Ranil

අජිත් පැරකුම් ජයසිංහ – Debas.lk වෙබ් අඩවියේ ආරාධනය මත ලියන ලද ලිපියක සංස්කරණය නොකරන ලද පිටපතයි.

මෙම සටහන තබන්නට අවදි වූ උදෑසන මා මුලින්ම දුටුවේ ‘අරගලයේ’ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයකු විසින් ෆේස්බුක්හි පළකරන ලද වහසි බසකි. “අරගලය ඉවරයි ද? නෑ. පාලක පන්තියට හිතාගන්න බැරි නව සටන්බිමකින් අපි ආපහු එනවා. අද ලියල තියාගන්න. පොහොට්ටුව මේ ලංකාවෙන් අතුගාල දාන එක තමයි ඊළඟ ඉලක්කය. ඒක ඉබේ කෙරෙන එකක් නෑ. අපි කරනවා.”

මා දවස පටන්ගත්තේ මෙම සටහන ෆේස්බුක්හි ෂෙයා කරමින් පහත දැක්වෙන සටහන තබමිනි. “මට කවදාවත් රාජපක්ෂලා හෝ පොහොට්ටුව ගැන කැමැත්තක් තිබුණෙ නැහැ. හැබැයි, මැයි 9 කරපු අසික්කිත ගිනිතැබීම්/ දේපළ විනාශ කිරීම් හා අමරකීර්ති අතුකෝරළත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාත් පොලුගසා මරාදැමීමෙන් පසු පළමු වතාවට මම ඔවුන් වින්දිතයන් පිරිසක් ලෙස සලකා අනුකම්පා කරනවා. ඒ ත්‍රස්තවාදය නැවත සිදුවීම වැළැක්විය යුතුයි.” මෙය තවදුරටත් විකාශය කරන්නේ නම්, මා කිසිදිනෙක පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මව් පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවා කැමැත්තක් දැක්වූයේ නැත. දැනටත් මා තුළ තිබෙන්නේ ත්‍රස්තවාදයේ වින්දිත පිරිසක් සමග සහකම්පනයකි. මා දැන් සිතන්නේ මැයි 9 යළි මතුවූ සහ දිගින් දිගටම හොල්මන් කරමින් තිබෙන ත්‍රස්තවාදයේ තර්ජනය මැඩලීමේ හා රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදයේ පාපයෙන් තම බලවේගය මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි අවදි වී දේශපාලනය කළ යුතු බවයි.

1989 කැරැල්ලේ ස්වකීය අත්දැකීම් පාදක කරගනිමින් ‘කේපොයින්ට්’ නවකතාව ලියූ ලේඛකයා ලෙස මම නැවත දැකීමට අකැමැති සිදුවීම් රැසක් මැයි 9දා දුටුවෙමි. මැයි 9 සිදුවීම් ආරම්භ වූයේ අගමැති තනතුරෙන් නික්ම යාමට නියමිතව සිටි මහින්ද රාජපක්ෂ විසින් අරලියගහ මන්දිරයට කැඳවන ලද ඔහුගේ අනුගාමිකයන් රාජ්‍ය අනුග්‍රහය ලබමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගෝල්ෆේස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටි නිරායුධ විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩ ප්‍රහාරයක් එල්ලකිරීමෙනි.

සමාජ පොදු මතය විසින් එම ක්‍රියාව හෙළාදකින බව දක්නට ලැබිණි. ඒ වන විට පොහොර ඉල්ලා ගොවීන් විසින් කරන ලද අරගලය හා ගුරු අරගලය විසින් සමාජය උණුසුම් කර තිබිණි. තෙල්, ගෑස්, කිරිපිටි ආදිය හිඟවීමත් සමග මධ්‍යම පන්තික කොටස් වෙතින් පැනනැගුණු දීප ව්‍යාප්ත අරගල සහ ඒවාට ලැබුණු ප්‍රතිචාර මිරිහානේ ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස අසල හා රඹුක්කනදී සිදුවූ සිදුවීම් හේතුවෙන් සීමාව ඉක්මවා ගොස් තිබිණි.

මැයි 9 දින ඇතිවූ පළිගැනීමේ ප්‍රචණ්ඩත්වය විසින් නිර්මාණය කරන ලද බිහිසුණුම සිදුවීම වන්නේ නිට්ටඹුවේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීවරයා පහරදී මරාදැමීමයි. සිදුවූ වාහන විනාශ කිරීම්, ගෙවල් ගිනිතැබීම් හා කඩා බිඳදැමීම් සහ කාන්තා හිංසන ඇතුළු පුද්ගල ත්‍රස්තවාදී ක්‍රියා සංඛ්‍යාව හා එහි පරිමාණය සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් තවමත් කර නැත.

ශ්‍රී ලංකාවේ නිරායුධ අරගලයක් පැවති නමුත්, එය සාමකාමී අරගලයකැයි නම් කිරීම ඇතැම් ජාත්‍යන්තර විද්වතුන් විසින් පවා සිදුකරන ලද වරදකි. ‘අරගලය’ ලෙස නම් කරනු ලබන ක්‍රියාවලිය තුළ මැයි 9 සිට දිගටම පැවතියේ පළිගැනීමේ ප්‍රචණ්ඩත්වය විසින් නිර්මාණය කරන ලද ප්‍රචණ්ඩ ජීවයයි. එතැන් සිට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි පසුබෑමකටත්, එහි පාක්ෂිකයන් භීෂණයකටත් ලක්වූහ. සාමාන්‍යයෙන් ප්‍රචණ්ඩ බලවේගයක් වූ ඔවුන් පසුබැස යාමෙන් පසු හිස්වුණ අවකාශය ආක්‍රමණය කළේ වඩා ප්‍රචණ්ඩ නිර්ප්‍රභූ බලවේගයකි. පොලිසියට හා හමුදාවට වාචික තර්ජන කරන, එතැනින් නොනැවතී බැරියර් කඩාගෙන ඉදිරියට පවා යන මෙම බලවේගයේ ශක්තිය මෙතෙක් උපරිමයෙන් ප්‍රදර්ශනය කරනු ලැබුවේ ජුලි 9දාය. අතිවිශාල ජනකායන් අගනුවරට කැඳවන ලද එදින ඔවුහු ජනාධිපති නිල නිවස හා කාර්යාලයත්, අගමැති නිල නිවස හා කාර්යාලයත් ආක්‍රමණය කළ අතර අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ගිනිතැබූහ. පාර්ලිමේන්තුවට පහරදීමට දරන ලද උත්සාහය රජය විසින් පසුබස්වන ලදී. ඉන් පසු, ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ අතර අගමැතිවරයා වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේය.

2018 පෙබරවාරි 20 පළාත් පාලන මැතිවරණය ජයගැනීමෙන් පසු හා විශේෂයෙන්ම දින 52 කුමන්ත්‍රණ සමයේ හෝ පාස්කු ප්‍රහාරයෙන් පසු පොහොට්ටුවට අවශ්‍ය ඕනෑ තරම් ජනයා ඒකරාශී කර පිරිස් බලය යොදවා ආරක්ෂක හමුදා හා පොලිසිය පසුබස්වා රාජ්‍ය ආයතන ආක්‍රමණය කර බලය පැහැරගැනීමේ හැකියාව ඕනෑතරම් තිබිණි. එයට ආරක්ෂක හමුදාවල සහාය ලබාගැනීමේ හැකියාව පවා තිබිණි. එහෙත්, ඒ වන විට පැවති තත්වය තුළ එය ආණ්ඩු වෙනස්කිරීමේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක් ලෙස පිළිගැනුණේ නැත. ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට ගරුකර කටයුතු කිරීමට ආණ්ඩු විරෝධීන් කටයුතු කළහ. පසුගිය ජුලි 9 දින මෙය තීරණාත්මකව වෙනස් කරන ලද අතර, නිරායුධ එහෙත් ආවේගශීලී හා ප්‍රචණ්ඩ ජනරාශි යොදවා රාජ්‍යය ආක්‍රමණය කර පාලනයන් තමන්ගේ ජනරාශිවල අභිමතය පරිදි වෙනස් කිරීම නිවැරදිය යන වැරදි පූර්වාදර්ශය ඊනියා අරගලකරුවන් විසින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබේ.

