අජිත් පැරකුම් ජයසිංහ

යුද සමරුවත් සමග ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට අලුත් යුද උන්මාදයක් වැළඳී තිබෙනු දක්නට ලැබිණි. රණ විරු ගුණ ගායනා, යුද සමරු උත්සව ආදිය උච්චතම තලයට ගෙන එමින් රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බව ද බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසළ රණවිරු ස්මාරකය අබියස මැයි 19දා පැවති ජාතික රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසී ය.

Translations

යුද්ධයෙන් වසර 11කට පසුව ආණ්ඩුවට අලුතෙන් හැදී තිබෙන යුද උන්මාදය කුමක්දැයි විග්‍රහ කරගත යුතු ය.

මේ වන විටත්, ආණ්ඩුව සම්පූර්ණයෙන් ම පාහේ මිලිටරි ඒකාධිපතිවාදයකි. කොරෝනා වයිරසය දොරට තට්ටු කරමින් තිබියදී, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි බව පෙනි පෙනී ම ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මෙම කුමන්ත්‍රණයේ පළමු පියවර ලෙසයි. මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු මැතිවරණය දිගින් දිගට ම කල් දමන්නේ හා එය පැවැත්වීමට අවශ්‍ය පියවර නොගන්නේ ඇත්තට ම විපක්ෂයේ උවමනාවට නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උවමනාවට ය. එහෙත්, එය පෙනෙන්නේ විපක්ෂයේ උවමනාවට සිදුවෙනවා සේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන පෞරුෂය විසින් පෙන්නුම් කරන්නේ ඔහු වඩා කැමති යස් සර් කියා සැලියුට් ගහන මිලිටරි නිලධාරීන් සමග රට පාලනය කිරීමට මිස අභියෝගාත්මක සංවාද දේශපාලනයකට නොවන බව පෙනේ. ඒ නිසා, පාර්ලිමේන්තුව නොමැතිව රට පාලනය කිරීමට ඔහු කැමති ය.

මේ වන විටත්, රටේ වැදගත් තනතුරු රැසකට හමුදා නිලධාරීන් පත් කර තිබේ. එමගින් පළමුව ශ්‍රී ලංකා පරිපාලන සේවය නිහඬ කරන ලදී. පළපුරුදු හමුදා නිලධාරීන්ට පරිපාලනය සිදු කළ නොහැකි බවක් අප අදහස් කරන්නේ නැත. ඔවුන්ගේ ගැටලුව එසේ පත් කරනු ලබන බොහෝ නිලධාරීන් විසින් සිවිල් රාජ්‍ය සේවාවන් තුළට මිලිටරි ආධිපත්‍යවාදය ගෙන ඒමයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තම කැමැත්ත පරිදි රජය ගෙන යාමට කදිම අවස්ථාවක් කොවිඩ්-19 අර්බුදය විසින් නිර්මාණය කර දී තිබේ. ජාත්‍යන්තර තත්වය විසින් මෙන් ම, රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඇඳිරි නීතිය විසින් ද ආර්ථිකයට සිදුකර තිබෙන හානිය හමුවේ රට ඇත්තේ කඩා බිඳ දමන ලද තත්වයක ය. නායකයකුට අවශ්‍ය නම් කිසියම් දැක්මක් මත පදනම්ව එය නැවත ගොඩනැගීමට මුලපිරිය හැකි ය.

කෙසේ වෙතත්, රට නැවත ගොඩනැගීම නිකම් කළ හැකි වැඩක් නොවේ. ඒ සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්නට නම් ඕනෑ තරම් මිනිසුන් සිටිති. ඔහුට ඡන්දය දෙන්නට මූලික හේතු වන්නේ ඔහු විස්කම් බලයකින් රට හදනු ඇතැයි පවතින අන්ධ විශ්වාසය, සුළු ජාති විරෝධය හා සිංහල මහ ජාතිවාදයයි.

එහෙත්, රට නැවත හදන්නට ප්‍රධානතම බාධකය ද රාජපක්ෂවරුන්ගේ ආධාරක බලඇණියයි. මූලිකව ම ඔවුන් දේශපාලක, නිලධාරි හා ව්‍යාපාරික සොරුන් පරමාදර්ශ ලෙස සලකන පිරිසකි. අඩුවෙන් වැඩ කර වැඩියෙන් ඉපැයීමේ ඉක්මණින් ධනවත් වීමේ හාස්කම් සොයන පිරිසකි. මහන්සි වී වැඩ කිරීමට අකැමැති ය. විනයක් නැත. සරල උදාහරණයක් ලෙස රජයේ සේවකයන් සැලකිය හැකි ය. ඔවුන්ගෙන් අති බහුතරය පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභයට ඡන්දය දුන් හ. කොරෝනා වයිරසයට හා ආණ්ඩුවට පින් සිදුවන්නට ඔවුන් අතරින් වැඩි පිරිසක් මේ දිනවල ඉන්නේ පඩි පිට නිකම් ය. ඒ තත්වය දිගටම පවත්වාගෙන යාමට ඔවුන් කැමති ය. ඇඳිරි නීති ඉවත් කළ දිස්ත්‍රික්කවල වෙළඳපොළ, පෞද්ගලික ආයතන පමණක් නොව රජයේ ම රෝහල් වැනි තැන් පවා මේ වන විට සාමාන්‍ය තත්වයට පත් වී ඇතත්, බොහෝ රාජ්‍ය ආයතන තවමත් අඩපණ ය.

එහෙම තිබියදීත්, ගෙදර නිකම් සිට ගත් පඩියෙන් කොටසක් හෝ රජයට දෙන්නැයි ජනාධිපතිවරයා තම ලේකම් මගින් රජයේ සේවකයන්ගෙන් කරන ලද ඉල්ලීමට කිසිවෙකු සාධනීය ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

ලක්ෂ 14ක් වන රජයේ සේවය මේ රටේ මහජනයා සූරාකන ප්‍රධාන ම අංශයයි. පසුගිය සතියේ රජය ආහාර ද්‍රව්‍ය රැසකට අධික ලෙස බදු පැනවූයේ ද ප්‍රධාන වශයෙන් ම රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා මුදල් සොයාගන්නට ය. මේ රජයේ සේවකයන් බහුතරය නිසි මහජන සේවයක් සපයන්නේ ද නැත. එපමණක් නොව, තම වරප්‍රසාදවලට අභියෝගයක් එල්ල වන ඕනෑම අවස්ථාවකදී ඔවුන් තම අංශය අක්‍රිය කරන වර්ජනවලට පසුබසින්නේ ද නැත. ලංකාවේ සංවර්ධන මාවත හරහා වැටී තිබෙන ලොකුම අඩය එයයි. විශේෂයෙන් ම දේශීය හා විදේශීය ආයෝජන, ව්‍යවසාය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආදිය සම්බන්ධයෙන් අකාර්යක්ෂම රාජ්‍ය අංශය විසින් දැවැන්ත අවහිරතා හෙවත් බොට්ල්නෙක් රැසක් නිර්මාණය කරයි.

රාජ්‍ය සේවකයන්ට ද ගැටලු තිබේ. උදාහරණයක් ලෙස, රාජ්‍ය අංශය පාලනය වන ආයතනික රෙගුලාසි හා මුල්‍ය රෙගුලාසි දශක ගණනාවකින් සංශෝධනය කර නැත. ඒවා යල්පැන ගොසිනි. එතැනින් පටන් ගෙන රාජ්‍ය අංශයේ දැවැන්ත ප්‍රතිසංස්කරණයක් හා විනයගත කිරීමක් නොකර කිසිදු ආණ්ඩුවකට ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධන මාවතකට තල්ලු කළ නොහැකි ය.

යහපාලන ආණ්ඩුව මෙම තත්වය අවබෝධ කරගෙන තිබුණු මුත්, ඔවුන්ගේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රවේශය තුළින් ඔවුන්ට විසඳුම් සොයාගැනීමට බැරි විය. එපමණක් නොව, අවුලක් ද නිර්මාණය විය.

ගෝඨාභය රාජපක්ෂ යනු එක පැත්තකින් මේ රටේ අවාසනාවන්ත ම පාලකයායි. ඔහු හමුවේ තිබෙන අභියෝගය සුළුපටු නොවේ. එසේම, ඔහු තවත් පැත්තකින් වාසනාවන්තයෙකි. රට හදන්නට අලුත් අවස්ථාවක් ඔහු ඉදිරියේ තිබේ. මෙවැනි අවස්ථාවක් ඔහුගේ සහෝදරයා අතින් ගිලිහී ගියේ ඔවුන්ගේ පවුලේ ම තිබෙන මජර නැහැදිච්ච ගති නිසා ය. ඒ පවුලේ සෙසු අයට නැති දැක්මක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තිබේ යයි ඇතැමෙක් විශ්වාස කරති. එසේම වේවා යි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

ජනාධිපතිවරයා ඉදිරියේ ඇත්තේ සෙල්ලමක් නොවේ. ඔහු පළමුකොට ම මේ රටේ රාජ්‍ය නිලධාරීන් හා මහජනයා විනයගත කරගත යුතු ය. සංඝයා විනයගත කරගැනීම ඊටත් වඩා අමාරු ය. ඒ වෙනුවෙන් ජනප්‍රිය ක්‍රියාමාර්ග නැත. ජනප්‍රියවාදයෙන් කරන්නට පුළුවන් කිසිවක් මේ රටේ මේ මොහොතේ නම් ඇත්තේ ම නැත.

මේ අතර, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවෙන් පවා ඉවතට තල්ලු කර දමන ලද විපක්ෂය නිකම් ඉන්නේ ද නැත. රනිල් වික්‍රමසිංහ වෙනුවට සජිත් ප්‍රේමදාස ඉදිරියට ඒම යනු ලංකාවේ බහුතරයක් වන අපතයන්ට එල්ලෙන්නට අලුත් වැලකි.

කෙටියෙන් කියනවා නම් සෑහෙන්න බොන්නට වෙනවා ඇත. කපා ගත්තා නම් ඉතින් කරගහගන්නා එක ය. අප නම්, ආණ්ඩු පෙරළන්නට කිසිදු සහායක් දෙන්නේ නැත. අප වැඩ කරන්නේ සැබැවින් වැඩ කරන ජනතාව හා ව්‍යවසායකත්වය ශක්තිමත් කරන විපක්ෂයක් වෙනුවෙන් පමණි.

2 thoughts on “ආණ්ඩුවේ අලුත් යුද උන්මාදය හා ඉදිරි අභියෝග

  1. රාජ්‍ය සේවකයන් බහුතරයක් වැඩ නොකරන්නේ යයි කීම සමග මම එකඟ නොවෙමි එහෙත් සියයට 20 ට අඩු සංඛ්‍යාවක් වැඩ නොකරන බව ඇත්තය ඊට එක හේතුවක් වන්නේ ඔවුන් බේරා ගන්නට දේශපාලන බලධරයන් සුදානම් නිසාය . තවත් පිරිසක් නිකම් සිටින්නේ ඔවුන්ට කරන්නට රාජකාරියක් නැති නිසාය එයට වැරදි කරුවාද දේශපාලකයොය අබර්තු නැතිව තිබියදී ආයතනවලට ඔවුන් පත් කිරීම ඊට හේතුවයි

  2. Pawathina yatharthaya niyameta pehedili karamin idiripathkiriemaki . Siyallo kiyaviyayuthya . Adu tharamin kiyawannahu ehi karunu manaawa grahanayakota heki pamana thamange sahurdha samajamaya awakaasayan thula sanwaadayata lakkaramin samaajagatha kiriema maha pinak menma yuthukamak yai mama sithami .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.