Wajira Abewardana

කෝටි 600කට වැඩි මහජන මුදලකට කෙළින වජිර අබේවර්ධනගේ පළාත් සභා තීරුබදු වාහන ජාවාරම

අජිත් පැරකුම් ජයසිංහ

හිටපු පළාත් සභා මන්ත්‍රීන් 418කට තීරු බදු සහන යටතේ ඩොලර් 35,000ක් දක්වා වටිනා වාහන ආනයනය කිරීමට අවසර දීම සඳහා රජය කටයුතු කරගෙන යයි.

Sinhala Tamil English Translations and Content Writing

මෙම එක් වාහනයකින් රජයට අහිමි වන අවම බදු මුදල රු. කෝටි එකහමාරකැයි දළ වශයෙන් ගණන් හැදූ විට රජයට අහිමි වන බදු ආදායම රු. කෝටි 627කට වැඩි ය.

ඩොලර් 35,000ක් යනු රුපියල් හැටතුන් ලක්ෂයකි. ඒ මිළට ගෙන එන වාහනයක් ලංකාවේ වෙළඳපොළේ රුපියල් කෝටි දෙකකට වඩා මිළ වේ. මෙම බලපත්‍රයක් රුපියල් කෝටියකට පමණ විකුණාගත හැකි ය. ලියුම් කීපයක් එහා මෙහා කර රුපියල් කෝටියක් උපයාගන්නට ලැබීම කොයි තරම් වාසනාවක් ද?

සාමාන්‍ය වැඩකරන ගැහැණු, පිරිමි අතරින් රුපියල් කෝටියක් ඉතිරියක් කරගැනීමට ලැබෙන්නේ ඉතා කලාතුරකින් කෙනෙකුට ය.

ලංකාවේ දේශපාලනයේ හා රාජ්‍ය සේවයේ සිටින අතලොස්සකට මෙවැනි වරප්‍රසාද හිමි වේ. ඔවුන් විසින් තීරු බදු නොගෙවා ආනයනය කරනු ලබන වාහන ධාවනය කිරීම සඳහා මාර්ග පද්ධතිය සහ වෙනත් යටිතල පහසුකම් නඩත්තු කිරීමට ගෙවිය යුත්තේ මහජනතාව ය. එපමණක් නොව, ඔවුන් විසින් කරනු ලබන පරිසර දූෂණය ද සමස්ත ජනතාව ම විඳගත යුතු ය.

දේශපාලන භේදයකින් තොරව දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් මෙම වරප්‍රසාද වෙනුවෙන් ඇපකැප වෙති. බහුතරයක් පළාත් සභා මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයන් වුව ද, ඔවුන්ට මෙම තීරු බදු සහනය ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ සටන් කරන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පළාත් සභා සහ ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධනයි. කුමන භේද තිබුණත් සිය වර්ගයා වෙනුවෙන් ඔවුන් කොතරම් පක්ෂපාතී ද, මහජන මුදල් කොල්ලකෑමේදී ඔවුන් කෙතරම් තිරශ්චීන ද යන්නට තවත් උදාහරණ අවශ්‍ය ද?

පළාත් සභා මන්ත්‍රීන්ට වාහන වරප්‍රසාදයක් දෙන්නේ මහජනතාවට සේවය කිරීමට ය. දැන් මේ මන්ත්‍රීවරුන් සේවය කර හමාර ය. අප ඔවුන්ට ස්තුති කරනවා මිස තව තවත් ඔවුන්ට දොල පිදේනි දිය යුතු නැත.

උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 37කට මෙම වරප්‍රසාදය දුන් බව හැරෙන්නට වෙනත් කිසිදු තර්කයක් මෙම තීරු බදු සහනයට අදාළ නැත. ඒ කතාව ද මේ රටේ මහජනතාවට අදාළ නැත.