Alpitiya Pradeshiya Sabha

ජනාධිපතිවරණයක නාමයෝජනා භාරගෙන තිබියදී පළාත් පාලන මැතිවරණයේ කල් ගිය එක් කොට්ඨාසයක් වෙනුවෙන් මැතිවරණයක් පැවැත්වීම ජනාධිපතිවරණයේ ජනමතය සම්බන්ධයෙන් යම් ඉඟි සපයන්නකි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව යනු ජාතික මට්ටමේදී අවම වැදගත්කමකින් යුක්ත ප්‍රදේශයක් වුව ද, ඇල්පිටියේ ග්‍රාමසේවක වසම් පවා ජාතික මට්ටමේ කතාබහට ලක් විය. එයට හේතුව වූයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජාතික මට්ටමේ අවධානයකට ලක් වීමයි.

Translations by Creative Content Consultants

එවැනි පසුබිමකදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජනාධිපතිවරණයක මුවවිටදී පැවැත්වීමට මැතිවරණ කොමිෂම ගත් තීරණය මතභේදාත්මක බව පැහැදිලිව පෙනේ. මෙම කරුණ මැතිවරණ කොමිෂමේ ඇතැම් සාමාජිකයන් විසින් පෙන්වා දී තිබියදීත් සභාපති මහින්ද දේශප්‍රිය එම පළාත් පාලන මැතිවරණය මෙම අවස්ථාවේ පැවැත්විය යුතු ය යන ස්ථාවරයේ සිට තිබේ.

පසුගිය ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් පසු අවධියේ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ක්‍රියාකාරිත්වය රාජපක්ෂ කඳවුරට වාසිදායක පරිදි සිදු වන බව පෙනේ යයි ආණ්ඩුවට හිතවත් ඇතැමෙක් පෙන්වා දෙති. අන් කරුණු කෙසේ වෙතත්, ඇල්පිටිය ප්‍රතිඵලය යම් දුරකට එසේ ය. ඇල්පිටියෙන් රාජපක්ෂවරුන් ලබා ඇති ජයග්‍රහණය එතරම් විශාල එකක් නොවේ. එහෙත් එයින් එජාපයට ලැබුණු පරාජය විශාල එකකි. එජාපය දැවැන්ත සංවිධානයකින් යුතුව ගෝල්ෆේස් පිටිය පුරවා නිර්මාණය කරගත් රැල්ලේ හුළං සුටුස් ගා බස්සන්නට ඇල්පිටිය පරාජය ඉවහල් වූ බව සත්‍යයකි. එසේම, එමගින් එජාපයේ ඇස් ද ඇරවෙන බව පෙනේ.

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේ සත්‍ය ජයග්‍රාහකයා මෛත්‍රීපාල සිරිසේන බව අපි පෙන්වා දුන්නෙමු. මෙම මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් 12%කට වැඩි ප්‍රතිශතය මත ප්‍රතිඵල මත විග්‍රහය සකසා ගන්නේ නම් තමන්ට ද 10%ක පමණ හෝ ඡන්ද පදනමක් රට පුරා ඇති බවට කේවෙල් කිරීමේ හැකියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබේ. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනට ශ්‍රීලනිපය ස්ථානගත කරගෙන තිබෙන පරිදි පැත්තකින් තැබීමට ඉදිරියේදී හැකියාව ලැබෙන්නේ නැත.

මෙම ප්‍රතිඵලයෙන් සමස්ත දිවයිනේ ප්‍රතිඵලය ප්‍රකාශ නොවන බව කියන්නට මහින්ද රාජපක්ෂ ඉක්මණ් වූයේ මෙම පසුබිම තුළ ය. ඇල්පිටිය ප්‍රතිඵලය ජාතික මට්ටමේ දර්ශකයක් ලෙස පිළිගැනීම මෛත්‍රීපාල සිරිසේනට අනවශ්‍ය පිළිගැනීමක් ලබාදීමකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට බලපාන බෝම්බයක් අතහැරීමේ හැකියාව මෛත්‍රීපාලට ඕනෑම මොහොතක තිබේ. එසේම, ඇල්පිටියෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව එම පක්ෂයට ලබා ගත හැකි වූ ඡන්ද ප්‍රතිශතය 56%ක් පමණි. එය ජාතික මට්ටමේ ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් වන්නේ නැත.

“ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරා ගනිමින් ඔහුව ඉහළින්ම ඔසවා තබන මොහොතක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අහෝසි වෙමින් පවතින මොහොතක හා ඊට ශක්තිමත් නායකත්වයක් නැතිව සිටින මොහොතක එක්සත් ජනතා නිදහස් සංධානයට එහි දිගුකාලීන පාක්ෂිකයන් විසින් ඡන්දය භාවිතා කරන්නේ යැයි විශ්වාස කළ නොහැකිය. එහෙත් ඊට ඡන්දය ලැබී ඇත්තේ කළකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන් තම විරෝධය දැක්වීමට එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්දය භාවිතා කර ඇති බැවින් යැයි අනුමාන කළ හැකිය,” යි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් විග්‍රහයක් කරමින්, එම ප්‍රදේශයේ ජීවත් වූ හා එම ප්‍රදේශය සමග සම්බන්ධකම් ඇති දේශපාලන විචාරකයකු වන පිලිප් ශාන්ත පවසයි.

එජාපය ඇල්පිටිය දිනාගැනීම සඳහා සක්‍රියව වැඩ කළේ නැති බව භූමියෙන් ලැබෙන බොහෝ වාර්තා පවසයි. එපමණක් නොව, සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ සංවිධාන මූලෝපායන්වලදී ද ඇල්පිටිය විසින් ඇති කළ හැකි බලපෑම ගැන සැලකිලිමත් නොවූ බව සජිත්ගේ මංගල රැළිය සංවිධානය කළ අවස්ථාවෙන් පෙනේ. එජාප ඇල්පිටිය අතහැර දැමූ සංදර්භය තුළ, සජිත්ගේ මංගල රැළිය පැවැත්විය යුතුව තිබුණේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසුව ය. එසේ කළා නම්, එයින් ඇති වන අහිතකර ප්‍රතිඵලය මගහරවාගන්නට තිබිණි. ඒ වෙනුවට වූයේ ගෝල්ෆේස් රැළියේ වාසිය ඇල්පිටිය ප්‍රතිඵලයෙන් අහෝසි වී යාමියි.

එක්සත් ජාතික පක්ෂය 2017දී නාම යෝජනා ලබා දෙද්දී රට පුරාම පාහේ පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කළේ සංවිධායකයාගේ අන්තේවාසිකයන් මිස ප්‍රාදේශීය නායකයන් නොවේ. එයට හේතුව, ඔවුන් එදා සිතා සිටියේ තමන් බලයේ සිටින පක්ෂය නිසා පහසු ජයක් ලැබෙන බවයි. ගම් මට්ටමේ තිබෙන ජාති, ආගම්, කුල වැනි සාධක සලකා බැලීමක් පවා එජාප විසින් ලැයිස්තු සැකසීමේදී කළේ නැත. 

ඇල්පිටිය ප්‍රදේශයේ අභ්‍යන්තර නිරීක්ෂණ ඇසුරෙන් පිලිප් ශාන්ත පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවට වඩා එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂක ලැයිස්තුව ශක්තිමත් වූ බවයි. “නිදසුනක් ලෙස ඇල්පිටිය නගරය අයත් කුඩාගල – කදිරන්දොල ඡන්ද කොට්ඨාසයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇත්තේ ජන ආකර්ශනයක් නොමැති මීට පෙර අවස්ථාවක දී තරග කර අන්ත පරාජයක් ලැබූ තැනැත්තෙකි. නමුත් එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කර ඇත්තේ මීට පෙර ජවිපෙ සාමාජිකයකු වූ ක්‍රියාකාරී ආකර්ශනීය පුද්ගලයෙකි. එවිට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වුවද තම පක්ෂයේ අපේක්ෂකයාට වඩා එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයාට ඡන්දය භාවිතා කිරීම විය හැක්කකි. මේ අනුව එක්සත් ජනතා නිදහස් සංධානයට භාවිතා කර ඇති ඡන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද හා එකට එකතු කිරීම අර්ථ විරහිත ය.”

මෙම මැතිවරණයේ දී කොට්ඨාස තුනක දී එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව අනුව එම පක්ෂය තුන්වන ස්ථානය ලබාගෙන ඇති බව පිලිප් ශාන්ත පෙන්වා දෙයි. එම කොට්ඨාසයන් වන්නේ කැටන්දොල, අමුගොඩ හා ඉඳිපලේගොඩයි. මෙම කොට්ඨාස අයත් ග්‍රාම නිලධාරී වසම් මීට ඉහතදී ශක්තිමත් එජාප බලකොටු විය. ඊට හේතුව මෙම කොට්ඨාස තුනෙහිම වාර්ගික හා කුල පදනමේ බලපෑමයි. ඉඳිපලේගොඩ හා අමුගොඩ යන කොට්ඨාස දෙකෙහිම ගොවිගම නොවන කුලයන්ට අයත් ජන කොටස් බහුලව වාසය කරයි. එසේම වතු දෙමළ ජනයා වාසය කරන එකම කොට්ඨාසය වන්නේ කැටන්දොලයි. එම ජන කොටස් හා කුල සාධකයන් දක්ෂ ලෙස කළමනාකරණය කර ගන්නා ක්‍රමවේදයක් එක්සත් ජාතික පක්ෂයට අසූව දශකයේ දී තිබුණි. එහෙත් එම සමාජ කළමනාකරණ හැකියාව වත්මන් ආසන සංවිධායකවරයා වන ගයන්ත කරුණාතිලකට නොමැති බව පිලිප් පෙන්වා දෙයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙවැනි තීරණාත්මක මොහොතකදී පරාජය වීම එක්සත් ජාතික පක්ෂයට අවාසියකි. ඒ පිළිබඳ වගකිවයුතු ඇමති ගයන්ත කරුණාතිලක ඉල්ලා අස් විය යුතු බව පිලිප් ශාන්ත පවසයි. “වල්ලඹගල කොට්ඨාසය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූ පත්ම භාතිය ලියනාරච්චි ජාතික තරුණ සේවා සභාව තුළින් අසූව දශකයේ දී දේශපාලනයට ආ කැපී පෙනෙන තරුණයෙකි. ඔහු 1991 දී මුල්ම ප්‍රාදේශීය සභාවට තරග කර එහි උප සභාපති ධූරය දැරීය. වල්ලඹගල වාසය කරන ගත්තර දෙමළ නම් වූ සුවිශේෂ සමාජ කුලය එක්සත් ජාතික පක්ෂය විසින් කළමනාකරණය කලේ පත්ම භාතිය ලියනාරච්චි මගිනි. එහෙත් අමාත්‍ය ගයන්ත කරුණාතිලක එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක වූ දා සිටම ඔහුට පල නොකියා පළා බෙදීම ඇරඹුණි. ඊට හේතුව පත්ම භාතිය දක්ෂ ප්‍රාදේශීය දේශපාලකයකුවීමත් තරුණ තරුණියන් ආකර්ශනය කර ගන්නා චරිතයක්වීමත් ඉලක්ක ගත දේශපාලන අභිලාශයක් තිබීමත් විය හැකිය. 2002 වර්ෂයේ දී ප්‍රාදේශීය සභාව එක්සත් ජාතික පක්ෂය ජයගත් විට සභාපති ධූරය ලබා දුන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී ගාමිණී අබේවර්ධනගේ ශරීරාක්ෂකයකුව සිට 1991 ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ලැයිස්තුව පිරවීමට ඊට ඇතුලත් කළ පුද්ගලයකුට ය. උප සභාපති ධූරය ලබා දුන්නේ පාරම්පරික ව්‍යාපාරිකයකු වූ එජාප පාක්ෂිකයකුගේ සෙල්ලක්කාර පුතෙකුට ය. දක්ෂ හා දුරදිග දේශපාලනයක් කළ පත්ම භාතිය ලියනාරච්චි නිකම්ම නිකම් මන්ත්‍රී කෙනෙකු පමණක් විය. ඊට හේතුව සභාපතිවරයාත් උප සභාපතිවරයාත් ආසන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිකගේ රූකඩවීම ය. 

“1977 – 1994 කාලයේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායකවරයා වූ අමාත්‍ය රූපා කරුණාතිකට දක්ෂ ලේකම්වරයකු සිටියේ ය. ඔහු පසුව පළාත් සභා මන්ත්‍රීවරයකු වී රූපා කරුණාතිලක සමග දුර දිග යන ගැටුමක් ඇති කර ගත්තේ ය. එහෙත් 1970 පමණ සිට 1992 පමණ දක්වා මේ දෙපළ විද්‍යාත්මක ලෙස ඇල්පිටියේ දේශපාලනය කළ දෙදෙනෙකි. දක්ෂ සංවිධායකයකු මෙන්ම දක්ෂ කථිකයකු වූ ගාමිණී අබේවර්ධන බෙන්තර ඇල්පිටිය ආසනයේ සියළු එජාප ශාඛා සමිතිවල නිලධාරීන්ගේ නම ගම මතකයෙන් කියන්නට හැකියාව තිබූ අයෙකි. ඔවුන් දෙදෙනා බෙන්තර ඇල්පිටිය සංවිධානය කළේ ක්‍රමවත් කළමනාකරණ සැලස්මකට අනුව ය. ඒ තුළ කට්ටිවාදය, කුලවාදය හෝ දක්ෂයාට බිය හෝ නොවීය. එහෙත් ගාමිණී අබේවර්ධන අවසානයේ නතර වූයේ මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කරන්නට ගොසිනි. ඊට හේතුව ද අමාත්‍ය ගයන්ත කරුණාතිලකට ආවේනික නොහැකියාව ය.  

“අමාත්‍ය ගයන්ත කරුණාතිලකට අවශ්‍ය වන්නේ ගාල්ල දිස්ත්‍රික්කය පුරා මනාප සංවිධානය කර ගනිමින් පාර්ලිමේන්තු යෑමට සූදානම්වීම පමණි. ගාල්ල දිස්ත්‍රික්කය පුරා විහිදී ඇති තේ කර්මාන්ත ශාලාවල කම්කරුවන්ගේ ස්ථාවර ඡන්ද පදනමක් ගයන්ත කරුණාතිකලට ඇත. ඒ ඔහුත් ඔහුගේ පවුල් පරම්පරාවත් තේ කර්මාන්ත ශාලා හිමියන් බැවිනි. එම ස්ථාවර ඡන්ද පදනමට පාවෙන ඡන්ද ස්වල්පයක් එකතු කර ගත් විට පාර්ලිමේන්තු යෑමේ මග සකස් වේ. ඉන් එහා දේශපාලනයක් ගයන්ත කරුණාතිලකට නොමැත. එනිසා දෙවැනි පෙළ නායකයන් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවක් ගයන්ත කරුණාතිලකට නොමැත. ඊට වඩාත්ම බලපාන්නේ දෙවැනි පෙළට ඔහු දක්වන අසීමිත බියයි. 1991 දී පළමු ප්‍රාදේශීය සභාවට ආ තරුණ නායකයන්ගෙන් බහුතරය මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කරන්නට ගොස් අද වන විට ඔවුන්ගේ පක්ෂයෙන් ප්‍රාදේශීය සභාවට පත්ව සිටිති. පක්ෂයේ රැදුන සෙසු අයට කුඩම්මාගේ සැලකිලි ය. එනිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් දෙවැනි පෙළ තරුණ හා දක්ෂ පිරිසක් ඇතත් එක්සත් ජාතික පක්ෂයට එවැන්නන් නොමැත. “

පිලිප් ශාන්ත විසින් පෙන්වා දෙන මෙම තත්වය ගයන්ත කරුණාතිලකට පමණක් නොව එජාප සංවිධායකයන් බොහෝ දෙනෙකුට පොදු ය. එජාප පමණක් නොව, බ්ම් මට්ටමේ දේශපාලන සංවිධානයක් ලෙස සක්‍රියව තිබුණු ජවිපෙ පවා අද වන විට ජනතාව අතර සක්‍රිය දේශපාලන සංවිධාන නොවේ. ඒවා සිය සංවිධාන ව්‍යූහයන් හා ඒ ඔස්සේ මහජනතාව සමග සම්බන්ධ වීම බොහෝ දුරට නොසලකා හැර තිබේ. මෑත වකවානුවේදී ඒ සම්බන්ධයෙන් යම් දුරකට විධිමත් වැඩසටහනක් දියත් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණි. එහි ‘ගමට පිළිසඳරක්’ වැඩසටහන නිදසුනකි. එහෙත්, එය පවා පූර්ණව ක්‍රියාත්මක වූවක් නොවේ. දේශපාලනය දැන්, දැන් සංවිධාන තලයෙන් ඈත් වෙමින් මාධ්‍ය මත රඳා පැවතීම වැඩි වෙමින් තිබේ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: