වීමක් කැඳවා ප්‍රහාරයක් එල්ල කරන ලදී.” (දිනමිණ, දෙසැම්බර් 22, 2017)

උතුරු නැගෙනහිර ප්‍රදේශ දෙමළ ජනතාවගේ සම්ප්‍රදායික නිජබිම ලෙස පිළිගැනීම 1985දී භූතානයේ තිම්පු නුවරදී දෙමළ ජාතිකවාදී සංවිධාන විසින් පොදුවේ ඉදිරිපත් කරන ලද ඉල්ලීමකි. එය දේශපාලනිකව පිළිගන්නවා ද නැද්ද යන්න වෙනම කාරණයකි. ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට අවශ්‍ය නම්, දෙමළ ජනතාවගේ අපේක්ෂා මොනවා ද යන්න පිළිබඳ සිංහල ජනතාව අවබෝධ කරගත යුතු ය.

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ දිනයේ ඔහු විසින් පවත්වන ලද මනාව සැලසුම් කරන ලද කතාවේ ද දෙමළ ජනතාවගේ අපේක්ෂා ගැන සඳහන් විය. ඒ මෙසේ ය: “2500 වසරකට වඩා පැරණි ලිඛිත ඉතිහාසයක් තිබෙන අපේ රටේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. විවිධ ආගම් අදහන්නන් සිටිනවා. අපි හැමදාමත් එකිනෙකාගේ ආගම්වලට, සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරමින් සුහදව ජීවත් වූ ජාතියක්. අපේ ශක්තිය විය යුත්තේ ඒ එකමුතුකමයි. මේ මාතෘ භූමිය තුළ ඉපදුණු ඕනෑම අයෙකුට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි ආරක්ෂිත පරිසරයක් යළි ගොඩනගන බවට මම සහතික වෙනවා. එහෙත්, මම කිසිවිටකත් අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ තබන්නේ නැහැ. (වේගවත් අත්පොළසන්) ඒ වගේම උතුරේ ජනතාවට විශේෂිත වූ අපේක්ෂාවන් ගැන අපට මනා අවබෝධයක් තිබෙනවා. ඔවුන්ගේ මේ ගැටලු අපේ රජයක් විසින් නිසැකව ම විසඳන්නට කටයුතු කරනවා. (සෙමින් අත්පොළසන්)”

2009 වසරේ යුද්ධයේ අවසානයට පෙර සමයේ මෙන් ම යුද්ධයේ අවසානයට පසු සමයේත් ලංකාවේ සාමය හා සමෘද්ධිය සඳහා යතුර ඇත්තේ ජාතීන් අතර සංහිඳියාවෙහි ය. නිරන්තරයෙන් ඇති වන වාර්ගික ගැටුම් රටේ ස්ථාවරත්වයට බරපතල බාධකයකි. එහෙත්, ජාතිවාදයෙන් තම පටු අභිමතාර්ථ සාධනය කරගන්නට උත්සාහ කරන අන්තවාදියෝ සෑම ජාතියක ම ආගමක ම සිටිති. අන්තවාදී අදහස්වලට පහසු වෙළඳපළක් තිබේ. අන්තවාදීන් පෝෂණය කරන්නට සැදී පැහැදී සිටින මුග්ධ හා වංචනික පිරිස් එමට ය.

2 thoughts on “ගුරුකන්ද; සිංහල දෙමළ ගැටලුවේ අලුත්ම ගිනි පුපුර

  1. Hindu saha Bawddha adahili siyallahima moolika prabhawaya Indiyaawa . Athithaye lankawe visu rajawaru siyaludenaama anthakpura sarasiemata indiyaanu kaanthawan da aanayanaya kala nisa poojanieya sthaana hindu saha bawddha adahili sandahaa pahasukam sapayaa thiboo bavin adath ema sthaana aithiyata depaarsthawama himikam kireima saadaranaya . Eya gataluwakin thorawa vinishchayakara ganiema buddhimath samaajaye wagakiemaki .

  2. නායක ස්වාමීන්වහන්සේ අපවත් වූ පසු විහාරස්ථානය සම්බන්ධ නඩුව ද අවලංගු වූ බව වාර්තා වී ඇත.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.