Covid-19 and the journalist

අජිත් පැරකුම් ජයසිංහ

මෙම සටහන තබන මොහොත වන විට කොවිඩ්-19 ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. බස්නාහිර පළාතේ ජනතාව පුරා මාසයකටත් වඩා නිවෙස්වලට කොටු වී උපරිම කැපවීම් කළත්, අවසානයේදී දකුණු කොරියාවේ රෝගය වේගයෙන් පැතිරීමට ඉවහල් වූ සුප්‍රකට 31වන රෝගියා විසින් කරන ලද කාර්යය අවසානයේදී කළේ රජය විසින් ම ය. හමුදා සාමාජිකයන් ද මෙහිදී වින්දිතයන් පිරිසක් පමණක් නිසා ඔවුන්ට දොස් පැවරිය නොහැකි ය. කෙසේ වෙතත්, අවසානයේදී වැරදි කළමනාකරණයක් හෝ අවාසාව හෝ විසින් තත්වය නරක අතට හරවන ලදී. නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීම, පවත්වාගැනීම වැනි කොවිඩ්-19 සමග සටන් කිරීමේ අත්‍යවශ්‍ය කටයුතුවලදී හමුදාවෙන් ලැබුණු සේවය ප්‍රශංසනීය බව අප අමතක නොකළ යුතු ය. ඒවා ඒ අන්දමින් කළ හැකි වෙනත් ආයතනයක් ලංකාවේ නැත.

Translations

ඇඳිරි නීති ඉවත් කර රටේ ආර්ථික ක්‍රියාවලිය සක්‍රිය කරන්නට රජය විසින් කරන ලද සැලසුම්වලට කුමක් වේ ද යන්න අපැහැදිලි ය. තවත් බොහෝ කලක් ඇඳිරි නීති පවත්වාගෙන යා යුතු බවට සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලැබෙමින් තිබෙනවා විය හැකි ය.

කොවිඩ්-19 සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොව සමාජ අර්බුදයක් බව අප මුල සිට ම කීවෙමු. රෝගීන් සංඛ්‍යාව බිංදුව බවට පත් කර ලෝකෙන් පළමුවෙනි ස්ථානය අත්පත් කරගැනීමේ බොළඳ සිහින වගකිවයුත්තන් වෙතින් පළවෙද්දී, එදාත් අප කීවේ කොවිඩ්-19 සමග දිගු කලක් සටන් කරන්නට අපට සිදු වන බැවින් ඒ සඳහා ජනතාව හුරු කළ යුතු බවයි. එය කළ හැක්කේ ඇඳිරි නීතියෙන් නොවේ. මහජනතාව වගකිව යුතු තත්වයට පත් කිරීමෙනි.

මහජනතාව කොවිඩ්-19න් ගලවා ගත හැකි ප්‍රාතිහාර්ය බල සහිත පාලකයින් අපට නැති බව දැන්වත් වටහා ගත යුතු ය. ජනතාව තුළ බොරු බලාපොරොත්තු ඇති නොකළ යුතු ය. උද්ධච්ඡකම් බොහෝ වැරදි කළමනාකරණයන්ට හේතු වී තිබේ. ජනතාව ලෙස අපගේ වගකීම වන්නේ කොවිඩ්-19 සමග සටන් කිරීමේ මූලෝපායක් අප විසින් ම සකසා ගැනීමයි.

සරලව කීවොත්, කොවිඩ්-19න් ද ඒකාධිපති දේශපාලන සෙල්ලම් කරන්නට යන දේශපාලකයන්ට එය කරගන්නට ඉඩ දිය යුතු ය. මෙවැනි අවස්ථාවක ලංකාව වැනි රටක් පාලනය කිරීම පහසු හා වාසනාවන්ත වගකීමක් නොවේ. කිසිදු බුද්ධිමත් පාලකයකු මෙවැනි වේලාවක මෙවැනි අර්බුද තනිව දේශපාලන වාසි සඳහා භාවිතා කරන්නේ නැත. එසේ කරන්නට උත්සාහ කරන අයට කරගන්නට දී බලා සිටිය යුතු ය. එහෙත්, කොවිඩ්-19 පරාජය කිරීම සඳහා දරණ සෞඛ්‍ය ප්‍රයත්නයන්ට පූර්ණ සහාය ලබාදීම මහජනයා ලෙස අපගේ වගකීමයි.

එහෙත්, ඇඳිරි නීතිය විසින් මේ වන විට ආර්ථිකය අඩපණ කර හමාර ය. නිදහස් වෙළඳපොළ විකෘති වී ඇත. භාණ්ඩ බෙදාහැරීමේ ජාලයන් අඩපණ වී ඇත. ඒ වෙනුවෙන් රජය විසින් ඉදිරිපත් කරන ලද විසඳුම් බොහෝ දුරට අසාර්ථක ය. මේ වන විට, සෑම මට්ටමක ම ව්‍යවසායන් බිඳවැටී ඇත. ව්‍යාපාරිකයන්, සුළු වෙළඳුන්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, ස්වයං රැකියා කරන්නන්, පෞද්ගලික අංශයේ සේවකයන්, නොවිධිමත් අංශයේ කම්කරුවන්, සංචාරක මෙහෙයුම්කරුවන්, විදෙස්ගත ශ්‍රමිකයන්, ගොවීන්, ධීවරයන් ආදී රටේ ආර්ථිකය සැබැවින් දරා සිටින සියලු බලවේග මේ වන විට දුර්වල වී අවිනිශ්චිත තත්වයකට පත් වී තිබේ. දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් වැනි මහජන මුදලින් යැපෙන්නන්ට තවමත් වැටුප් ලැබෙන බැවින් ඔවුන් සතුටින් සිටිය ද ආර්ථිකය කඩාවැටීමත් සමග රජය ඔවුන්ට වැටුප් ගෙවන්නේ කෙසේ ද යන්න ද ප්‍රශ්නයක් බවට පත් වේ.

අප සිර කර තිබෙන උගුල එවැනි එකකි. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය දරුණු ආර්ථික පරිහාණියක් සහ සාගතයක් විය හැකි ය. ජනතාව ලෙස අප කළ යුත්තේ කුමක් ද යන්න එහිදී වැදගත් ය. මෙහිදී දේශපාලනය වැදගත් මුත්, ලංකාව මේ මොහොතේ ගිලී තිබෙන ජාතිවාදී, ආගම්වාදී, ඒකාධිපතිවාදී පසුගාමිත්වය ඉතා ජනප්‍රිය එකක් බැවින් එයට අභියෝග කිරීම ද ඔලුව ගලේ ගසාගැනීමකි. එහෙත්, අප බලාපොරොත්තු අත් නොහැරිය යුතු ය.

කිසිවෙකුට සවන් දෙන්නට සූදානම් නැති පාලකයන් හමුවේ වුව ඇත්ත වෙනුවෙන් සටන් කිරීම අත් නොහළ යුතු ය.

ඊයේ සහ අද මෙන් ම හෙට ද මේ රට වෙනුවෙන් කළ යුතුව තිබෙන්නේ ඵලදායී ලෙස වැඩකිරීමයි. මහජන මුදලින් යැපෙන දේශපාලකයන් හා නිලධාරීන් රටට බරක් වුව ද, ඔවුන් ලවා ව්‍යවසායකත්වයට හා වැඩ කරන ජනතාවට හිතකර ප්‍රතිපත්ති සම්පාදනය කරගැනීම සඳහා කරන අරගලය අත් නොහැරිය යුතු ය.

කොවිඩ්-19 සම්බන්ධයෙන් පාලකයන් වෙතින් බලාපොරොත්තු විය යුතු තත්වය The Great Influenza, The Epic Story of the Deadliest Plague in History නමින් 1918-20 සමයේ ලොව පුරා පැතිරුණ ස්පාඤ්ඤ උණ වසංගතය පිළිබඳ ලියන ලද පොතෙහි මහාචාර්ය ජෝන් බැරී විසින් තබන ලද සටහනක් නිශාන්ත කුලරත්න විසින් මෙසේ පරිවර්තනය කරන ලදී:

බලාධිකාරය සතුව සිටින්නන්, මිනිසුන් එකිනෙකාගෙන් ඈත් කරවන කලබලකාරීත්වයන් අඩු කර දැමීමට කටයුතු කල යුතුය. “තමාගේ ආරක්ෂාව සලසාගත යුත්තේ තමාම ය” යන අදහස ආදර්ශ පාඨයක් කරගත් සමාජයක් තවදුරටත් ශිෂ්ඨසම්පන්න සමාජයක් නොවේ.

පාලකයන් මහජනතාවගේ විශ්වාසය පවත්වාගැනීමට කටයුතු කල යුතුය. එය සිදු කළ හැකි ආකාරය වන්නේ කිසිදු තොරතුරක් විකෘති නොකිරීමයි, පවතින තත්ත්වයට “හොද මුහුණුවරක්” ලබාදී පෙන්වීමට කටයුතු නොකිරීමයි. එසේම, කිසිදු පාර්ශවයක් තමාට වාසි සහගත වන අන්දමට හැසිරිවීමට කටයුතු නොකිරීමයි.

නායකයා, පවතින ඕනෑම භයංකර තත්ත්වයක් එහි සංයුක්ත ස්වරූපයෙන්ම ජනතාව හමුවේ තැබිය යුතුය. එය කඩාබිද දැමීමට ජනතාවට හැකිවන්නේ එවිට පමණකි.

නායකත්වය එසේ කළත්, නොකළත්, මහජනතාව ලෙස අප වගකීම් සහගත වීම නතර නොකළ යුතු ය. අවසානය දක්වා සටන් කළ යුතු ය. කොවිඩ්-19ට මෙන්ම ඒකාධිපතිත්වයට ද අප පරාජය කිරීමට ඉඩ නොදිය යුතු ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.