Negambo hospital

ඡායාරූපය මීගමුව රෝහලේදී මිය ගිය දෙවන කොවිඩ්-19 රෝගියා හට නොදැන නිරාවරණය වූ හෙදියන් පිරිසක් නිරෝධායනයට යාමට පෙර ගත් එකකි. උපුටා ගත්තේ ෆේස්බුක් වෙතිනි. සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෙන් වූ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට ඒ වන විටත් රජය පියවර ගෙන තිබුණේ නැත.

Translations by Creative Content Consultants

ශ්‍රී ලංකාව කොරෝනා නිවාරණය හා මර්දනය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින ප්‍රවේශය කෙතරම් දුරට සාර්ථක ද යන්න තවමත් පැහැදිලි නැතත්, එය අති සාර්ථක යයි පම්පෝරි ගසන්නට හැකි මට්ටමක නැති බව නම් පෙනේ. කෙසේ වෙතත්, රජයේ වැඩසටහනට පූර්ණ සහයෝගය දෙන ගමන් ම නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කරමි.

මෙම අර්බුදයේ දිග, පළල, ගැඹුර ගැන අවබෝධයක් ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට මුල පටන් ම තිබුණා ද යන්න සැක සහිත ය. කොරෝනා දොරට තට්ටු කරමින් සිටියදී පාර්ලිමේන්තුව කල් ඇතුව විසුරුවා හැරියේ එක්කෝ දේශපාලන අපරිණතකමට ය. නැතිනම්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඒකාධිපතිවාදයක් ගොඩනගා ගැනීමේ තීක්ෂණ බුද්ධියෙනි. මේ දෙක ම හොඳ නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීක්ෂණ බුද්ධියක් ඇති නායකයකු ලෙස සැලකුවහොත්, ඔහු අනුගමනය කළේ දෙවෙනි පියවර යයි සිතන්නට පුළුවන. ඒ අනුව, ඔහු කොරෝනා මර්දන කාර්ය සාධන බලකායේ නායකත්වයට සිය සමීපතමයකු වන හමුදාපතිවරයා ද, අත්‍යවශ්‍ය සේවා කාර්ය සාධන බලකායට සිය සොහොයුරු බැසිල් රාජපක්ෂ ද පත්කර ගත්තේ ය. අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඇමති මණ්ඩලය පවා මෙහිදී බොහෝ දුරට පසුබස්වා තිබෙනු දැකිය හැකි ය.

තනි අතින් සියල්ල හැසිරවිය හැකි යයි ජනාධිපතිවරයා සිතන බව පෙනේ. ඔහුට ඕනෑ නම් පාර්ලිමේන්තුව කැඳවිය හැකි වුණත්, ඔහු කැමති බව පෙනෙන්නේ පාර්ලිමේන්තුව පමණක් නොව කැබිනට් මණ්ඩලය පවා නොමැතිව වැඩ කිරීමට බව ය. මෙවැනි අවස්ථාවකදී අඩු තරමේ ලක්ෂ 14ක් වන රජයේ සේවකයන්ගේ හෝ සහාය ලබාගන්නට වැඩපිළිවෙලක් සකසා ගන්නවා නම් කොවිඩ්-19 මර්දනය තරමක් හෝ පහසු විය හැකි ය. මෙම දැවැන්ත රාජ්‍ය යන්ත්‍රයට කළ හැකි කාර්යභාරය අති විශාල ය. ඒ සඳහා ඔවුන් විශ්වාස කර බලමුළු ගැන්විය යුතු ය. පඩි පිට අනිවාර්ය නිවාඩු යැවීම අත්‍යවශ්‍ය නැත.

මේ අතර, මෙම වැඩසටහනෙහි දක්නට ලැබුණු මූලික ලක්ෂණයක් වන්නේ කාර්ය සාධන බලකායේ නායකයන් තත්වය පාලනය කරගැනීම සම්බන්ධයෙන් අධි විශ්වාසයකින් ප්‍රකාශ නිකුත් කිරීමයි. උදාහරණයක් ලෙස, හමුදාපතිවරයා බොහෝ විට ප්‍රකාශ කළ දෙයක් වන්නේ ලංකාවට කොරෝනා මර්දනය සම්බන්ධයෙන් සිංගප්පූරුවට පවා ඉදිරියෙන් සිටිය හැකි බවයි. එය එසේම වේවා යි අපි ද ප්‍රාර්ථනා කරන්නෙමු.

ලංකාවේ කොරෝනා මර්දන වැඩසටහන පිළිබඳ ප්‍රශංසා කිරීම් ගැන ආණ්ඩු හිතවාදීහු උවමනාවට වඩා උදම් වී සිටිති. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍ය සංචාරකයකු ලංකාව හා බ්‍රිතාන්‍යය සංසන්දනය කරමින් මාධ්‍යයකට කරන ලද ප්‍රකාශයකින් පවා උදම් වනු දක්නට ලැබිණි. එය හුදෙක් තනි පුද්ගලයකුගේ අපරිණත බාහිර නිරීක්ෂණයක් පමණක් බව අමතක විය.

එහෙත්, පෙනෙන්නට තිබෙන තත්වය එතරම් සුන්දර නැත. විදේශ රටවල සිට පැමිණි ඇතැම් පුද්ගලයන් නිරෝධායනය මගහරිමින් තවමත් කට්ටි පනිමින් සිටිති. ආසාදිතයන් විශාල වශයෙන් රෝගය බෝ කරමින් සිටිති. ඇතැම් රෝගීන් කරුණු සඟවා රෝහල්ගත වී රෝහල් කාර්ය මණ්ඩල පවා අමාරුවේ දමති.