ලිපිය ආරම්භයේදී මා උපුටා දක්වන ලද සටහන ඇතුළු අරගලකරුවන්ගේ වහසිබස්වල තවමත් ගැබ්ව තිබෙන්නේ ඍජු ජනරාශි යොමුකර ස්ථාන ආක්‍රමණය කිරීමෙන්, දේපළ විනාශ කිරීමෙන් හා අවශ්‍ය නම් එම බලය යොදවා පුද්ගල ත්‍රස්තවාදය හරහා ආණ්ඩු වෙනස්කිරීමට තමන්ට ශක්තිය ඇති බවයි. එහෙත්, මේ වන විට, රටේ අතිවිශාල බලවේගයක් ‘ඉනෆ් ඉස් ඉනෆ්’ හෙවත් දැන් ඉතින් මෙය ඇතිය යන ස්ථාවරයට පැමිණ සිටින බව ඔවුන් නොසලකාහරිමින් තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ භූමිකාවෙන් ප්‍රකාශ වන්නේ දැන් ඉතින් මෙය ඇතිය යන ප්‍රකාශනයයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම කිසි සේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී වන්නේ නැත. එහෙත්, ආණ්ඩු විරෝධීන් එම පත්වීමේ සදාචාරය ප්‍රශ්න කරති. 2015දී මාතර දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජය වූ සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ ජාතික ලැයිස්තුවෙනි. ඉන්පසු ඔහු කෝප් කමිටුවේ සභාපති ධුරයට ද පත්වූයේය. 2015 මහ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කර ඡන්ද ස්වල්පයක් පමණක් ලබාගත් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ රනිල් වික්‍රමසිංහ ඔහුට ඇමති තනතුරක් ද ප්‍රදානය කළේය. අද මේ දෙදෙනා ද රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවට පත්වීමේ සදාචාරය ප්‍රශ්න කරන පිරිස අතර ඉදිරියෙන් සිටිති.

කෙසේ වෙතත්, මා රනිල් වික්‍රමසිංහ භූමිකාව විග්‍රහ කරනුයේ ඉහත දක්වන ලද ‘දැන් ඉතින් මේ ඇති’ යන සරල හේතුව මත යුක්තියුක්ත වන පත්වීමක් ලෙසයි. ඔහුට නිශ්චිත වගකීම් කීපයක් පැවරී තිබේ. ඒවා මොනවාද?

  1. 2015දී දකුණේ ජනප්‍රිය රාජපක්ෂ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සුළු ජාතික ඡන්දවලින් පසුබස්වා යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, ක්‍රමානුකූලව රට තුළ නිර්මාණය වූ හා 2019දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පූර්ණත්වයට පත්වූ අරාජිකත්වය අවසන් කිරීම. (මෙම අරාජිකත්වය නිර්මාණය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඇතිවූ ගැටුම ද හේතු විය.)
  2. ශ්‍රී ලංකාවේ රජයේ අධික ණය බර හේතුවෙන් විදේශ ණය ගෙවාගත නොහැකිව බංකොළොත් වී තිබෙන ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම. (ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මුළු අවුරුදු 10 ක කාලය තුළ ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය 2007 සිට 2014 දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක්ය වෙද්දී 2015-19 යහපාලන රජය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 13ක් ණය ගත් බවට චෝදනා රනිල් වික්‍රමසිංහට එල්ලවේ. එහි පසුබිම වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි.)
  3. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ වැරදි ප්‍රතිපත්ති නිවැරදි කර ආර්ථිකය තිරසර සංවර්ධන මාර්ගය වෙත ඇතුළත් කිරීම
  4. දේශපාලන අර්බුදයට හේතුවී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැටලු විසඳීම
  5. ශ්‍රී ලංකාවේ මහජන නියෝජනය වඩා ප්‍රජාතාන්ත්‍රික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම 

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවබෝධයක් ඇති බව ඔහු විසින් පසුගිය මාසයකට අඩු කාලය තුළ ඔහු විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග සහ කරන ලද ප්‍රකාශවලින් පෙනේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් විස්තීර්ණ අරමුදල් පහසුකමක් (Extended Fund Facility) ඉල්ලා තිබේ. විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් මධ්‍යකාලීන ගෙවුම් ශේෂ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ. එය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයනු ලබන දිගුකාලීන ණයකි. මේ වන විට එය සලකාබැලීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ දස දින චාරිකාවක් පසුගිය ජූනි 30දා අවසන් කළහ. කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකරගැනීම සඳහා සාකච්ඡා අන්තර්ජාලය ඔස්සේ දිගටම පවත්වන බව ඔවුහු කීහ. රටේ අස්ථාවරත්වය නිසා ඇණහිට තිබුණු ජාත්‍යන්තර මූල්‍ය සමග සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ යළි ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරභාවය පිළිබඳ වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිලධාරි මට්ටමේ එකඟතාව ප්‍රමාද වූ මුත්, එය අගෝස්තු මාසයේදී ඇතිකරගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවරදී පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය සැප්තැම්බර් මාසයේදී ලැබෙනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි. ඉතාම ප්‍රශස්ත තත්වයන් යටතේ පවා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට ඇතුළත්ව අරමුදල් ලබාගත හැකිවනු ඇත්තේ වසර අවසානයේදීය. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය කෙරෙහි බර තබන බව පසුගිය අගෝස්තු 5දි ඇඩ්වොකාටා ආයතනය විසින් සංවිධානය කරන ලද “LET’S RESET SRI LANKA” සමුළුව අමතමින් ඔහු විසින් පවත්වන ලද කතාවෙන් ඇඟවිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට විරුද්ධ අය විකල්ප ඉදිරිපත් කළ යුතු බව ද ඔහු කීවේය.

ජනාධිපතිවරයා අගෝස්තු 5දා ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසක් සමග ද සාකච්ඡා ආරම්භ කර තිබේ. සියලු අරගලකරුවන් නියෝජනය කරමින් යම් ප්‍රධාන කණ්ඩායමක් සකසා ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා එම කණ්ඩායමට සියලු ආගම් නියෝජනය සහ කාන්තා නියෝජනය ද අත්‍යවශ්‍ය බව සඳහන් කළේය. තමන් විසින් තරුණයින්ගේ අවශ්‍යතා රාජ්‍යයේ ද අනුග්‍රහය සහිතව පවත්වාගෙන යාම සඳහා කොළඹ කොටුව පාවෙන වෙළෙඳ සැළ සහ තවත් ස්ථාන කිහිපයක් යෝජනා කිරීමට කැමති බවත්, ඒ වෙනුවෙන් වන විධිමත් යෝජනාවලියක් බහුතර අරගලකරුවන්ගේ මැදිහත්වීමෙන් සකස් කර ඉදිරිපත් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය. එම ක්‍රියාවලිය තුළ අධ්‍යාපනය සඳහා වූ පුස්තකාල, දේශපාලන අධ්‍යයනය සඳහා වන පහසුකම්, සංගීතය, චිත්‍ර කලාව, වේදිකා නාට්‍ය හා අනෙකුත් තරුණ කුසලතා සහ අවශ්‍යතා ඉටුකරගත හැකි එක් මධ්‍යස්ථානයක් බවට එය පත්කර ගතයුතු යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

එදිනම ඔහු සර්වපාක්ෂික රජයක් සඳහා වන තම සාකච්ඡා මාලාවේ තීරණාත්මක සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය සමග ද පැවැත්වීය. එහිදී ඔහු මෙසේ පැවසීය: “1941 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධූරය දරණ ගමන්ම අමාත්‍ය ධූර භාර ගත්තා. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළා. එම සම්ප්‍රදායම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. 1977 ආණ්ඩු පෙරළියේ දී හයෙන් පහේ බලයක් අරගෙන ආණ්ඩුවක් හදලා රට ගොඩනැගුවා. හැබැයි දැන් හයෙන් පහක බලයකින්වත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතිව රට ගොඩනගන්න බැහැ. එකම විකල්පය සර්ව පාක්ෂික පාලනයක් පමණයි.”

3 thoughts on “ඉනෆ් ඉස් ඉනෆ් ජනාධිපති

  1. “1941 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධූරය දරණ ගමන්ම අමාත්‍ය ධූර භාර ගත්තා. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළා. එම සම්ප්‍රදායම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්

  2. Kisiyam janarashin visin janagatha karanalada veradi poorwadarsa , aragalayanta kelinma sambanda nowannaawoo wurthikayan menma saamanyayan da welandagaththe manda yanna prathama kaayaryak lesa adyanaya kalayuththaki .

Leave a Reply to Lakshman Jayasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: