Sajith Ranil discussions

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 8 දින අනිද්දා පුවත්පතේ ද පළ වේ

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ගැන විවිධ පාර්ශ්ව විවිධ අදහස් දක්වති. පසුගිය ජනාධිපතිවරණයේ පරාජයට හේතු ලෙස ද විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කරති. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් හා ඉදිරිපෙළ ක්‍රියාකාරිකයන් හැම කෙනෙකු ම පාහේ පරාජයට හේතුව යමෙකු පිට පටවන්නට උත්සාහ කරති. එහෙත්, ඒ හැම කෙනෙකු ම පාහේ එසේ කරන්නට උත්සාහ කරන්නේ තමන් වරදින් ගැලවෙමිනි. එක්සත් ජාතික පක්ෂයේ හැමෝ ම ‘මං සුදනෝ’ ය. වරද වෙන කවුරුහරි ය.

Translations by Creative Content Consultants

පසුගිය අවුරුදු හතර තුළ ඇමති තනතුරු හොබවමින්, මන්ත්‍රී පදවි දරමින් පමණක් නොව වෙනත් තනතුරු හොබවමින් බලය පාවිච්චි කළ අය පවා දැන් කතා කරන්නේ තමන්ට කිසිවක් කරන්නට අවස්ථාව නොලැබුණු පරිද්දෙනි. උදාහරණයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ හා රජයේ ඉතා බලවත් මාධ්‍ය ප්‍රධානියෙකු හා කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයකු වන ඉමිටියාස් බාකීර් මාකාර් මෑත කාලයේ මව්බිම වැනි මාධ්‍යවලට දුන් සම්මුඛ සාකච්ඡා ගණනාවක් කියවූ මා විස්මයට පත් වුණේ එක්සත් ජාතික පක්ෂයේ අසාර්ථකත්වයට ප්‍රබල ම හේතුවක් වන මාධ්‍ය කළමනාකරණයේ අසමත්භාවය පිළිබඳ කිසිදු වගකීමක් ඔහු විසින් භාර නොගැනීම නිසා ය.

අපි මාධ්‍යකරණයෙන් පටන් ගනිමු. එක්සත් ජාතික පක්ෂයට අවසන් ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ හිරු සහ දෙරණ විසිනි. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය තුළට මාධ්‍ය නියාමනය ඇතුළත් කිරීමට උත්සාහ කරන ලද මුත්, එයට මාධ්‍ය ක්ෂේත්‍රයෙන් මෙන් ම එදා ඒකාබද්ධ විපක්ෂයෙන් ද බාධා එල්ල විය. මහින්ද රාජපක්ෂගේ දින 52 කුමන්ත්‍රණය අවස්ථාවේදී මාධ්‍ය නියාමනයේ වැදගත්කම එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අවබෝධ වූ මුත් ඉන් පසුව ගත වූ වසර තුළ හෝ ක්‍රියාමාර්ගයක් ගන්නට එජාප මාධ්‍ය බලධාරීහු අසමත් වූ හ.

එක්සත් ජාතික පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු පසුගිය සමය තුළ සිය ඡන්දදායකයන් ගැන සොයාබැලුවේ නැත. 2018 පෙබරවාරි මස පැවැත්වුණු පළාත් පාලන මැතිවරණය සඳහා තරගයට ඉදිරිපත් කළේ සිය සමීප අන්තේවාසිකයන් ටික ය. ගම් මට්ටමේ නායකත්වයන් ඉදිරියට ගැනීමට ඔවුන් උත්සාහ කළේ නැත. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන්වත් ඔවුන් තම ගැටලුව හඳුනා නොගත් බව පෙනෙන්නේ ඉන් පසුව හෝ තත්වයන් වෙනස් කිරීමට කිසිවක් සිදු නොකළ බැවිනි. එජාප බිම් මට්ටමේ තත්වය කදිමට නිරූපණය වුණේ යල්පැනගිය ලැයිස්තුවකින් කල් පසු වී තරග කළ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ය. එවැනි ලැයිස්තු ගොඩදමන්නට සක්කරයාටවත් බැරි ය.

