KDU facts

අජිත් පැරකුම් ජයසිංහ

කොතලාවල විශ්වවිද්‍යාලය ගැන එල්ල වන ප්‍රධානතම විවේචන අතරින් එකක් වන්නේ උසස් අධ්‍යාපනය මිලිටරි විනයකට යටපත් කිරීමයි. හමුදාවල වෘත්තිකයන් සඳහා ලබාදෙන උසස් අධ්‍යාපනය හමුදා විනයකට යටත් කිරීම වෙනම කාරණයකි. ඒ පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතුය. ලංකාවට මෙතරම් සුවිශාල හමුදාවක් කුමටද යන කාරණයත් එයට අදාළ කරගත යුතුය. කොතලාවල විශ්වවිද්‍යාලය ගැන මේ මොහොතේ ගැටලුව වන්නේ, මුදල් ගෙවා අධ්‍යාපනය ලබන සිවිල් සිසුන් පවා මිලිටරි විනයකට යටත් කිරීමයි. එහි ලක්ෂණ අනුව, ඔවුන් ද නිල ඇඳුමක් ඇඳිය යුතුය. පන්ති කාමරවලදී පවා යම් දුරකට හමුදා විනයක් අනුගමනය කළ යුතු බව පෙනේ. එම විනය තුළ උගන්වනු ලබන දැනුම ප්‍රශ්න කිරීමට, සංවාදයට, විවාදයට, එකඟ නොවී සිටීමට, විරෝධයට හා නව ප්‍රවාද ගොඩනැගීමට ඉඩක් ඇති බවක් නොපෙනේ.

උසස් අධ්‍යාපනයේදී පමණක් නොව, කුමන මට්ටමකදී වුව අධ්‍යාපනය යනු ඉගැන්වීම ද නොවේ. අධ්‍යාපනය යනු ඉගෙනීමයි. ගුරුවරයාගේ භූමිකාව වනාහි සිසුවාට ඉගෙනීමට පහසුකම් සැපයීමයි. ඒ හා සම්බන්ධ ශික්ෂණය නිර්මාණය කිරීමයි. ගුරු අධ්‍යාපනඥයකු වන කුමාරතුංග මුනිදාසයන් අදින් සියවසකට ආසන්න කාලයකට පෙර ශික්ෂා මාර්ගය පෙළපොත් මාලාව රචනා කරමින් පෙන්වා දුන්නේ එයයි.

හමුදාවල සෙබළුන්ට ඇතැම් පාඩම් උගන්වන ආකාරය මා දැක තිබේ. මෙම ක්‍රමවේද ඇතැම්විට පාසල් කැඩෙට් භටයෝ ද පාවිච්චි කරති. ඒවා වනාහි පරම්පරා ගණනාවක් තිස්සේ පැවත ආ පෙළක් කටපාඩම් කර වදාරන ආකාරයේ අධ්‍යාපනයකි. එය හමුදාවලට උචිත යයි සිතීම ද නූතන අදහසක් නොවේ. උසස් අධ්‍යාපනයකට නම් කිසි සේත්ම යෝග්‍ය නැත.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී සිදුවිය යුත්තේ දැනුම් ගවේෂණයට විවෘත, නිදහස් පරිසරයකදී සිසුන් විෂය හදාරමින්, පර්යේෂණ කරමින්, සංවාද, සාකච්ඡා, වාද විවාද ආදිය පවත්වමින් නිර්මාණශීලීව කටයුතු කිරීමයි. විශේෂයෙන්ම, උසස් අධ්‍යාපනයෙන් නිර්මාණය කළ යුතුව තිබෙන්නේ නිර්මාණාත්මක ශාස්ත්‍ර ගවේෂකයෙකි. වෛද්‍යවරුන්, නීතීඥවරුන්, ගුරුවරුන් වැනි වෘත්තිකයන්ට සුදුසුකම් ලබාදීම සඳහා වෙනත් ආයතන අවශ්‍යය. නීතීඥ වෘත්තිය සඳහා දැනටමත් නීති විද්‍යාලය තිබේ.

මෙම සටහනෙහි අරමුණ අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙම කාරණය පාසල් සම්බන්ධයෙන් අදාළ වන ආකාරය සාකච්ඡා කිරීමයි. අධ්‍යාපනය සම්බන්ධ උක්ත මූලධර්ම කිසිවක් පාසල් අධ්‍යාපනයෙහිදී ද වෙනස් වන්නේ නැත. එහිදී ද ගුරුවරයා කළ යුත්තේ ළමයාට ඉගෙනීම සඳහා පහසුකම් සපයමින් මග පෙන්වීමයි. හැන්දෙන් දැනුම කැවීම නොවේ. එහෙත්, පාසල් අධ්‍යාපනයේදී වර්තමානයේ සිදුවන්නේ කුමක්ද?

ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය සිදුවන්නේ පාසල හරහාය. ජනප්‍රිය පාසල් තරගකාරීත්වය නිසා පහේ ශිෂ්‍යත්වයට ටියුෂන් ආරම්භ වන්නේ පෙර පාසල් මට්ටමටත් පෙර සිටය. පළමු ශ්‍රේණියේදී හෝ පස්වන ශ්‍රේණියේදී පහසුකම් සහිත, ජනප්‍රිය පාසලක ඉඩ ලබාගැනීමට අසමත් වන සිසුන්ට රජයේ විශ්වවිද්‍යාලයක විද්‍යා, තාක්ෂණ, වානිජ, නීති වැනි පාඨමාලාවකට තේරීමට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකිනි. පහේ ශිෂ්‍යත්වය පමණක් නොව, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය පවා වර්තමානයේදී අවශ්‍ය නැත. සෑම සිසුවකු වෙනුවෙන්ම අවුරුදු 13ක අධ්‍යාපනයක් තහවුරු කිරීම සඳහා පසුගිය ආණ්ඩුව සමයේ රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. යම් සිසුන් පිරිසක් අධ්‍යාපනයෙන් ඉවත් කිරීම හැර වෙනත් කිසිදු අරුතක් සාමාන්‍ය පෙළ විභාගයට නැත. අධ්‍යාපනය යනු සිසුන් පාසලෙන් බැහැර කිරීම අරමුණු කරගත් දෙයක් නොවේ.

මේ වන විට පවතින ප්‍රායෝගික තත්වය වන්නේ රජයේ විශ්වවිද්‍යාල මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල හා විදේශ අධ්‍යාපනයට තිබෙන අවස්ථා ආදිය ද හේතුවෙන් සිසුන්ට විවිධ අවස්ථා රැසක් විවෘත වී තිබීමයි. වෛද්‍ය අධ්‍යාපනය හැර අනෙකුත් සෑම උසස් අධ්‍යාපන අංශයකම අවස්ථා පුළුල් වී තිබේ.

කෙසේ වෙතත්, පහේ ශිෂ්‍යත්වය, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) වැනි කිසිදු ප්‍රයෝජනයක් නොමැති විභාග හා විශ්වවිද්‍යාල ප්‍රවේශය වන අ.පො.ස. (උසස් පෙළ) විභාගය වෙනුවෙන් දැඩි තරගකාරීත්වයක් නිර්මාණය කර එය වැර වෑයමින් පවත්වාගෙන යනු ලැබේ. එම වෑයම සඳහා දේශපාලකයන්, අධ්‍යාපන නිලධාරීන්, ටියුෂන් උපදේශකවරුන්, පාසල් ගුරුවරුන්, මව්පියන් මෙන්ම සිසුන් ද දායකත්වය සපයන බව දැකිය හැකිය.

මෙම තරගකාරීත්වය විසින් අද වන විට පාසල් අධ්‍යාපනය තුළ තිබෙන්නේ වියරු වැටුණු ස්වභාවයකි. එම වියරුවට සමස්ත පාසල් ප්‍රජාවම හසුවී තිබේ. එම විකෘතිය විශ්වවිද්‍යාලවල සිදුවිය හැකි මිලිටරිකරණයට වඩා අතිශය දරුණුය. සත්තකින්ම පාසල්වල ඊනියා විනය පද්ධතිය ද සකස් වී තිබෙන්නේ මිලිටරි විනය අනුකරණයෙනි. නිල ඇඳුම, ගවුම් රැලි, සපත්තු, මේස්, කොණ්ඩ පටි, කොණ්ඩ කටු, කොණ්ඩා කපන පිළිවෙල, ජංගම දුරකථනයක් පාසලට ගෙන ඒම ආදී කරුණු සම්බන්ධයෙන් පාසල්වල තිබුණු පසුගාමී විනය නීතිවල තත්වය නැවත සිහිපත් කරන්න. උදාහරණයක් ලෙස, මගේ දියණියක යන ජාතික පාසලක ගැහැණු ළමයින් සපත්තුවේ මේස් කකුලෙන් අඟලක් පමණ වැසෙන පරිදි නවාගත යුතුය. කොණ්ඩයට ගැසිය යුත්තේ කළු පාට කටු දෙකක් පමණි. ඒවා අල්ලන්නට ශිෂ්‍ය නායකයන් පමණක් නොව ගුරුවරුන් පවා පත්කර තිබේ.

