US Ambassdor Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 10දා අනිද්දා පුවත්පතේ පළ වේ.

ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමග සහශ්‍රක අභියෝග සහයෝගිතා ගිවිසුම හෙවත් මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ යැයි නීතිපතිවරයා දැනුම් දී තිබෙන බැවින්, එම ගිවිසුම අත්සන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර බෞද්ධ භික්ෂුවක් එයට එරෙහිව නිදහස් චතුරශ්‍රයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ය. ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා ම මේ වන විට එම භික්ෂුවට ලිපි ලියා තිබේ. ගිවිසුම අත්සන් කිරීම ජනාධිපතිවරණය අවසන් වනතෙක් කල් දැමීමට ඇමරිකා එක්සත් ජනපදය මෙන් ම ශ්‍රී ලංකා රජය ද තීරණය කර තිබේ.

Translations by Creative Content Consultants

මෙම ගිවිසුමට එරෙහිව ගෝඨාභය රාපක්ෂගේ ජාතිවාදී හවුල්කරුවන් මහ හඬින් බෙරිහන් දුන්න ද ජනාධිපති අපේක්ෂකයා ඒ පිළිබඳ කිසිවක් කියන්නේ නැත. ඔහුගේ හවුල්කරුවන් කියන පරිදි නම්, මෙම ගිවිසුම ලංකාවේ ඉඩම් ඇමරිකාවට ලබාදීමේ කුමන්ත්‍රණයකි.

මෙය ක්‍රියාත්මක කිරීම 2020 මුල ඇරඹේ. ඒ වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට හා අදාළ ව්‍යාපෘති වෙනුවෙන් බදු සහන ලබාදීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක ආපසු නොගෙවිය යුතු ආධාරයක් ලැබේ.

මෙම ප්‍රදානය උපයෝගී කරගෙන ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අවශ්‍යතා පදනම් කරගනිමින් රටේ ප්‍රදාන රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරන නිලධාරීන් විසින් සකස් කර ඇත. Millennium Challenge Corporation (MCC) සමඟ මෙම ගිවිසුම අත්සන් කළ පසුව වුවද ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව මෙම ව්‍යාපෘති සංශෝධනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතුව පවතී. එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකික විශේෂඥයන් විසින් සකස් කරන ලද මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකාවට ම ය. එම ගිවිසුමෙහි ඇතැම් කොටස් ක්‍රියාත්මක නොකර සිටීමේ බලය ද ශ්‍රී ලංකාවට තිබේ.

ශ්‍රී ලංකාව දැන් ඉහළ මධ්‍යම මට්ටමේ ආදායම් සහිත රටක් බවට පරිවර්තනය වෙමින් තිබෙන නිසා මෙම ආධාර වැඩසටහනට තෝරාගැනීම ශ්‍රී ලංකාවට ලැබුණු විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.

මෙමගින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන පිළිබඳ මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේ යි:

ගිවිසුමේ කොටස් දෙකක් තිබෙනවා. ඒ ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ව්‍යාපෘතිය. ප්‍රවාහන ව්‍යාපෘතිය ඉලක්ක කරන්නේ කොළඹ අගනාගරික ප්‍රදේශයේ මාර්ග පද්ධතියේ හා බස් පද්ධතියේ සාපේක්ෂ කාර්යක්ෂමතාව සහ ධාරිතාව නැංවීමයි. රටේ මධ්‍යම ප්‍රදේශවල සිට වරායන් සහ වෙළඳපොළ වෙත මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන වියදම අඩුකිරීමත් මෙහි අරමුණක්.

ඉඩම් ව්‍යාපෘතියේ අරමුණ වන්නේ පෞද්ගලික ඉඩම් සහ අඩුවෙන් භාවිතා කරන ලද රාජ්‍ය ඉඩම් පිළිබඳවත් එසේ නොමැතිනම්, රජයට නීතිමය අයිතියක් තිබෙන හෝ රජය විසින් ලබා දී තිබෙන (රජයේ ඉඩම්) ශ්‍රී ලංකාවේ සියලු ඉඩම් පිළිබඳ තොරතුරු පද්ධති ශක්තිමත් කිරීමයි. එමගින් බලාපොරොත්තු වන්නේ ඉඩම් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමයි. එසේම, කුඩා ඉඩම් හිමියන්ගේ, කාන්තාවන්ගේ සහ ආයතනවල ඉඩම් හිමිකම් සුරක්ෂිතභාවය වර්ධනය කිරීම හා ඒවා විකිණීමේ හැකියාව වර්ධනය කිරීමයි. එසේ කරනු ලබන්නේ ප්‍රතිපත්ති හා නීතිමය ප්‍රතිසංස්කරණ ඔස්සේ ය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සත්‍ය බිය ඇති කරනු ලබන්නේ මෙය මත පදනම්ව ය. විශේෂයෙන් ම බලපත්‍රලාභී ගොවියන්ට ඉඩම් අයිතිය ලබාදෙනවාට ගොවි නායකයන් ලෙස පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලකයන් විරුද්ධ ය. ඔවුන් පවසන්නේ එමගින් ගොවීන්ට තම ඉඩම විකුණා දමා කෘෂිකර්මාන්තයෙන් ඉවත් වීමට හැකියාව ලැබෙන බව හා එම ඉඩම් විශාල සමාගම් වානිජ කෘෂිකර්මාන්තය සඳහා යොදාගනු ඇති බවයි. එහෙත්, එය ඉතා පසුගාමී හා ජනතාව මෝඩයන් ලෙස සලකන අදහසකි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා මේ දෙක ම අවශ්‍ය ය. ගොවීන්ට ජීවනෝපාය හෝ සපයාගත හැකි තරම් විශාල ඉඩමක් නොමැතිනම් වඩා ඵලදායී වන්නේ එම පුද්ගලයා ගොවිතැනින් ඉවත් වී කෘෂි කම්කරුවකු හෝ වෙනත් රැකියාවක නියුතු අයෙකු හෝ බවට පත්වීමයි. ග්‍රාමීය දිළිඳුකම නැතිකිරීමට ද මෙය අත්‍යවශ්‍ය ය. එයින් ගැමි ජනතාවට සිදුවන හානි වළක්වා ඔවුන් ඵලදායී කාර්ය වෙනුවෙන් යෙදවීම සඳහා අවශ්‍ය මෙහෙයවීම් කිරීමට අප විසින් නඩත්තු කරන දැවැන්ත රාජ්‍ය සේවයට හා එහි සංවර්ධන අංශවලට හැකියාවන් ලබා දිය යුතු ය. වෘත්තිය මට්ටමෙන්, ව්‍යවසායක මට්ටමෙන් ගොවිතැන් කරන ගොවීන්ට ඉඩම් ලබාගැනීමට තිබෙන බාධක ඉවත් කිරීම නිෂ්පාදනයේ සංවර්ධනය සඳහා සාධනීය පියවරකි.

ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් 2018 ඔක්තෝබර් 6දා, ඉරිදා ලංකාදීප පුවත්පත සමග පවත්වන ලද සාකච්ඡාවේදී මෙම ගිවිසුම ගැන මෙසේ පවසයි:

මිලෙනියම් චැලේන් කෝපරේෂන් ගිවිසුම සංවර්ධන වැඩසටහනක්. එය ණයක් නෙරමයි. එය ශ්‍රී ලංකාවට ලබාදෙන ප්‍රදානයක් නිශ්චිත කාලයක් සඳහා සකසන ලද නිශ්චිත වැඩසටහනක්. මෙය ශ්‍රී ලංකාවට ලැබෙන අතිවිශාල සංවර්ධන සහායක්. අපි මීට පෙර ශ්‍රී ලංකාව සමග සංවර්ධන වැඩසටහන් කීපයක් ම ආරම්භ කළා. බොහොමයක් සාර්ථකව අවසන් කර තිබෙනවා. විශේෂයෙන් ම මෙම සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනවා. මාර්ග පද්ධතියට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ආරක්ෂාවට හෝ හමුදාවට මෙහි කිසිදු සම්බන්ධයක් නැහැ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට මට අවස්ථාවක් ලැබුණා. එහිදී මම ජනාධිපතිවරයාට ගිවිසුමේ කරුණු පැහැදිලි කළා. ශ්‍රී ලංකාව දැන් ඉහළ මැදි ආදායම් රටක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා යම් ප්‍රශ්නයක් තිබෙනවා. මොකද, ඇමරිකා එක්සත් ජනපදය ඉහළ මැදි ආදායම් ලබන රටවලට මේ ප්‍රදානය ලබාදෙන්නේ නැහැ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මෙම ආධාරය ලබන 37වන රට ලෙස තේරී තිබේ. මෙය ණය බරින්, විදේශ විනිමය හිඟයෙන් මිරිකී සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් සුවිසල් තල්ලුවක් බව පැහැදිලියි. ණය ගෙවාගැනීම සඳහා ණය ගන්නට හතර වටේ යදිමින් යන අතරතුර ගිනි පොළියට දී ධනවත් වූ පරණ අඹ යාළුවකු හමු වී ‘ඉඳා මචං, මේක තියාගනින්. මට ආපහු ඕනැ නැහැ’ කියා රුපියල් ලක්ෂයක් හමාරක් දුන් විට ඇති වූ තත්වය දැන් ලංකාව හමුවේ තිබේ. ‘ඕකා ඕක දුන්නේ නිකම් වෙන්න බැහැ’ යි කියනවාට අමතරව එයින් ඇති වන ඵල විපාක ගැන ද දිගට හරහට එක් එක් අය අනුමාන කරති.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයට අවශ්‍ය වන්නේ මෙය පදනම් කරගෙන බිල්ලකු මවා ජනාධිපතිවරණයේදී දේශපාලන වාසියක් ලබාගැනීමටයි.

