අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2021-12-24

ජාතික ජන බලවේගයේ ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය වත්මන් අර්බුදයට විසඳුම් සාකච්ඡා කිරීමේදී ගැඹුරින් සලකා බැලිය යුතු ප්‍රකාශනයකි. ලංකාවේ තත්වය විග්‍රහ කරමින් එහි පූර්විකාවේ දැක්වෙන පහත දැක්වෙන ප්‍රකාශය තුළ එම බලවේගයේ හා එහි ප්‍රධාන බලවේගයක් වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවේශය කැටිකොට දැක්වේ යයි සිතිය හැකිය.

“අප පමණක් නොව මුළු ලෝකයම පාහේ මෙම තත්වය අත්දකිමින් සිටියි. ලෝකයේ ආර්ථීකය වර්ධනය වැඩි වී ඇතත්, ඒ හා සමානව අසමානතාවයද වර්ධනය වී ඇත. පෘථීවියට දරා ගත නොහැකි ලෙස එහි පරිසරය විනාශ වී ඇත. මේ නිසා ලෝකයම වෙනස් දිසාවකට යොමුවෙමින් පවතී. වඩා සාධාරණ, සානුකම්පික හා මානුෂීය ලෝකයක් අප විසින් ගොඩනගා ගත යුතු බව බොහෝ දෙනා අද විශ්වාස කරති. පහසු කටයුත්තක් නොවුණත්, එම වෙනස කරා පියවර කිහිපයක්වත් තැබිය යුතු බව අපි විශ්වාස කරමු. ලෝකය පුරා එවන් විශ්වාසයක පිබිදීමක් ඇතිවෙමින් පවතී.”

ඒ සඳහා ‘මේ වැරදි සමාජ ආර්ථීක ප්‍රතිපත්තිවල ගැඹුරු හා පුළුල් වෙනසක් වෙනුවෙන් අපි පෙනී සිටිය යුතු බව’ එහි දැක්වේ. සුපුරුදු ලෙසම ‘එම වෙනස අත්පත් කර ගැනීමට සමත් දේශපාලන ව්‍යාපාරයක් සමඟ එකට එකතු විය යුතු බව’ පවසමින් ජාතික ජන බලවේගය නියෝජිත සමුළුවක් පැවැත්වූ අතර එමගින් එම සංවිධානයේ අභ්‍යන්තරය නියෝජනය වන ආකාරය පිළිබඳ යම් චිත්‍රයක් සමාජයට ලබාදුන්නේය. 

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයනය සමාජවාදී ප්‍රතිපත්තියක් මත පදනම් වූවක් නොවේ. එය ශ්‍රී ලංකාවේ පවත්නා ධනේශ්වර ක්‍රමයට යම් යම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධන යෝජනා කරයි. ඒ අතර අතිශය රැඩිකල් යෝජනා නැත. බොහෝ යෝජනා මින් පෙර විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සාකච්ඡාවට ලක්වූ ඒවායි. එහි වැදගත්කම වන්නේ එම ප්‍රතිපත්ති ජාතික ජන බලවේගය වෙතින් ඉදිරිපත් වීමයි.

ජාතික සැලැස්මක් සැකසීම හා එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත සූදානම් කිරීම අවශ්‍ය බව දක්වන එම ප්‍රතිපත්ති ප්‍රකාශය ‘රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළින් සෑම පුරවැසියෙකුටම රට ගොඩනැගීමේ සාමූහික කාර්යට උරදීමට අවස්ථාව සැලසීම’ අවශ්‍ය බව පවසයි.

ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛතාව දිය යුතු බව පවසන එය දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනය කිරීම අධෛර්යවත් කිරීමට යෝජනා කරයි. අනයනයේදී අගය එකතු කිරීමේ අවශ්‍යතාව පෙන්වාදෙන ජාතික ජන බලවේගය විදේශ ආයෝජන අගය කරයි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් එය ප්‍රධාන නාවුක සේවා සැපයීම් මධ්‍යස්ථානයක් බවට පත්කිරීම තවත් වැදගත් ඉලක්කයකි. එසේම සංචාරක කර්මාන්තය නැංවීම කෙරෙහි ද අවධානය යොමුකරයි.

දැනට රට මුහුණදී සිටින බරපතලම ගැටලුව වන විදේශ ණය ප්‍රශ්නය විසඳන ආකාරය පිළිබඳ පසුව විස්තරාත්මක ලේඛනයක් ඉදිරිපත් කරන බව පවසමින් ජාතික ජන බලවේගය යෝජනා කරන්නේ ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යූහගත කිරීමයි. එය වනාහි අමුතු යමක් නොවේ. ණය දුන් ආයතන සමග සාකච්ඡා කර ණය ආපසු ගෙවීම සඳහා කාලය දීර්ඝ කරගැනීමයි. නැතිනම්, ණය අලුත් ණයක් බවට පත්කරගැනීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමේ යෝජනාවක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි අඩංගු වන්නේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවධාරණය කරනු ලබන්නේ දැඩි රාජ්‍ය මූල්‍ය විනයක් පවත්වාගැනීම මිස අමුතු යමක් නොවේ. ඒ අනුව, රජය ආදායම් ඉහළ නංවාගත යුතුය. වියදම් අඩු කරගත යුතුය. ආදායම් ඉහළ නංවාගන්නට නම් බදු වැඩිකිරීමට සිදුවේ. වියදම් අවම කිරීමට නම්. දූෂණය හා නාස්තිය අවම කරගත යුතුය. රජය රැකියා විරහිතයන්ට රැකියා දෙන මධ්‍යස්ථානයක් වෙනුවට ඵලදායී මහජන සේවයක් බවට පත්කළ යුතුය. සහනාධාර නිසි ලෙස ඉලක්ක කර අවශ්‍ය අයට ලබාදිය යුතුය. ධනවතුන්ට සහනාධාර ලබා නොදිය යුතුය. උදාහරණයක් ලෙස, ඉන්ධනවලට, විදුලියට පොදුවේ දෙන සහනාධාරවලින් වැඩිපුර වාසි ලබන්නේ දිළිඳු ජනතාව නොව ධනවතුන්ය. පොහොර සහනාධාරයෙන් පවා වැඩි වාසි ලැබුවේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් මිස ගොවීන් නොවේ.

ජාතික ජන බලවේගයේ යෝජනා අතර තිබෙන මෙම යෝජනාව වැදගත්ය. “විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට, ව්‍යාපාරිකයින්ට හා ධනවතුන්ට වැඩි වශයෙන් රටට විදේශ විනිමය ප්‍රේෂණය කිරීමට හා අයෝජන කිරීමට අවශ්‍ය විශ්වාසනීය හා විනිවිදභාවය පෙනෙන නව ව්‍යවසායකත්ව ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට අවස්ථා ලබාදීම.” පෞද්ගලික ව්‍යවසාය දිරිගැන්වීම හා ව්‍යාපාර ආරම්භ කිරීම පහසු කිරීම ද, ව්‍යාපාරිකයන් සූරාකෑම වෙනුවට සාධාරණ බදු ප්‍රතිපත්තියක් පවත්වාගැනීම ද මෙහිදී අත්‍යවශ්‍යය. නිකම්ම ඩොලර් 500ක් වැඩිපුර ලංකාවට එවන්නැයි කීමට වඩා මෙය විද්‍යානුකූලය.

වෙළඳපොළ නියාමනය කිරීමේ වැදගත්කම ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි දැක්වේ. ‘සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මය, පශු සම්පත් හා ධීවර ක්ෂේත්‍රය තුළ නිෂ්පාදනය හා ඛෙදාහැරීම සඳහා ජාලගත ව්‍යුහයන් හඳුන්වාදීම’ යනු පැරණි වී අලෙවි මණ්ඩලය, සතොස, සමුපකාර සමිති ආදිය යළි පණගැන්වීම හෝ එවැනි අලුත් ව්‍යාපෘතියක් විය හැකිය.

කෙසේ වෙතත්, ‘මහජන දේපොළ ගසා කෑ මංකොල්ලකරුවන් විධිමත් අධිකරණ ක්‍රියාවලියක් මගින් දණ්ඩනයට යටත් කොට එම දේපොළ මහජන සේවාවන් දියුණු කිරීම සඳහා භාවිත කිරීම’ සිදුකළ යුත්තේ පරිස්සමෙනි. මන්ද, කූට දේශපාලකයන් විසින් මෙම වංචනික ක්‍රියා සිදුකර තිබෙන්නේ ව්‍යාපාරික ජාලයක් සමග ඒකාබද්ධව තමන්ගේ ඇඟ සියුම් ලෙස බේරාගනිමිනි. මෙහිදී ව්‍යාපාරිකයන්ට ඇතැම්විට යම් සහනයක් දීමට සිදුවිය හැකිය. එහෙත්, දේශපාලකයන්ට ඒ සමාව නොදිය යුතුය. විධිමත් අධිකරණ ක්‍රියාවලියකටත් වඩා වැදගත් වන්නේ විධිමත් විමර්ශන ක්‍රියාවලියකි. විමර්ශනයන්ගේ සිදුරුවලින් රිංගා යාමට ඉඩ නොදිය යුතුය.

සමාජ ආරක්ෂණය වෙළඳ භාණ්ඩයක් ලෙස නොසලකමින් ජාතික සැලැස්මක් මත පෞද්ගලික අංශයද සහභාගි කරගනිමින් කටයුතු කිරීමට ආණ්ඩුව මූලිකව ක්‍රියාකරනු ඇති බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වේ. පෞද්ගලික අංශය කෙරෙහි දක්වන මෙම අවධානය සමාජවාදී ධාරාව තුළ දක්නට ලැබෙන කැපීපෙනෙන ලක්ෂණයකි.

අධ්‍යාපන පෞද්ගලීකරණය සම්බන්ධයෙන් මෙම ධාරාවේ තිබුණු ආන්තික විරෝධය වෙනුවට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ‘රාජ්‍ය හා පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල පශ්චාත් උපාධි අධ්‍යාපනය නියාමනයට පියවර’ ගන්නා බව දැක්වීම ද තවත් කැපීපෙනෙන ලක්ෂණයකි.

විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට වගකියන කැබිනට් මණ්ඩලයක් සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක්, පාර්ලිමේන්තුව විසින් තෝරාගනු ලබන ජනාධිපතිවරයෙක් සහිත අගමැති ප්‍රමුඛ කැබිනට් ආණ්ඩුක්‍රමයක් ජාතික ජන බලවේගය යෝජනා කරයි.

මහජන නියෝජිතයන්ට ලබාදී තිබෙන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හා මහජන නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය ජනතාවට ලබාදීමට ද ජාතික ජන බලවේගය යෝජනා කරයි. වාහන ලාංකික පාරිභෝජනවාදයේ ගැටලුවක් වී තිබේද යත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොදු වාහන සංචිතයක් නිර්මාණය කරන බව ද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම දැක්වේ. එය පවත්නා තත්වය කෙරෙහි වඩා වාස්තවික ආකාරයෙන් මැදිහත්වීමේ යෝජනාවකි.

‘බලය විමධ්‍යගත කෙරෙන නව ක්‍රමවේදයක් සහිත පාලන ව්‍යූහයක් හඳුන්වාදීමට කටයුතු කිරීම හා එතෙක් පළාත් සභා විධිමත් හා කාර්යක්ෂම ආයතන බවට පත්කිරීම’ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම ධාරාවේ වඩා ඉදිරිගාමී ප්‍රවේශයකි.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ස්ත්‍රීන් සම්බන්ධයෙන් ඉතා සාධනීය ප්‍රවේශයක් දක්නට ලැබේ. සුළුතර ලිංගික ප්‍රජාවන්, වැඩිහිටියන්, ආබාධ සහිත ජනයා වැනි සමාජ කණ්ඩායම් කෙරෙහි ද අවධානය යොමුකර තිබේ.

එහෙත් එහි රාජ්‍ය සේවය විශේෂකොට අදහස් දැක්වීමක් සිදුවන්නේ නැත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමෙන් 77%ක්ම වියදම් කරන්නේ රාජ්‍ය අංශය නඩත්තු කිරීම සඳහාය. රටේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න අතරින් බහුතරයකට හේතුව වන්නේ රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාවයි. රාජ්‍ය සේවය ඵලදායී කිරීමේ අභියෝගය කෙරෙහි පවත්නා අර්බුදයට විසඳුම් සොයන කවර පාර්ශ්වයක් වුව ද අවධානය යොමුකළ යුතුය. කවුරු බලයට පත් වුණත්, රජය කරවන්නේ ලක්ෂ 14ක් පමණ වන රාජ්‍ය සේවකයන් හා තවත් ලක්ෂ දෙකක් පමණ වන රාජ්‍ය ව්‍යවසායන්ගෙ සේවකයන් විසිනි.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට හමුදා නිලධාරීන් පවා යොදවා අත්හදා බැලීම් කර හමාරය. එහෙත් අසාර්ථකය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පසුගිය දෙවසරක කාලය තුළ හමුදා නිලධාරියකු ඇතුළු ලේකම්වරුන් හතරදෙනෙකු පත්කරන ලදී. රාජ්‍ය සේවය අයාලේ යන්නේ යයි සිතා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හඳුන්වා දුන් ඇතැම් ප්‍රතිපත්ති නිසා මේ වන විට රටේ ආහාර අර්බුදයක් ද නිර්මාණය වී හමාරය. රටේ විධායකය හෙවත් ආණ්ඩුවත්, රාජ්‍ය සේවයත් අතර මනා අවබෝධයක් හා එක්සත්ව එක්සිත්ව උරදීමක් නොමැතිව සෙවිය හැකි විසඳුමක් නැත.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීම සඳහා මෙතන ක්ලික් කරන්න

1 thought on “අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්

  1. Arunu ekai munuth ekai kiya kiya nethuwa netta deparande gahan inethuwa Maalimawa ( JVP ) ta balaya denu misa , hiti ewun ho inna ewun palak netha .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: