පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE)

අජිත් පැරකුම් ජයසිංහ (2019 අගෝස්තු 18 ලංකා පුවත්පතෙනි)

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) රැස්වීම් දැන් මාධ්‍යයට විවෘත ය. ඒ වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධතියක් සවිකිරීමට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ.

Translations by Creative Content Consultants

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වන පරිදි, ස්ථාවර නියෝග 126 යටතේ එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදීම ස්ථාපනය කරනු ලබන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පිළිබිඹු වන පරිදි සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත වේ. කාරක සභාවේ ප්‍රථම සැසිවාරයේදී සාමාජිකයින් විසින් සභාපතිවරයකු පත්කර ගනු ලබන අතර එහි ගණපූරණය 04කි.

1979.06.21 දින ස්ථාපනය කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජයේ වගකීමක් ඇති රාජ්‍ය සංස්ථා හා අර්ධ රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය විනය පවත්වාගෙන යෑම සහතික කිරීමයි. ඕනෑම පුද්ගල‌‌යෙකු තමන් ඉදිරියට කැඳවීමටත්, ඕනෑම ලියවිල්ලක්, පොතක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයන් පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ දේපළවලට ප්‍රවේශ වීමටත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට බලය තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ද මේ හා සමාන ම පාර්ලිමේන්තු කාරක සභාවකි. එය රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමේ යෙදෙයි. මෙම සංවිධානයන්හි ගිණුම් විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කරනු ලබන අතර කාරක සභාවේ විමර්ශන කටයුතු වලට අදාල පදනම ඉන් සැලසේ. කාරක සභාව පාර්ලිමේන්තුවට සිය වාර්තා ඉදිරිපත් කරන අතර ඒවායේ ඇතුළත් වන නිර්දේශ අදාළ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල අනුගමනය කළ යුතු නියමයන් ලෙස සැලකේ.

පාර්ලිමේන්තුවේ කාරක සභාවල කටයුතු මාධ්‍යයට විවෘත කරවා ගැනීම රටේ ප්‍රජාතාන්ත්‍රික පදනම් ශක්තිමත් කිරීමට වහල් වේ. මෙය කාලීන මෙන්ම ඓතිහාසික වශයෙන්ද වැදගත් පියවරක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පැවසී ය. “පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයන් හි සිදු වෙමින් පවතින වර්ධනයන් විසින් ඉදිරිපත් කර ඇති අභියෝගයන්ට මුහුණදීමට පුරවැසියන් හට  පාර්ලිමේන්තුව ඔස්සේ  මැදිහත්වීමට තිබෙන අවස්ථා තව දුරටත් පුලුල් වීමක් ලෙස වැදගත්වේ. 

“පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම මගින් රාජ්‍ය ආයතනයන් හි මුල්‍ය කළමානකරණය පිළිබඳ විනිවිදභාවය වැඩි දියුණු වන අතර, සිවිල් සමාජයට මෙම කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වන තොරතුරු ඔස්සේ තවදුරටත් පොදු අධිකාරීන් ගේ වගවීම සම්බන්ධයෙන් මැදිහත් වීමට ඉඩක් ලැබෙයි.”

පාර්ලිමේන්තුවේ අනෙකුත් කාරක සභාවල කටයුතු ද කඩිනමින් මාධ්‍යයට විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

OpeningParliament.org යනු තම රටවල පාර්ලිමේන්තු සහ ව්‍යවස්ථාදායක ආයතන නිරීක්ෂණය, ඒවාට උපකාර කිරීම සහ විවෘතභාවය වැඩි කිරීම සඳහා වැඩ කරන ලොව සිවිල් සංවිධාන සම්බන්ධ කිරීමට උපකාර කරන වේදිකාවකි. එය පාර්ලිමේන්තු විවෘතභාවය පිළිබඳ ප‍්‍රකාශයට පදනම සැකසුයේ එම සංවිධානය විසිනි. මේ වන විට ලොව පුරා සංවිධාන රැසක් එම ප්‍රකාශය සම්මත කර තිබේ.

එම ප්‍රකාශයේ විධායක සාරාංශයේ දැක්වෙන පරිදි පාර්ලිමේන්තු විවෘතභාවය පිළිබඳ ප‍්‍රකාශයේ අරමුණ වන්නේ ජාතික, උප ජාතික හෙවත් පළාත් සහ පාරජාතික ව්‍යවස්ථාදායක ආයතනවලට පාර්ලිමේන්තු කටයුතුවලදී වැඩි විවෘතකමක් සහ පුරවැසි මැදිහත්වීමක් ඇති කිරීම සඳහා ඇපකැප වන ලෙස පාර්ලිමේන්තුවලින් ඉල්ලා සිටීමයි.

පුරවැසියන්ට පාර්ලිමේන්තු තොරතුරු ලබාගැනීමේ හැකියාව වැඩි කිරීම අරභයාත්, පුරවැසියන්ට පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගිවීමට තිබෙන හැකියාව ශක්තිමත් කිරීම සඳහාත්, පාර්ලිමේන්තු වගවීම වර්ධනය කිරීම සඳහාත් රජයන්ට බලපෑම් සිදුකළ යුතු ය. වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් සඳහාත් පාර්ලිමේන්තු, පාර්ලිමේන්තු නිරීක්ෂණ සංවිධාන සහ පුරවැසියන් අතර අතර සංවාදයක් අවශ්‍ය ය.

පාර්ලිමේන්තු තොරතුරු අයිති ජනතාවටයි. එම තොරතුරු පුරවැසියන් විසින් නැවත පාවිච්චි කිරීමටත්, නැවත පළ කිරීමටත් හැකි විය යුතු ය. පාර්ලිමේන්තු තොරතුරු වෙත ප‍්‍රවේශ වීමට පුරවැසියන්ට තිබෙන අයිතිය තහවුරු කිරීම සඳහා නීතිමය විධිවිධාන පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කළ යුතු ය. පාර්ලිමේන්තු පටිපාටි පිළිබඳ පුරවැසි අවබෝධය ප‍්‍රවර්ධනය කිරීමටත්, විවෘතකම සහ පාරදෘෂ්‍යභාවය වර්ධනය කිරීම සඳහා වෙනත් පාර්ලිමේන්තු සමග යහභාවිතාවන් බෙදාහදාගැනීම පිණිසත් පාර්ලිමේන්තුවට වගකීමක් තිබේ.

විවෘත සහ මනා පිළිවෙලකින් යුතුව පාර්ලිමේන්තු තොරතුරු අන්තර්ජාලය හරහා නිදහස් කළ යුතු බව OpeningParliament.org පෙන්වා දෙයි. එමගින් පුරවැසියන්ට ඒවා පුළුල් පරාසයක මෙවලම් භාවිතා කරමින් විශ්ලේෂණයට සහ නැවත පාවිච්චියට අවස්ථාව ලැබේ. පාර්ලිමේන්තු තොරතුරු පහසුවෙන් සොයාගත හැකි විය යුතු ය. එසේම, තොග වශයෙන් බාගත කරගැනීමේ හැකියාව ද තිබිය යුතු ය. ඒවා ගවේශණය කිරීම සඳහා නව තාක්ෂණයන් නිර්මාණය කරගැනීමේ අයිතිය ද ජනතාවට තිබේ. Manthri.lk වෙබ් අඩවිය මෙවැනි ප්‍රයත්නයකට මනා උදාහරණයකි.

ශ්‍රී ලංකාවේ පවතින මැතිවරණ හා දේශපාලන ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ ඒ සඳහා යෝග්‍ය පුද්ගලයන් නොවේ. පාර්ලිමේන්තුවේ කාර්යභාරය වන්නේ නීති, ප්‍රතිපත්ති සම්පාදනය බව හෝ ඇතැමෙකු දන්නේ නැත. පාර්ලිමේන්තුව තිබෙන්නේ ගම්වල පාරවලට තාර දැමීමට යයි සිතන විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිති. 2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් පසු පැවති පාර්ලිමේන්තු රැස්වීම්වලදී මෙවැන්නන්ගේ චර්යාවන් කුප්‍රකට ය. එහිදී පොදු දේපලවලට හානි කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. එසේම, එකී කුමන්ත්‍රණයේ නියමුවෝ ද නිරුපද්‍රිතව දිගට ම කඩාකප්පල්කාරී ක්‍රියාවල නියැලෙමින් සිටිති.

මෙම තත්වය වෙනස් කිරීම ද පහසු නැත. එහෙත්, පාර්ලිමේන්තුව වෙනුවෙන් දැවැන්ත මහජන ධනයක් වැය වේ. එබැවින් මහජන මුදල්වල වගවීම පිළිබඳ සොයාබැලීම වෙනුවෙන් පුරවැසියන් මැදිහත් විය යුතු ය. පාර්ලිමේන්තුව වැඩි වැඩියෙන් ජනතාවට විවෘත කරවා ගැනීමට තව තවත් බලපෑම් කළ යුතු ය. එසේ විවෘත වන අවස්ථා භාවිතා කරමින් පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීම පුරවැසියන්ගේ, සිවිල් සමාජ සංවිධානවල සහ ජනමාධ්‍යවල වගකීමකි.

එය සිදු නොකර පාර්ලිමේන්තුව වැඩක් නැහැ යි කියමින් ප්‍රතික්ෂේප කිරීම හා එය හුදු විහිළුවක් ලෙස සැලකීම දේශපාලනික ක්‍රියාවක් නොවේ. එකී විහිළුව නඩත්තු කිරීම සඳහා මහජන මුදල් කෝටි ගණනින් වැය වේ.

පාර්ලිමේන්තු විවෘතභාවය පිළිබඳ සංකල්පය හුදෙක් ම ජාතික පාර්ලිමේන්තුවට පමණක් සීමාවන්නක් නොවේ. ශ්‍රී ලංකාවේ පළාත් සභා නවයක් ක්‍රියාත්මක විය. මෙම පළාත් සභා රැස්වීම්වල සිදුවන්නේ කුමක් ද යන්න මාධ්‍ය විසින් පවා වාර්තා කරන්නේ එහි කෝලාහලයක් ඇති වූ විට හෝ මන්ත්‍රීවරුන් පිරිසක් අලුත සවි කළ ටැබ්වලින් කාමුක චිත්‍රපට බැලීමක් හෝ කළ විට පමණි. එහි සම්මත වූ යෝජනා ආදිය පිළිබඳ ජනතාව සොයා බලන්නේවත් නැත.

පළාත් පාලන ආයතන මට්ටමේදී ද පුරවැසියන්ට සභා කටයුතු සඳහා මැදිහත්වීම සඳහා නීතියෙන් සලස්වන ලද ඉඩකඩ තිබේ. එම අවස්ථා භාවිතා කරන්නේ කුමන පුරවැසියා ද? දේශපාලකයන්ට බැන බැන සිටීමෙන් සමාජය වෙනස් වන්නේ නැත. සමාජය වෙනස් කරන්නට නම් දේශපාලකයා පැත්තක තබා සක්‍රිය, ප්‍රගතිශීලී පුරවැසියකු හැදීම වෙනුවෙන් වැඩ කළ යුතු ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.