Gotabaya on wall

අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දිනෙක අම්පාරේදී පවත්වන ලද කතාවක් මගින් තමන්ට ජීවිත තර්ජනයක් එල්ල කරන ලද බවට ජාතික සමගි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.

ජනාධිපතිවරයා ඇත්ත වශයෙන්ම හරින් ප්‍රනාන්දු ත්‍රස්තවාදියකු බව හෝ ඔහුව බල්ලකු සේ මරා දමන බව කීබවක් හෝ අදහස් කළ බවක් අපට නම් වැටහෙන්නේ නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කථිකයකු ලෙස දුර්වල සන්නිවේදකයකු නිසා ඔහු කියූ දෙය අපැහැදිලි බව ඇත්තකි. එහෙත්, ඔහු හරින් ප්‍රනාන්දුගේ අර්ථ නිරූපණයට අනුගත වන අදහසක් ඉදිරිපත් කළේ නැත. ඔහු පාවිච්චි කළ වචන දිවයින පුවත්පත වාර්තා කරන්නේ මෙසේයි:

“පාර්ලිමේන්තුවේ දැක්කානේ පහුගිය දවස්වල හරීන් ප‍්‍රනාන්දු කියලා මන්ත‍්‍රීවරයෙක් කතා කරපු විලාසය. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වන්නේ. නන්දසේන කියලා. ඔව් මම නන්දසේන ගෝඨාභය. හොඳ නම් ඒවා. හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගෙත් චරිත දෙකක් තියෙනවා. සමහර වෙලාවට හාමුදුරුවරු මට කියනවා, අපිට ඕනේ ජනාධිපති ගෝඨාභය නෙමෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕන. ටිකක් සැරෙන් ඉන්ඩ ඕනේ කියලා. ඒකත් කරන්ඩ පුළුවන්. ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්. දැක්කනේ මට අර පිත්තල හන්දියේදී බෝම්බයක් ගහලා. ආරක්ෂක ලේකම් හැටියට ඉන්න කාලේ ප‍්‍රභාකරන් වැඩ පටන් ගත්තා. හැබැයි මමත් ඒක ඉවර කළේ බල්ලෙක් වගේ හතරගාතේ දාලා නන්දිකඩාල් කලපුවේ උස්සගෙන ආවේ. ඒ තත්ත්වයට ගෙන එන්නත් පුළුවන්. ඕන දෙයකට සූදානම් චරිතයක්. දේශපාලනය කරන්නට පුළුවන්. විපක්ෂයත් දේශපාලනය කරන්නට ඕනේ. හැබැයි මේ ජනතාව බලාපොරොත්තු වන සාධාරණ දේශපාලනය ඕනේ කරන්න.”

මෙය අපරිණත වහසි බසක් මිස වැදගැම්මකට ඇති අදහස් දැක්වීමක් නොවේ. “ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්” වැනි යෙදුම් සාමාන්‍යයෙන් මැරවරයන්, රස්තියාදුකාරයන් භාවිතා කරන පොරටෝක් නිසා රටේ ජනාධිපතිවරයා එවැනි වචන භාවිතා නොකර සිටිය යුතුය.

මෙවැනි කටකැඩිච්ච කතා කීම සම්බන්ධයෙන් මින් පෙර ප්‍රසිද්ධ වී සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. ඇය එතනින් නොනැවතී රූකාන්තගේ හා චන්ද්‍රලේඛාගේ කොණ්ඩා කපා දමා හිරිහැර කිරීම වැනි දෙකයි පනහේ වැඩ පවා කරවූ බව කියවේ. වත්මන් ජනාධිපතිවරයා තවම එවැනි වැඩ කර නැත. ඔහුගේ ඇතැම් නිලධාරීන් නම් මේ වනවිටත් දෑත්වල ලේ තවරාගෙන තිබේ.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ කතාව තරමක් හැඟීම්බරව පැවැත්වූ කතාවකි. එහි විශේෂ වරදක් නැත. ජනාධිපතිවරයාට මෙතරම් කේන්ති යන්නට ඇත්තේ එහි අන්තර්ගතය සත්‍ය නිසා විය හැකිය. ඔහු කියන්නේ තමන් එවැනි කතා බලාපොරොත්තු නොවන බවකි. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ආගමික විශ්වාසයන් ඔහුගේ පෞද්ගලික ඒවායි. පොදු වැදගත්කමක් තිබෙන පොදු ප්‍රතිරූපයක් වන, අනුරාධපුරේ පවා මහජන මුදලින් යන ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ හරින් ප්‍රනාන්දුගේ කතාව ඉවසීමයි. ඕනෑ නම්, කෝල් එකක් අරගෙන ‘ඇයි මන්ත්‍රීතුමා එහෙම කියන්නෙ?’ කියලා ඇහුවා නම් හරින්ලා ජනාධිපතිතුමාට මුහුණදෙන්නට බැරි නිසා නැවත එහෙම කියන්නේ නැත. ඒ සඳහා සුහද සම්බන්ධකම් තබාගැනීමේ පෞරුෂයක් අවශ්‍යය. හිටපු අගමැති මහින්ද රාජපක්ෂට එවැනි ගතිගුණ හොඳින් පිහිටා තිබේ.

ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම අවමානයට ලක් වූ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේනයි. රාජපක්ෂ පවුලේ චක්ගෝලයකු වන විමල් වීරවංශ ‘කෝ මේ සිරිසේන’ කියමින් ප්‍රසිද්ධ රැස්වීම්වල කතා කළ හැටි ජනාධිපතිවරයාට අමතක වන්නට බැරි නැත. එහෙත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත්වීමෙන් පසු කිසිවකුගෙන් ඒ සම්බන්ධයෙන් පළිගත්තේ නැත. ඔහුට පෞරුෂයක් නැතැයි එදා රාජපක්ෂ අන්තේවාසිකයන් හිනාවුණ ද ඔහුගේ පෞරුෂය කෙතරම් ද යන්න කැපීපෙනෙන්නේ දැන්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී දැන් අවුරුද්දක් ඉක්ම තිබේ. මෙම අවුරුද්ද තුළ ඔහු උත්සාහ කළ දේ අතරින් සාර්ථක වී තිබෙන්නේ ඒකාධිපති බලතල පවරාගැනීමේ විසිවන සංශෝධනය පමණි. කොවිඩ්-19 පාලනය කිරීමට යයි කියා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කරමන ඊනියා ලොක්ඩවුන් පියවර ගත්තද මේ වන විට පාර්ලිමේන්තුව ද කොවිඩ්-19 පොකුරක් නිර්මාණය කරමින් සිටින තත්වයට ප්‍රශ්නය උඩුදුවා හමාරය. මාස තුනක් රට වසාගෙන කළ විගඩමෙන් සිදුවූයේ ආර්ථිකය විනාශ වීම පමණි.

ණය ගෙවාගන්නට බැරිව, රාජ්‍ය ආදායම් නැතිව, සංවර්ධනය ගැන මැවූ සිහින සැබෑකිරීම තබා, පුන්සිරි සොයිසා කැසට් ගැසූ සේ ගැසට් ගසාවත් බඩු මිළ අඩුකරගන්නට බැරිව, රාජ්‍ය දේපළක්වත් විකුණාගන්නට බැරිව අසරණ වී සිටින ජනාධිපතිවරයා මුහුණපා සිටින මානසික තත්වය අප ජනතාව ලෙස තේරුම්ගත යුතුය. ජනාධිපතිවරයා ද මහජන සහයෝගය ලබාගන්නට සමත් විය යුතුය. මෙම දුෂ්කර මොහොත පියමං කරගැනීම සඳහා කාගෙ කාගේත් ශක්තිය ගොනුකරගත යුතුය. නායකයන් එසේ කිරීමට සමත් විය යුතුය. එයට ද අසමත් වන්නේ නම්, ඉතින් පුළුවන් අයෙකුට දී අයින් වෙන එක හැර ඒ ජාතියෙන් බැරිනම් කරන්නට වෙන ජාතියක් නැත.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ ‘බල්ලෙක් වගේ හතරගාතේ දාලා’ ගියේ සන්නද්ධ ප්‍රභාකරන් පමණක් නොවේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් වැනි තවත් බොහෝ නිරායුධ අයට ද එම ඉරණම ලබාදෙන ලදී. ජනාධිපතිවරයා කළ යුත්තේ ඒ ජාතියෙන් කරන එක නොවේ. මේ වෙලාවේ ඉතා අවාසනාවන්ත තත්වයකට පත්වී තිබෙන රට වෙනුවෙන් කරන්නට පුළුවන් දේ කරන්නට පුළුවන් හැම දෙනා ඒකරාශී කරගන්නා එකය. ඒ වෙනුවෙන් අපි ද පුළුවන් දෙයක් කරන්නෙමු.

3 thoughts on “ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්

  1. Vinston Cherchile ge suruttuwa senen eddha seya roo shilpie , hiru nobasinne yai kiyu rate lokkekge rawdra charithya pilibimbu kaleaya .
    HARIN kale ewennak da ?

  2. Saththunta wagema minisuntath charitha dekak netha .
    Dekak athei penenne ekak aaropitha bevini .
    Mala penna vita aaropitha betaluhama sutus gaa gelawena awastha emata .
    Hama gelaviyeama menma nogelawena se randawa genma da kheadawachakayaki !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.