පාසල්වල තිබෙන අටෝරාශියක් විකාර ගැන මෙහි ලියන්නට යාම වෙනුවට ඒ ගැන යළි සිතන්නට ඔබ පෙළඹවීම යෝග්‍ය යයි සිතමි. එහිදී එක් ආන්තික විකාරයක් කෙරෙහි පමණක් අවධානය යොමු කරමි. ඒ නම්, සිසුන් ලවා බලහත්කාරයෙන් වන්දවා ගනිමින් දුටු තැන වැඳවැටීමේ පහත් පෙළේ සංස්කෘතියක් නිර්මාණය කිරීමයි. ඇතැම් විදුහල්පතිවරුන් කාර්යාලයෙන් එළියට බැස මුත්‍රා කරන්නට වැසිකිළියට යද්දී පවා සිසුන් පැමිණ වැඳවැටෙනු මා දැක තිබේ. භයානකම තත්වය වන්නේ ගුරුවරුන් එයට කැමැත්තක් දැක්වීම හා එය දිරිගැන්වීමයි. මා පාසල් ගුරුවරයකු ලෙස වැඩකරන සමයේ මෙම වැඳීමට එරෙහි වෙමින් මා වැටුප් ලබන නිසා වෙනත් එවැනි සැලකිලි අවශ්‍ය නැති බව අවධාරණය කළෙමි. එහෙත්, පාසල්වල වැඳීමේ සංස්කෘතිය තුළ, ළමයා සිතන්නේ මා වැනි අයට පවා නොවැඳ සිටීමෙන් මට අසාධාරණයක් වන බවයි. මෙම විහිළුව කොතරම් ද යත්, මා දැන් ගුරු වෘත්තිය හැර ගොස් අවුරුදු හයක් පමණ වෙද්දීත්, ඒ කාලයේම පාසල හැර ගිය ආදි සිසුවෙකු මට මෑතදී ඌරු මස් කඩයකදී දෙකට නැවී වැන්දේය.

මේ වඳින සංස්කෘතිය ද කොතලාවල විශ්වවිද්‍යාලයේ මිලිටරි සංස්කෘතිය මෙන්ම අධ්‍යාපනයට කොඩිවිනයකි. පාසල්වල වැඳීමේ සංස්කෘතිය හරහා කොන්ද බිඳ දමා යටත් ගෝලයකු බවට පත්කර නිර්මාණශීලීත්වය මොට කරන දමන ලද සිසුන් කොතලාවල විශ්වවිද්‍යාලය වෙනුවෙන් පුවත්පත් සාකච්ඡා පවත්වා විශ්වවිද්‍යාලයට නිල ඇඳුම් ඇඳීමේ වරද කුමක්දැයි ඇසීම ගැන පුදුම විය යුතු නැත.

Creative Content Consultants

3 thoughts on “කොතලාවල මිලිටරි විනය හා පාසල්වල වැඳීමේ සංස්කෘතිය

  1. ajith mahattayo mama obe lipim kiyawanawa. godak hodai. e unata guruwaru gena obe irsiyawak kuhaka kamak mama dakinawa hariyata divaina pattare wage. oita wada guruwaru gena madyasta wenna.obata guru warayekugen hari guru wurthiyedi hari mona hari wela athi . eekata mehema liaynna epa.

  2. Apa badra yawwanayedie , paasal nila andumak thibuneama netha . Kolla risi paridi konde sekasuwoya . Guruhu viduhalpathi ae gena urana noviei . Viduhalehi ugenmata kello hitiyema nethath kollo , allapu viduhalaka kellanta love kaloya .
    Jodu daagena paare giyath kawruth wage wagak gaththe netha ! Guruhu da minissuda unge wedak balan sitiyoya .
    Kolla kello bohomayak den ihala rassawalaya .
    Apata igenwoo samahara guruwaru , Lester ge DELOWA ATHARE hi deasapaalanaya gena vigraha kale , niyamitha vishaya uganwana gamanya .
    Den ehema netha . Girawa hadathi .
    Samahara giraw chawrayan wethata da , samaharu bamunan wethatada piyambanu dekiya heka .
    Onna ookai noothana adyapane thatwe !

  3. Nidahas adyaapanaya yanu , nomile idenviema ho salli gewaa idana geniema nam nowe .
    Koheada oya kiyana nidahas adyapanayak lankaawe !
    Rajaye paasal gurun ta padigewanne , padi dennange saakkuwen noweaya .
    Mata hithena hetiyata , Nidahas adyapanaya yanu sisunta Nidahase igeniemata selasviemaya !
    Lankawe nethema eyai !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: