N.M. Perera and J.R. Jayawardane

ඇන්ඇම්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන තිස්ස

මහාචාර්ය තිස්ස විතාරණ (ලංකාදීප පුවත්පතට ලියන ලද ලිපියකින් උපුටාගත් කොටසකි)

1970 – 1975 දක්වා ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී කළ දේ දෙස අපි හැරී බලමු. ඔහු ආර්ථික ස්ථාවරය යථා තත්වයට පත් කළේ ය. පළමු වතාවට ඔහු සමබර අයවැයක් උත්පාදනය කළා පමණක් නොව, වසරක් තුළ අයවැය අතිරික්තයක් ද ඇති කළේ ය.

Translations by Creative Content Consultants

1969දී රු. මිලියන 744ක් වූ විදේශ වෙළඳ හිඟය 1971දී රු. මිලියන 100ක් දක්වා අඩු කළේ ය. 1965දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණය ගැනීම ආරම්භ කර රු. මිලියන 100.9ක් (එකල ඩොලරයක් රු. 5කි) ණයට ගත් අතර, වාර්ෂිකව ණය ගැනීම තුළින් 1970දී ණය මුදල රු. මිලිය 723.4ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එහෙත්, එන්.එම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත යැපීම අවසන් කළේ ය. මේ පිළිබඳව එන්.එම්. උපුටා දක්වතොත් “මෙම දැවැන්ත ණයගැනීම අපගේ මූල්‍යස්වාධීනත්වය කැපකිරීමෙන් සිදු වූවකි.” ඔහු මෙය අවසන් කළා පමණක් නොවේ. රටේ ජනතාව මත අමතර බරක් පැටවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පැනවීම ද අවසන් කරන ලදී. රටේ දුක් විඳින දුප්පත් ජනතාවට තව දුරටත් සහන සැලසීම සඳහා වැඩි බදු බර දරාගත හැකි ධනපති පන්තියේ අය වෙත වැඩි බදු පනවන ලදී.

ලෝකයේ පහළම මට්ටමින් එකක් වුවත්, ලංකාවේ නම් වර්තමාන ඉහළ මට්ටම වන 18% මෙන් නොව ඉහළ සීමාව 75% දක්වා ඉහළ නංවන ලදී. ඉහළ වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු (එකල ඉහළ ම මුදල් නොට්ටු වූයේ රු. 50 සහ රු. 100යි) අවලංගු කිරීමෙන් ඔහු සැඟවුණු (පාතාල) කළු සල්ලි විවෘත ආර්ථිකයට ගෙන ආවේ ය. සමුපකාර ව්‍යාපාරය බෙහෙවින් ශක්තිමත් කරවමින් අත්‍යවශ්‍ය සියලු දේ සලාකයට ඉතා අඩු මිළකට සැපයූ අතර, සතියක කාලයක් සඳහා එක් අයෙකුට සහල් සේරුවක් (කිලෝවක් පමණ) බැගින් නොමිළේ ලබා දෙන ලදී.

ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික හා කාර්මික අංශවල වැඩසටහන් හා ව්‍යාපෘති ප්‍රවර්ධනය කළේ ය. රු. මිලියන 1,061ක මුළු ප්‍රාග්ධන වියදම්වලින් 63%කට ආසන්න ප්‍රමාණයක් මෙම ආයෝජන සඳහා යොමු විය. ඔහු අඩු පොළී ග්‍රාමීය ණය ලබා දුන්නේ ය.

එහෙත්, අධිරාජ්‍යවාදීන්ගේ දැඩි බලපෑම නිසා එන්.එම්. සහ ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් නෙරපා හරින ලදී. හේතුව ලෙස ජනතාව වෙත දැක්වූයේ සමුපකාර අලෙවිසල්වල පෝලිම් ඇති බව සහ සුඛෝපභෝගී භාණ්ඩවල හිඟකම ය. (එම අවධියේ මධ්‍යම පන්තියේ අයට ද අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට පෝලිමේ සිටිය යුතු විය.)

එකල ලොව පුරා දහස් ගණනක් සාගින්නෙන් මිය යන විට, ශ්‍රී ලංකාවේ කිසිවෙකු එසේ මිය යාම වැළැක්වූයේ මෙම සමුපකාරය නිසා බව ඔවුන්ට අමතක විය. මෙයට හේතු වී තිබුණේ ත්‍රිත්ව අර්බුදයයි. එනම්, ආහාර, ආර්ථික හා ඛනිජ තෙල් වේ. (ඔපෙක් කාටලය පිහිටුවීමෙන් ඛනිජ තෙල් මිල හත්ගුණයකින් ඉහළ නැංවීම නිසා ලෝකයේ සෑම රටක ම මෙවැනි ආර්ථික අර්බුද ඇති විය.)

Translations