ඇඳිරි නීති සම්පූර්ණයෙන් ම සාර්ථක නැත. පැය කීපයකට ඇඳිරි නීතිය ඉවත් කළ සැණින් ජනයා ණය, ආහාර, බෙහෙත් ආදිය ලබාගැනීම සඳහා රැස්කති. බොහෝ තැන්වල මීටරේ පරතරය ප්‍රායෝගිකව පවත්වා ගැනීමට හැකියාවක් නැත.

අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බස්නාහිර පළාතේ හෝ අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් ආදිය බෙදාහැරීම සඳහා හරිහමන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නැත. එළවළු ගොවීන්ට තම නිෂ්පාදන විකුණාගත නොහැකිව සිටියදී පාරිභෝගිකයන්ට කන්නට නැත. වෙළඳපොළේ එළවළු ගිනි ගණන් ය. ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳ තිබෙන අවිනිශ්චිතභාවය නිසා වෙළඳපොළ කඩා වැටී තිබේ. බැසිල් රාජපක්ෂගේ කාර්ය සාධන බලකායට විකල්ප ඇති බවක් නොපෙනේ.

දවස පුරාම වෛද්‍යවරුන්, හමුදාපතිවරයා, පොලිස් නිලධාරින් ආදීන් රූපවාහිනියෙන් කෙළවරක් නැතුව කොරෝනා ගැන කතා කළත්, මහජනතවාට එම පණිවුඩ නිවැරදිව සන්නිවේදනය වී තිබෙන බවක් නොපෙනේ. එසේ සන්නිවේදනය වූවත්, මහජනතාවගේ චර්යාවන් වෙනස් කිරීම එතරම් පහසු නැති බව ද පෙනේ. චර්යාවන් වෙනස් කිරීමෙහි ලා ආර්ථික තත්වය ද වැදගත් ය.

සමෘද්ධි හිමිකම්ලාභී පවුල් 1,798,655ක් සහ පොරොත්තු ලේඛනගත පවුල් 600,339ක් ද,
වැඩිහිටි දීමනාලාභී 416,764 දෙනා සහ වැඩිහිටියන් ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනගතව සිටින 142,345ක් ද, ආබාධිත දීමනාලාභී 84,071ක් සහ ආබාධිත ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනයේ සිටින 35,229ක් ද, වකුගඩු රෝගී දිමනාලාභී 25,320ක් සහ පොරොත්තු ලේඛනයේ සිටින 13,850ක්  ද සිටින සංදර්භයක් තුළ ලංකාවේ දරිද්‍රතාවේ මට්ටම සිතාගත හැකි ය. මෙම පිරිසටත්, ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි 160,675ක් වන පිරිසටත් රු. 5,000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.    

කොරෝනා මෙහෙයුමෙහි ඉදිරි පෙළ බලකාය වන සෞඛ්‍ය සේවකයන්ගේ මූලික ගැටලු පවා විසඳීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර නැත. ඔවුන්ගේ ප්‍රවාහනය තවමත් නිසි ප්‍රමිතියකින් සැපයීමට රජය අසමත් වී තිබේ. එසේ වන්නේ රජය සතු ලංගම නම් බස් කොම්පැනියක සේවකයන් වැටුප් සහිතව නිවෙස්වල සිටින අතරතුර වීම අකාර්යක්ෂමතාව කෙතරම් ද යන්නට නිදසුනකි. වැඩිම අවදානමට ලක් වන පිරිස වන සෞඛ්‍ය සේවකයන් නිරෝධායනය කිරීම සඳහා ස්ථාන හෝ සකසා නැත. ඔවුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාගැනීමට හෝ රජයෙන් වැඩපිළිවෙලක් සකසා නැත.

අඩුපාඩු එමට ය.  එහෙත්, මේ රටේ ජනතාව ඒවා දරාගෙන සිටිති. හඳුනාගත් ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම හෙවත් ඇවිරීම කෙසේ වෙතත්, පොදු ඇඳිරි නීති නම් සාර්ථක බවක් නොපෙනේ. එදිනෙදා ජීවනෝපාය අහිමි වූ වැඩකරන ජනයාගේ සාගින්න කොරෝනා බියට වඩා භයානක නැග එමින් තිබෙන බව ආණ්ඩුවට පෙනෙනවාදැයි අපි නොදනිමු.

ආණ්ඩුව පවත්නා තත්වය ගැන යම් සමාලෝචනයක් කරනවාදැයි අපි නොදනිමු. මේ මොහොතේ ආණ්ඩුවේ සම්පූර්ණ මෙහෙයුව කොරෝනා මර්දනය වන බැවින් ආණ්ඩුව ලෙස සැලකිය හැකි කොරෝනා සම්බන්ධ කාර්ය සාධන බලකායන්ගේ කවුරු ඉන්නවාදැයි අපි නොදනිමු. සෑම පැත්තක් ම තුලනාත්මකව විග්‍රහ කරගත හැකි මානව සම්පත්වලින් ඒවා පෝෂණය කරගත යුතු යයි අපට සිතේ.

කොවිඩ්-19 වසංගත තර්ජනය හමුවේ ලංකාවට යම් දැක්මක් තිබේ ද යන්න ද සිතා බැලිය යුතුව තිබේ.

Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.