Bhagya Aberathne

අජිත් පැරකුම් ජයසිංහ

බුර්කාව හා නිකාබය තහනම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කීවේය. එම කැබිනට් පත්‍රිකාව අවසන් කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන නැති බව මාධ්‍ය වාර්තා කළේය.

විදේශ ලේකම් අද්මිරාල්  මහාචාර්ය ජයනාත්  කොළඹගේ පවසන්නේ එවැනි  තහනමක් පැනවීම සඳහා රජය තීරණයක් ගෙන නොමැති බව හා එය හුදෙක් යෝජනාවක් පමණක් බවයි.

ආණ්ඩුව ජිනීවාහි ගැටලුවකට මුහුණදී මිත්‍ර රටවල සහයෝගය සොයමින් සිටින අතර සරත් වීරසේකරට හිටි හැටියේ මෙවැනි යෝජනාවක් කරළියට ගෙනඑන්නට තිබුණු හදිසිය මොකක්ද යන්න විමසා බැලිය යුතුය. ආණ්ඩුව ඇතුළේම සිටින මෙවැනි අන්තවාදීන් ඇත්තෙන්ම කරන්නේ ආණ්ඩුවේ දෙපා යටින් වළ කැපීමද?

මේ අතර, මුස්ලිම් දේශපාලන නායකයකු හා හිටපු ආණ්ඩුකාරවරයකු වන අසාද් සාලි අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් එයට හේතු වී තිබේ.

තමන් රජයේ නීතියට ගරු නොකරන බව හා ගරු කරන්නේ මුස්ලිම් නීතියකට බව ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් එයට හේතු වී තිබේ. ඔහුගේ මතය ප්‍රශ්න කළ හැකිය. එම මතයට එරෙහිව අදහස් පළ කළ හැකිය. ප්‍රතික්ෂේප කළ හැකිය. එහෙත්, හුදු මතයක් ප්‍රකාශ කිරීම හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම පරිස්සමින් කළ යුතු දෙයකි.

රටේ පවතින නීතිය ධනපති නීතිය ලෙස සඳහන් කරමින් තමන් එය පිළිනොගන්නා බව මාක්ස්වාදීන් ඕනෑතරම් ප්‍රකාශ කර තිබේ. බෞද්ධ භික්ෂූන් හා ඇතැම් බෞද්ධයන් පවා ‘බෞද්ධ නීතියක්’ ගැන කතා කළ අවස්ථා තිබේ. හෝමාගම අධිකරණ භූමියේ දී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරයේදී සිවුර ගලවා සාමාන්‍ය සිරකරුවන්ගේ ඇඳුම ඇඳීම ප්‍රතික්ෂේප කළේ එවැනි තර්කයකිනි.

සාලිගේ මතය ප්‍රශ්න කළ හැකිය. එම මතයට එරෙහිව අදහස් පළ කළ හැකිය. ප්‍රතික්ෂේප කළ හැකිය. එහෙත්, හුදු මතයක් ප්‍රකාශ කිරීම පුද්ගලයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හේතුවක් නොවේ.

එසේම, එම මතය හේතුවෙන් ජාතීන් අතර භේදයක් ඇතිවන බව ප්‍රකාශ කරමින් ඔහු අත්අඩංගුවට ගන්නේ නම් එය ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත අවභාවිතා කිරීමකි.

මෙම සිද්ධියෙන් පසුව, අසාද් සාලි පාස්කු ප්‍රහාරයට සම්බන්ධදැයි අත්අඩංගුවට ගෙන විමර්ශනය කරනවා නම් එය බරපතල පොලිස් අකාර්යක්ෂමතාවකි.

ආගම් ඇදහීම හා අදහන ආකාරය පුද්ගල නිදහසට අයත් දෙයකි. පන්සල් යාම අනිවාර්ය කරන බවට අගමැති මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය ද ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ ප්‍රශ්න කළ හැකිය. එහෙත්, මෙවැනි මත පළ කළ පමණින් එම පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා නීති අර්ථකථන නොකළ යුතුය. මතවලට මුහුණදිය යුත්තේ මතවලිනි.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් විසින් කරන ලද ඉඟියක් ද මතභේදයට ලක්වී තිබේ. මුස්ලිම් මළසිරුරු වෙනුවට මිනීපෙට්ටි පමණක් පිළිස්සූ බව ද මුස්ලිම් ජනයාගේ භූමදාන අයිතිය ලබාදීම සඳහා ආණ්ඩුව උදව් කළ බව ද ඔහුගේ කතාවෙන් ගම්‍ය වේ. එය ද මතයක් මිස ජාතීන් අතර භේද ඇතිකරන ප්‍රකාශයක් ලෙස සැලකීම අර්ථ විරහිතය.

වත්මන් ආණ්ඩුව හා එහි අන්තේවාසිකයන් මේ වන විට භාග්‍යා අබේරත්න නම් 19 හැවිරිදි ගැමි තරුණියක සමග පවා පැටලී තිබේ. එම තරුණිය සිංහරාජයේ වන සංහාරයට එරෙහිව හඬ අවදි කළාය. සිංහරාජය දැවැන්ත වන සංහාරයකට ලක්වී තිබෙන්නේ දැන් දශක ගණනාවක සිටයි. ඒ ගැන ජාත්‍යන්තර අවධානය පවා යොමු වී තිබේ. වන ආවරණය වර්ධනය කිරීම ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක හා සම්බන්ධ අභිමතාර්ථ අතර තිබෙන්නේ එහෙයිනි.

එම තරුණිය නිශ්චිත ඉඩමක් පිළිබඳ මුලින් සඳහන් නොකළද දැන් ඇගේ ප්‍රකාශය යම් නිශ්චිත ඉඩමක් සමග සම්බන්ධ කරගෙන වන පොලිසිය, වන සංරක්ෂණ නිලධාරීන් හා ආණ්ඩුව දැන් භාග්‍යා අබේරත්නට තර්ජනය කිරීමට පටන්ගෙන තිබේ. එම ඉඩම පෞද්ගලික ඉඩමක් බව කියමින් එහි තිබුණු වනය විනාශ කරදැමීම සාධාරණීකරණය කරන්නට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවා දතකයි.

ඒ පිළිබඳ පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධන කරන ප්‍රකාශය වැදගත්ය: “හෙක්ටෙයාර් එකකට වැඩි පෞද්ගලික වනාන්තර ඉඩමක දැව හෙළීමක් කරනවා නම්, අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ පාරිසරික බලපෑම් තක්සේරුවක් කළ යුතුයි. ඉඩම පිහිටා තිබෙන්නේ සංවේදී කලාපයක නම්, ඉඩමේ වපසරිය නොබලා පාරිසරික බලපෑම් තක්සේරුවක් කළ යුතුයි.”

එහෙත්, ආණ්ඩුවත්, රජයේ නිලධාරීනුත්, පොලිසියත් කරන්නේ ඒවා ගැන සෙවීම නොව පණිවුඩකරුවා දඩයම් කිරීමයි.

1 thought on “ආණ්ඩුව පණිවුඩකරුවා දඩයමට යොමුවෙයි

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: