Asath Salley

අජිත් පැරකුම් ජයසිංහ

බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මාස අටක පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට පසුගිය දෙසැම්බර් 2දා නිදහස ලැබීය. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ 2021 මාර්තු මස 09 වනදා කොළඹදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

“අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ හදිසියයි හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ” යනුවෙන් ප්‍රකාශයක් ඔහු සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව 2021 ජූනි 23දා ගොනුකරන ලද අධි චෝදනා පත්‍රයේ සඳහන් විය.

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකරන ලද අධි චෝදනාවෙන් අසාත් සාලි නිදොස්කොට නිදහස් කරන ලදී. එහෙත් ඒ වන විට ඔහු මාස අටකට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවිය.

අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුවේ විමල් වීරවංශ ඇමතිවරයා නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණෙන් පාර්ලිමේන්තු පැමිණි මොහමඩ් මුසම්මිල්, ගාමිණී වලේබොඩ හා නිමල් පියතිස්ස යන මන්ත්‍රීවරුන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුවය. ඔවුන් විසින් සිය පැමිණිල්ල සඳහා පදනම් කරගනු ලැබුවේ හිරු හා දෙරණ රූපවාහිනී නාලිකා විසින් විකාශය කරන ලද අදාළ පුවත්පත් සාකච්ඡාවේ සංස්කරණය කරන ලද කොටස්ය.

පුද්ගලයන් විසින් කරනු ලබන ප්‍රකාශවලින් උපුටාගත් කොටස් සංදර්භයෙන් වෙන්කර විකාශය කරමින් වෙනස් අර්ථ මතුකිරීම රූපවාහිනී නාලිකා විසින් මෑත කාලයේදී බහුලව සිදුකරනු දැකිය හැකිය. ඇතැම් විට, කිසියම් අරමුණක් උදෙසා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකින් පසු අදාළ නැති ප්‍රශ්නයක් අසා එම ප්‍රශ්නයට දෙන පිළිතුරට මුල්තැන දී විකාශය කිරීම ද බොහෝවිට සිදුවේ. මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ තැකීමකින් තොරව, මත ප්‍රචාරණය හෙවත් ප්‍රොපගැන්ඩා වෙනුවෙන් සිදුකරන මෙවැනි ක්‍රියා සමග මාධ්‍ය කෙරෙහි විශ්වාසය පලුදුවී ගොස් තිබේ.

මෙවැනි මාධ්‍ය වාර්තා මත පදනම්ව විශ්ලේෂණ සිදුකිරීමටත් වඩා බරපතල තත්වයක් වන්නේ ඒවා පදනම් කරගෙන පොලිසියට පැමිණිලි ද කිරීමයි. මෙම පැමිණිල්ල නිසි පරිදි විභාග කළා නම්, මෙම නඩු පැවරීම සිදුවන්නේ නැත. එහෙත්, හොරාට කලින් කෙසෙල්කැන වැට පනින්නාක් වැනි නඩු පැවරීමක් සිදුවිය.

අසාද් සාලි අන්තවාදීන් සමග සම්බන්ධතා පවත්වා ඇති බව නීතිපතිවරයා තහවුරු කරගෙන තිබෙන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර සාලි විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකරන ලද දිනය ආසන්න දිනකදී මාධ්‍යයට ප්‍රකාශ කළේය. එහෙත්, පැමිණිල්ල විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, අසාද් සාලි අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. සාලි අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිපති උපදෙස් මතය. උත්ප්‍රාසාත්මක කරුණ වන්නේ නඩු පැවරීමෙන් මාස දෙකකට පමණ පසු අගෝස්තු 17දා පොලිසිය විසින් අධිකරණයට වාර්තා කළේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය අවසන් කර ඇති බව හා අසාද් සාලි අන්තවාදීන්ට අනුබල දුන් බවට සාක්ෂියක් සපයාගැනීමට අසමත් වූ බවයි. ඊට පෙර ජූනි 23දා නීතිපතිවරයා විසින් සාලිට එරෙහිව අධි චෝදනා ද භාරදී තිබිණි.

අවසානයේදී සිදුවූයේ කුමක්ද? මුස්ලිම් පෞද්ගලික නීතිය සහ අනෙකුත් නීති සම්බන්ධයෙන් ද ඔහු සාකච්ඡා කර තිබෙන බවත්, පැමිණිලිකරුවන් සඳහන් කළ ආකාරයට මාධ්‍ය සාකච්ඡාව තුළින් එදිරිවාදී හැඟීම් ඇතිවෙනවාදැයි අධිකරණය සලකා බැලූ බවත්, මුස්ලිම් පෞද්ගලික නීතිය ව්‍යවස්ථාදායකයෙන් ඉදිරිපත් කර ඇති දැනටත් ක්‍රියාත්මක වන නීතියක් බවත්, එය ස්වේච්ඡාවෙන් සංශෝධනය කිරීමට චූදිත විරුද්ධත්වය දක්වා ඇති බවත් සඳහන් කරන මහාධිකරණය, ආගම් හෝ ජාතීන් අතර වෛරී හා එදිරිවාදී හැඟීම් ඇති වන කිසිවක් එම මාධ්‍ය හමුවේදී චූදිත ප්‍රකාශ කර නැති බව හැඟී යන බවත් තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ප්‍රකාශ කළේය.

එම තීන්දුව ලබාදෙන්නේ සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවේදී පළවූ අදහස් විශ්ලේෂණය කරමින් බව මහාධිකරණය විසින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, ‘ආගමික කණ්ඩායම් සහ ජාතීන් අතර වෛරී සහ එදිරිවාදීහැඟීම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කළා යයි චෝදනා එල්ල කර තිබුණත්, ඔහුගේ සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පරීක්ෂා කිරීමේදී එවැනි හැඟීමක් ඇතිවන ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ,’ යි තීන්දුවේ සඳහන් වේ. මේ සම්බන්ධ මූලික විමර්ශන නිසිපරිදි සිදුවී නම්, අධිකරණයේ වටිනා කාලය ඒ වෙනුවෙන් වැය කිරීමට අවශ්‍ය වන්නේ නැත. එසේම, නිර්දෝෂී පුද්ගලයකු අසාධාරණ අන්දමින් සිරගත කර තැබීමක් සිදුවන්නේ ද නැත. පැමිණිලිකරුවන්ට අධිකරණයේ පෙනීසිටින්නැයි නොතීසි නිකුත් කිරීමට අවශ්‍ය වන්නේද නැත.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තියට අනුව, අත්අඩංගුවට ගැනීමට හේතු වූ පුද්ගලයන්ට අගතියක් වූ විට අධිකරණය මගින් සුදුසු යැයි සිතන පරිදි වින්දිතයාට වන්දි ලබාදිය හැකි අතර, පැමිණිල්ලේ නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ ඉල්ලීම අනුව පැමිණිලිකරුවන්ට 2022 පෙබරවාරි 21දා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස අධිකරණය විසින් නිකුත් කරන ලදී. මෙහිදී මතුවන ගැටලුව වන්නේ මාධ්‍ය වාර්තා මත පදනම්ව මෙම පැමිණිල්ල සිදුකිරීම වරදක්ද යන්නයි. ඔවුන් බොරු පැමිණිල්ලක් සිදුකර ඇති බවක් මාධ්‍ය වාර්තා අනුව නොපෙනේ. පැමිණිලි කරන පුද්ගලයන් සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවම දැක තිබීම අත්‍යවශ්‍ය නැත. පැමිණිලිකරුවන් ඉල්ලාසිටින්නේ මේ පිළිබඳ විමර්ශනය කර නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

පොලිසිය විසින් කරන ලද විමර්ශනය අනුව අසාද් සාලි අත්අඩංගුවට ගැනීම සඳහා සාක්ෂි නොමැති බව මුලදීම කියැවිණි. එහෙත්, නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියේ මතය පිළිගත්තේ නැත. නීතිපති දෙපාර්තමේන්තුව කළ විමර්ශනය කුමක්ද? අවසානයේ අධිකරණය පිළිගත්තේද පොලිසියේ මතයයි. වරද කාගේද? පැමිණිලිකරුවන්ගේද?

‘අපරාධ නඩු සහ නීතිපති මැදිහත්වීම’ යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් පසුගිය ඔක්තෝබර් මාසයේදී පවත්වන ලද සංවාදයකදී නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 22ක් සේවය කළ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා විසින් දක්වන ලද පහත දැක්වෙන අදහස් මෙහිදී අදාළ වේ (උපුටාගැනීම https://medialk.com/archives/6428). “රටේ බරපතළ අපරාධයක් කළාම ඒ අපරාධයට නඩු පවරන්නෙ මහාධිකරණයේ. නීතිපතිවරයා විසින් තමයි ඒක කරන්නෙ. අදාළ අපරාධය ගැන පරීක්ෂණ කරලා ඉවර වෙලා, පොලිසිය විසින් ඒ ගොනුව නීතිපතිවරයා වෙත එව්වම ඒකෙ තියෙන කරුණු සලකලා, අඩුපාඩු තියෙනවා නම්, තවදුරටත් විමර්ශන කරන්න කියලා දැනුම් දීලා, ඒ සියල්ල සම්පූර්ණ කළාට පස්සෙ තමයි, අධිචෝදනා ගොනු කරන්නෙ. ඒ අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කළාට පස්සෙ පැමිණිල්ල මෙහෙයවන්නෙ නීතිපතිවරයාගේ නියෝජිතයෙක්. අපි හිතමු, මම වින්දිතයෙක් නම්, මා වෙනුවෙන් යම් නඩුවක් මෙහෙයවනවා නම්, නීතියෙන් මට අයිතියක් නෑ, මට අවශ්‍ය නීතිඥ මහත්තයව ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන්න. ඒ වගකීම නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ගෙ අතට ගන්නවා.”

ඒ අනුව වරද කර තිබෙන්නේ කවුරුද?

ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා විසින් පළකරන ලද පහත දැක්වෙන අදහස ද මෙහිදී වැදගත්ය. “විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සෙ රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න තියෙන ඉඩ යම්කිසි හානිදායක තත්ත්වයකට පත්වුණා. යම්කිසි රාජ්‍ය නිලධාරියෙකුට ස්වාධීනව තීන්දු තීරණ ගන්න තිබුණු ඒ කොඳු නාරටිය හතරට කඩලා ඉවරයි. නීතිපති දෙපාර්තමේන්තුවෙ ඉන්න නිලධාරීනුත් අධිකරණවලට පත්වීම් ලබාගන්න කැමැත්තෙන් ඉන්නවා. ඒකෙ වැරැද්දක් නෑ. නීතිපති දෙපාර්තමේන්තුවෙ දීර්ඝ කාලයක් වැඩ කරන අය, ඊට පස්සෙ අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් ලෙස පත්වීමේ කැමැත්තකින් ඉන්නවා. දැන් ඒ පත්වීම් පිළිබඳ තීන්දුව ගන්නෙ තනි පුද්ගලයෙකුගේ කැමැත්ත මත. එක දේශපාලනඥයෙකුගෙ තීන්දුවකට අනුව. ජනාධිපතිතුමාගෙ තීන්දුව මත. ඒ වගේ වටපිටාවක් හැදුවට පස්සෙ රාජ්‍ය සේවකයට ස්වාධීනව තමන්ගෙ රාජකාරිය කරන්න පුළුවන් වටපිටාවක් අපි ඇති කරලා දීලා තියෙනවද කියන ප්‍රශ්නය මතුවෙනවා.”

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: