Alpitiya Pradeshiya Sabha

ඇල්පිටිය: සුළු හේතු මත නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම හරි ද?

අජිත් පැරකුම් ජයසිංහ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වෙන්නේ සෙසු පළාත් පාලන මැතිවරණ පැවැත්වීමෙන් මාස 20කට පමණ පසු ය. මෙම මැතිවරණය කල් යාම සිදු වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගයක් නිසා ය. එයට හේතුව, ඉතා කුඩා පක්ෂයක නාම යෝජනා පත්‍රය පක්ෂය විසින් නම් කරන ලද නියෝජිතයා හැර වෙනත් පුද්ගලයෙකු විසින් තේරිම් භාර නිලධාරියා වෙත භාරදීම යන කාරණාව මත ප්‍රතික්ෂේප වීමයි. එම ප්‍රතික්ෂේප වීමට එරෙහිව එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළේ ය. අවසානයේදී එම නාමයෝජනාව පිළිගන්නා ලදී.

Translations by Creative Content Consultants

ඒ අනුව, තේරීම් භාර නිලධාරිවරයා සිදු කර ඇත්තේ වරදකි. එපමණක් නොව, මෙම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ විරෝධතාව ද පදනම් විරහිත එකකි. දැන් මේ අවුල නිර්මාණය කළ ඊනියා විරෝධතාකරුවාට සහ තේරීම් භාර නිලධාරියාට කිසිවක් සිදු වේ ද? නැත. එහෙත්, මෙය ගැටලුවකි. මෙවැනි සුළු හේතු මත මහා අර්බුද නිර්මාණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ද?

වැලිගම නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ද මෙම හේතුව නිසා ය. ප්‍රධාන දේශපාලන පක්ෂයක් වුව ද, එම පක්ෂය ඒ සම්බන්ධයෙන් අධිකරණයට ගියේ නැත.

මහරගම නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනාව ප්‍රතික්ෂේප වූයේ අපේක්ෂකයන්ගේ ස්ත්‍රී – පුරුෂ භාවය නිසි පරිදි සදහන් නොවීම හේතුවෙනි.

සුළු තාක්ෂණික හේතු මත නාම යෝජනා ප්‍රතික්ෂේප වීම මැතිවරණ ඉතිහාසය පුරා මහා අර්බුදවලට හේතු වී තිබේ.

මෙවැනි සුළු හේතු මත නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම වෙනුවට එම වැරදි නිවැරදි කිරීමට අවස්ථාවක් ලැබෙන පරිදි මැතිවරණ නීති සංශෝධනය විය යුතු ය. වඩා ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ එයයි. ඒ කෙරෙහි මැතිවරණ කොමිෂමේ අවධානය යොමු විය යුතු ය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ගැන විස්තර

ඡන්ද දායකයින් සංඛ්‍යාව – 53,384

මැතිවරණ කොට්ඨාස – 17

ඡන්ද මධ්‍යස්ථාන – 47

සභිකයින් – 28යි. 17ක් කොට්ඨාස මට්ටමින්. 11ක් සමානුපාතික නියෝජනයෙන්

පිළිගත් දේශපාලන පක්ෂ පහකින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් සංඛ්‍යාව – 155

එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ

ඡන්දය කල්යාමට හේතුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය පක්ෂය විසින් නම් කරන ලද නියොජිතයා හැර වෙනත් පුද්ගලයෙකු විසින් තේරිම් භාර නිලධාරියා වෙත භාරදීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතාව පිළිගෙන තේරීම් භාර නිලධාරිවරයා විසින් නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන ලදී. එම පක්ෂය විසින් එම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පවරා මැතිවරණය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගන්නා ලදී.

2018 ජනවාරි 30දා පනවන ලද මෙම අතුරු තහනම් නියෝගය නිසා 2018 පෙබරවාරි 10දා සෙසු පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වුණ ද ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මැතිවරණය පැවැත්වුණේ නැත.

2019 අගෝස්තු 30 දින එම නාමයෝජනාව පිළිගන්නා ලෙස නියෝග කරමින් අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.

ඉදිරිපත් වූ එම විරෝධතාව සළකා බැලීමෙන් පසුව එම නාම යොජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලදි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යනු 1992දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිනී දිසානායක විසින් පිහිටුවන ලද පක්ෂයකි. ඇතුලත්මුදලිගේ අභාවයෙන් පසු එහි නායකත්වය ගාමිනී දිසානායකට ද, පසුව ලලිත් ඇතුලත්මුදලිගේ වැන්දඹු බිරිඳ වූ ශ්‍රීමනී ඇතුලත්මුදලිට ද හිමි විය. එම පක්ෂයේ වර්තමාන නායකයා ආරියවංශ දිසානායක වන අතර ඔහු මෙවර ජනාධිපතිවරණයට ද තරග කරයි.

(ඡායාරූපය සඳහා ස්තුතිය: දේශය පුවත්පතට)