ආරක්ෂක ගිවිසුම් සමග එහි සම්බන්ධය

මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ඇමරිකාව සමග අත්සන් කර ඇති සහ ඉදිරියේදී අත්සන් කිරීමට නියමිත ගිවිසුම් සමග ඍජු සම්බන්ධයක් නැහැ. එසේ සම්බන්ධ කිරීම කෘත්‍රිමව නිර්මාණය කරනු ලබන දෙයක්. එම ගිවිසුම් පිළිබඳ ඉහත ලංකාදීප සම්මුඛ සාකච්ඡාවේදී ඇමරිකානු තානාපතිනිය පවසන්නේ මෙසේයි:

Acquisition and Cross Servicing Agreement (ACSA) සඳහා 2017දී අනුමැතිය ලැබුණා. එමගින් දෙරටේම හමුදාවලට එකිනෙකාගෙන් භාණ්ඩ හා සේවා ලබාගැනීමට අවස්ථා ලැබෙනවා.

දෙවැනි ගිවිසුම States of Forces Agreement (SOFA), එහෙමත් නැතිනම්, Visiting Forces Agreement (VFA). මේක යෝජිත ගිවිසුමක්. මේකට කිසිම හදිසියක් නැහැ. මෙය තවමත් සාකච්ඡා මට්ටමේ තිබෙන්නේ. එය පරිපාලනමය සහ මෙහෙයුම් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ සහ කාර්ය සංවිධානය කිරීමේ ගිවිසුමක්. විශේෂයෙන් විදෙස් හමුදාවලට පහසුකම් සැපයීමේ ගිවිසුමක්. මෙම ගිවිසෙුවෙන් කෙරෙන්නේ විදෙස් හමුවාවලට තවත් රටකට පැමිණීම සඳහා කොන්දේසි සහ තත්වයන් සම්බන්ධයෙන් එකඟතාවන් ඇති කරගැනීමයි. ඔවුන් පැමිණෙන්නේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට හෝ ආරාධනාවකට අනුව පමණයි.

අප රටවල් ගණනාවක් සමග එවැනි ගිවිසුම් ඇති කරගෙන තිබෙනවා. ඕනෑම කෙනෙකුට ඒ ගිවිසුම් බලන්න පුළුවන්. අපි ආරක්ෂක අංශ සමග ශක්තිමත් සබඳතා ඇති කරැගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි විවිධ රටවල හමුදා සමග යුද අභ්‍යාසවල නිරත වෙනවා. ශ්‍රී ලංකාව සමගත් අපි ඒ ආකාරයෙන් කටයුතු කර තිබෙනවා. නාවිකන්, ධීවරයන් මුදාගැනීම, වෛද්‍ය ආධාර ලබාදීම, යුද අභ්‍යාසවල නිරත වීම, නාවික යාත්‍රා මුදැගැනීම යනාදී බොහෝ දේ කර තිබෙනවා. අපි එවැනි මොකක් හෝ දෙයකට සම්බන්ධ වීමේදී නැවත නැවත සාකච්ඡා කරන්න වෙනවා. නැවත නැවත ගිවිසුම් ඇති කරගන්න වෙනවා. එහෙත් මේ ගිවිසුමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එකවර කොන්දේසි සහ එකඟතා ඇති කරගැනීමයි. එවිට අපට කාලය ඉතුරු කරගන්න පුළුවන්. එකම කරුණු නැවත නැවත සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළ ඇමරිකා එක්සත් ජනපදයයි. අපගේ අපනයන මිළ දී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවා වන එම රටට ලංකාව වැදගත් වන්නේ එම භාණ්ඩ මිළ දී ගැනීමට ලොව තිබෙන එකම රට ශ්‍රී ලංකාව නිසා නොවෙයි. ශ්‍රී ලංකාවේ සම්පත්වල වටිනාකමක් ඔවුන්ට නැති බවක් එයින් අදහස් වන්නේ ද නැහැ. ශ්‍රී ලංකාවේ භූ පිහිටීම හේතුවෙන් ද ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාව වැදගත් වෙනවා. ශ්‍රී ලංකාව ගිලගැනීම සඳහා ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත් බව මෙතෙක් ඉතිහාසයෙන් නම් පෙනෙන්නේ නැහැ. එහෙත්, එහෙම ය කියා අදහසක් පැතිරවීම බොහෝ දේශපාලන න්‍යායන්ගේ සහ වැඩසටහන්වල පදනම බවට පත් වී තිබෙනවා.

වර්තමාන ලෝක සංදර්භය වෙනස්. කොමියුනිස්ට්වාදී දේශපාලන ව්‍යාපාරයේ පූර්ණ පරාජයත් සමග වර්තමාන ලෝකයේ ගැඹුරු මූලධාර්මික ගැටුම් නැහැ. ලෝක සංවාද පවතින්නේ ත්‍රස්තවාදයට මුහුණ දෙන ආකාරය, ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූප, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම වැනි කරුණු අරභයායි. මේ යුගය කියන්නේ ප්‍රගතිශීලී දේශපාලනයෙදි ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව, සාධාරණත්වය වැනි අතිශය මූලික කරුණුවලට අවධානය යොමු කරන්නට තරම් දෘෂ්ටිවාදීමය සාමයක් පවතින කාලයක්. වතුර කොරහේ කිඹුලන් දැකීම අදට ගැලපෙන්නේ නැති වැඩක්.

මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම පහත දැක්වෙන විදියට බැලීමේ වුණත් ලොකු ගැටලුවක් වර්තමාන සංදර්භය තුළ නැහැ. අපි වැඩිපුර බඩුගන්නෙ ටවුමෙ සුපර් මාකට් එකෙන්. බඩු ලාභයි. කොමිස් ලැබෙනවා. වාහන පාක් කරන්න එහෙමත් පහසුකම් තියෙනවා. හැබැයි, පොඩි පොඩි දෙවල් ගමේ කඩෙනුත් ගන්නවා. ගාන වැඩියි. ඒත්, ගමේ එකාත් හොඳින්, සතුටින් හිටියොත් තමයි අපටත් හොඳ. එතකොට ගමෙත් සාමෙ රැකෙනවා. රෑ මැදියමේ වුණත් කතාකරලා විවෘත කරවාගෙන පැරසිටමෝල් පෙත්තක් ඉල්ලගන්නට පුළුවන් ගමේ කඩෙන් මිස වෙන කාගෙන් ද?

ඇමරිකාව ඇතුළු දියුණු රටවල් ලංකාව වගේ රටවලට ආධාර කරන්නෙත් එහෙම තමයි. හැබැයි, ඒක පිළිගත්තොත් ලෝකෙ ම වසාගෙන තිබෙන දැවැන්ත දේශපාලන කතිකාවක් අර්බුදයට යනවා. මේක විග්‍රහ කිරීමෙන් ජීවත් වෙන අතිවිශාල විද්‍යාර්ථීන් පිරිසකට රස්සා නැතිවෙනවා. දේශපාලනේ මුල් ඉදිරෙනවා. ඒ නිසා හැමෝ ම සුපුරුදු තනුව ම වයනවා. ඒක වෙනස් කරගන්න එක ලේසි නැහැ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.