අවසාන මාස කීපය තුළ එජාපය වේගයෙන් ග්‍රාම සංවර්ධන කටයුතු කරන්නට උත්සාහ කළේ ය. ඒවාත්, අවසානයේදී කැපී පෙනුණේ ප්‍රාදේශීය සභාවලට පත් කරන ලද බැලයන්ට දුන් කොන්ත්‍රාත් ලෙස පමණි. මෙම ගම් මට්ටමේ බැලයන් වැඩිදෙනෙකුට ජනාධිපතිවරණය වෙනුවෙන් ගෙන් ගෙට ප්‍රචාරණයේ යෙදෙන්නට පස්දෙනෙකු එකතු කරගන්නට හෝ බැරි විය. රැස්වීම්වලට කෙසේ හෝ බස්වලට සෙනග පටවන්නට පුළුවන් වුණාට, ගෙන් ගෙට කැන්වසිං යාම වැනි අභියෝගාත්මක කාර්යයක් සඳහා ක්‍රියාකාරිකයන් එකතු කරගන්නට බැරි වීමෙන් ඔවුන්ගේ සත්‍ය තත්වය පෙනිණි.

බොහෝ සංවිධායකයන් බිම් මට්ටමේදී සජිත් වෙනුවෙන් නිසි ප්‍රචාරණයක යෙදුණේ නැත.බොහෝ දෙනෙකු ශිරාල් ලක්තිලක වැනි සජිත්ගේ න්‍යායාචාර්යවරුන්ගේ අති සරල වැරදි ගණනය කිරීම්වලට රැවටුණ හ. සිංහල බහුතර ඡන්දයෙන් ගෝඨාභයට ජයග්‍රහණය කරන්නට බැරි යයි සිතූ ඔවුහු සජිත් ජයගනු ඇතැයි අන්ධ ලෙස විශ්වාස කළ හ. ගෝඨාභයට ජයගන්නට බැරි යයි සිතුවාට සජිත්ගේ ජයග්‍රහණය ගොඩනගාගත යුතු දෙයක් බව ඔවුහු තේරුම් නොගත් හ. වැඩිදෙනෙකු සිතුවේ එය ඉබේ ම වනු ඇතැයි කියා ය.

මේ සියල්ල මැද බොහෝ එජාප පාක්ෂිකයන් සිතන්නේ තමන්ගේ අසාර්ථකත්වයට හේතුව රනිල් වික්‍රමසිංහ ය කියා ය. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ ප්‍රකාශ කර තිබිණි. “ගෝඨාගමන ව්‍යාපෘතිය මහජනයා අතරට ගෙන ගියේ මූලික වශයෙන්ම රනිල් යක්ෂයා කොට සියලු පාපයන්ගේ කේන්ද්‍රය රනිල්ය යන අදහස හරහාය.” අවාසනාවන්ත තත්වය වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයා ද ක්‍රීඩා කළේ රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් තෝරා දෙන ලද මෙකී තණ තිල්ලේ ය.

රනිල් වික්‍රමසිංහ උවමනාවට වඩා දීර්ඝ කාලයක් එජාප නායකත්වය අත්පත් කරගෙන සිටින බව ඇත්තකි. එහෙත්, ඔහුට එසේ කරන්නට හැකි වී තිබෙන්නේ ඇයි ද යන්න කිසිවෙක් හරිහැටි විග්‍රහ කරගන්නේ නැත. රනිල් වික්‍රමසිංහ යනු හුදු පුද්ගලයෙකු නොව දේශපාලන දෘෂ්ටිවාදයක හා සමාජ බලවේගයක නියෝජනයකි. එය එජාපයේ පසුගිය වසර 25ක ඉතිහාසය තුළ සිදු වූ පරිවර්තනයට මූලික හේතුව වූ ලිබරල්, ප්‍රජාතාන්ත්‍රික හා විවෘත වෙළඳපොළ මත පදනම් වන ධනේශ්වර හරයයි. බොහෝ ප්‍රගතිශීලී හා වාම බලවේග පවා එක්සත් ජාතික පක්ෂය වටා රොද බැඳැගැනීමට ආර්. ප්‍රේමදාසගෙන් පසු එජාපයේ සිදු වූ පරිවර්තනය හේතු විය. එහෙත්, එජාපයේ ඔලුවේ සිදු වූ මෙම පරිවර්තනය කඳ වෙත ගියේ විකෘතියක් ලෙසයි. මේ අතර, ප්‍රේමදාස යුගයට පෙර පැවති එක්සත් ජාතික පක්ෂය හා සමාන බලවේගයක් විශේෂයෙන් ම රාජපක්ෂ පාලන කාලය තුළ නිර්මාණය විය. එජාප කොළඹින් පිටතදී මුහුණ දෙන උභතෝකෝටිකය මෙයයි. ගමේ එජාපයට ගැලපෙන පක්ෂ ව්‍යූහය පොහොට්ටුව මිස රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන ලිබරල් එක්සත් ජාතික පක්ෂය නොවේ.

එක්සත් ජාතික පාක්ෂිකයන් වැඩිදෙනෙකු රනිල් විරෝධීන් බවට පත් වන සංදර්භය මෙයයි. රනිල් විසින් ක්ෂේත්‍රයට අතින් අල්ලාගෙන ගෙන ආ මලික් සමරවික්‍රම, සාගල රත්නායක, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න දක්වා පිරිස් ඔහුට ද්‍රෝහී වීම හුදු මිත්‍රද්‍රෝහිත්වය පමණක් නොවේ. එහෙත්, එජාප මුහුණ දෙන අනෙක් ගැටලුව වන්නේ විකල්ප නායකයෙකු නැතිවීමයි. රනිල් නායකයන් හදන්නේ නැතැයි කීව ද අප එජාප ඉතිහාසය අධ්‍යයනය කර බැලූ විට පෙනී යන්නේ තිස්ස අත්තනායක දක්වා ම එජාප පාක්ෂිකයන්ට රාජපක්ෂ වශීයෙන් මිදෙන්නට බැරි වූ බවයි. එජාපයේ ඉදිරියට යන්නට සිටි නායකයන් සියලු දෙනා ම රාජපක්ෂගේ ගුලි කා අනාගතය අඳුරු කරගත් හ. සජිත් ප්‍රේමදාස වෙන අයට ‘උඹ පලයන් – මං එන්නං’ කියා එයින් අනූ නමයෙන් බේරුණු අයෙකි.

සජිත් ජනප්‍රිය වන්නට මූලික හේතුව වන්නේ ඔහුගේ සුවිශේෂ හැකියාවක් නොව රනිල් විරෝධයයි. මෙකී රනිල් විරෝධය පසුගිය වසර දෙක තුළ තීව්‍ර කළේ අන් කිසිවෙකු නොව එක්සත් ජාතික පාක්ෂිකයෝ ම ය. තම නායකයාට එරෙහිව ඔවුහු මෛත්‍රීපාල සිරිසේන වැනි යක්ෂයන් සමග පවා කුමන්ත්‍රණ කළ හ. එම කාලය තුළ සමස්ත පක්ෂ ශක්තිය ම වැඩිපුර යොමු වුණේ නායකයා පළවාහරින්නට ය. එහෙත්, විකල්පයක් ද ඔවුන්ට නොතිබිණි. ප්‍රධාන වශයෙන් ම මහරාජා ආයතනය විසින් සජිත් ප්‍රේමදාස ඉදිරියට ගන්නා ලද අතර පක්ෂයට පිටින් ගෙන යන ලද රනිල් විරෝධී දැවැන්ත ව්‍යාපාරයකට බොහෝ එජාප පාක්ෂිකයෝ දායකත්වය සැපයූ හ. මූලික වශයෙන් ම රනිල්ට තමන්ට එරෙහිව ප්‍රචාරණයේ යෙදෙන එජාප නායකයන්ට එරෙහිව ප්‍රති ප්‍රචාරයේ යෙදීමට සමබිමක් ලැබුණේ නැත. ඔහු එවැනි බලමුළුගැන්වීම් පිළිබඳ විශ්වාස තබන පන්නයේ අයෙකු ද නොවේ. ඒ වෙනුවට ඔහු කළේ එක්සත් ජාතික පක්ෂයේ යල්පැන ගිය ඒකාධිපති ව්‍යවස්ථාවෙන් තමන්ට හිමි බලය පාවිච්චි කිරීමයි.

2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේදී රනිල් නොසැලී සටන් කළේ ය. එම තීරණාත්මක අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන සමග කුමන්ත්‍රණවලට යම් යම් ආකාරවලට සහභාගි වූ සජිත් ප්‍රේමදාස හා ඔහුගේ අනුගාමිකයන් විසින් පක්ෂයට පිටින් දැවැන්ත ප්‍රචාරණ බලයක් ගොඩනගාගෙන අවසානයේදී ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමට සමත් විය. ඒ සමග ම සජිත් ප්‍රේමදාස ඉදිරියට ගෙන ආ අය කවුරුදැයි බලන්න. සජිත්ගේ පරාජයට බලපෑ ප්‍රධාන සාධකයක් වන්නේ ඔහුගේ ජනාධිපතිවරණ ක්‍රියාමාලා නායකයා ලෙස පෙනෙන්නට සිටි තිස්ස අත්තනායකයි. සජිත් හා එක්සත් ජාතික පක්ෂ ව්‍යූහය අතර පැල්මක් නිර්මාණය කිරීමට තිස්ස අත්තනායක සමත් විය. එය තනිකර ම පෞද්ගලික වාසි වෙනුවෙන් කරන ලද්දකි. පසුගිය රජය විසින් කරන ලද සාධනීය වැඩවල ගරුත්වය පවා සජිත් ප්‍රේමදාස සිය ප්‍රචාරණ ව්‍යාපාරය තුළදී ප්‍රතික්ෂේප කළේ ය. ඔහුගේ පරාජයේ වල වැඩිපුර ම කපාගත්තේ ඔහු ය.

සජිත්ගේ ජනාධිපතිවරණ පරාජය සමග එක්සත් ජාතික පක්ෂය ඇද වැටී තිබෙන්නේ අතිශය දුෂ්කර තත්වයකට ය. මෙතැනින් එජාපය ගොඩගැනීමට සමත් කිසිවෙකු මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයෙහි ඇති බවක් නොපෙනේ. එක්සත් ජාතික පක්ෂය මුළුමනින් ම අලුත් විය යුතු ය. රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට තර්කයක් නැත. එහෙත්, රනිල්ගේ අනුප්‍රාප්තිකයා සජිත් වීමෙන් එජාපයට කිසිවක් නොලැබෙන බව ජනාධිපතිවරණ ප්‍රතිඵලය පෙන්වා දුන්නේ ය. එජාප නායකයා විසින් කළ යුතුව තිබෙන්නේ, යාවජීව නායකයන් බිහිකරන, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථාව වෙනස් කර, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර, නායකත්වය වෙනුවෙන් ප්‍රජාතාන්ත්‍රික තරගයකට ඉඩ සලසා ගෙදර යාමයි. වසර හයකට වරක් නායකයා පත් කරගත හැකි ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව ඉමිටියාස් බාකීර් මාකාර් ම ප්‍රකාශ කර තිබෙනු දක්නට ලැබිණි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයකට ලාංකීය දේශපාලනය තුළ තවමත් පුළුල් ඉඩක් ඇත.

Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.