Anura Kumara Dissanayake

අනුරගේ සටන වැඩසටහන ගැන අදහසක්

අනුරලා පොඩි බෙලි කටුවක සීරුවෙන් හැදෙන මුතු

අජිත් පැරකුම් ජයසිංහ

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉතා දක්ෂ සන්නිවේදකයකු බවට විවාදයක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉදිරිපත් වුණා නම් ඔහු ඉතා පහසුවෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට ඉඩ තිබෙනවා.

Translations by Creative Content Consultants

හැබැයි, මෛත්‍රීපාල සිරිසේනත් අති දක්ෂ සන්නිවේදකයෙක්. කතාවක් පවත්වන විට ටෙලිප්‍රොම්ප්ටර් නැතුව රේඩියෝ නිවේදකයකුට වඩා හොඳින් එම කාර්යය කරන්නට ඔහුට පුළුවන්. හැබැයි මෙලෝ විචාරාත්මක, ප්‍රගතිශීලී දැක්මක් ඇතිබවක් පෙනෙන්නෙ නැහැ.

අනුර වෙනස් වෙන්නෙ එතැනදීයි. ඔහුට දැක්මක් තිබෙනවා. හැබැයි අනුරගේ ගැටලුවත් ඒ දැක්ම ම තමයි. ඒක පුළුල් කරගන්නට අමාරු වෙන්නේ ඔහු නායකත්වය දෙන බලවේගය නිසා. දැන් හැබැයි ඒ බලවේගය පුළුල් වෙමින් තිබෙනවා. දැක්මත් පුළුල් වේවි අනාගතයේදි.

අනුරගේ සටන වැඩසටහනේ අගහරියෙදි ඔහු තමන් පසුපස සිටින මේ පුළුල් බලවේගය විවෘත කරනවා. ඒ බලවේගයට තමන්ගෙ පාලනයක් තුළ ලැබෙන බලය ගැන කතාකරනවා. පුළුල්බව පිළිබඳ මේ සාකච්ඡාව තව ඉදිරියට යා යුතුයි. සියල්ලන් ඇතුළත්කරගන්නාසුළුබව කියන්නේ පුළුල්බව ඉක්මවා ගිය තත්වයක්. ජවිපෙට තවම එතැනට එන්නට බැරි වෙලා තිබෙනවා.

ජවිපෙ හා ජාතික ජන බලවේගය මොන තරම් සැලසුම් හැදුවත් එය සන්නිවේදනය වෙන්නෙ ජවිපෙ වෙනුවෙන් අන්ධ භක්තිකයන් ලෙස කඩේ යන අවිචාරශීලී පිරිසක් අතින් වීම තමයි ජවිපෙට මේ වතාවෙත් පිම්මක් පනින්නට බැරිවුණොත් එයට හේතුව.

අනුරගේ සටන වැඩසටහන ගැන වුණත් භක්තිමත් වන්දනා ගාථා මිසක් විචාරාත්මක ප්‍රතිචාරයක් මේ බැතිමතුන් වෙතින් පළවෙනවා දැක්කෙ නැහැ. විවේචනයක් දැක්ක ගමන් පන්න පන්නා පහර දෙන අය තමයි වැඩිපුර ඉන්නවා පෙනෙන්නෙ.

සටන ගැන තවත් අදහසක් කියනවා නම්, අනුර දක්ෂ ලෙස දැනුම ඉදිරිපත් කරනවා. විශේෂයෙන් ම දක්ෂ ලෙස සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනවා. එය සජිත්ට හෝ ගෝඨාභයට කිසි සේත් කළ නොහැකි දෙයක්. එහෙත්, ඒකෙන් හදන්නෙ මැජික් එකක්. ඔහු මිනිසුන් විස්මයට පත් කරනවා. අනුර මාරයි, අපි මොකුන්ද කියා හිතෙනවා. විජේවීර සම්බන්ධයෙනුත් ගොඩනැගුනෙ මේ කැරිෂ්මාව ම තමයි. හැබැයි, මං ඒක මැජික් එකක් ය කියලායි කියන්නෙ. සංදර්ශනයෙන් පිටතදී මැජික්කාරයන්ට වෙන දේම තමයි අනුරටත් ජනාධිපතිවරණෙදි බොහෝ විට වෙන්නෙ.

මේ මැජික් එක යථාර්ථය බවට පත්කරන්නට නම්, දැනුමට හා විග්‍රහයට අමතරව, ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රායෝගික ප්‍රතිපත්ති ඉදිරිපත් විය යුතුයි. ජවිපෙ ගැටලුව තියෙන්නෙ එතන. ජවිපෙ ප්‍රතිපත්තිවල මැජික් එකක් නැහැ. ඒවා අනෙකුත් පක්ෂත් දන්නවා. ක්‍රියාත්මකත් කරන්නට මූලික පියවර තබා තිබෙනවා. උදාහරණයක් විදියට ලංකාවෙ කවුරුත් දන්නවා පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව. ඒත්, ඒක කරන්නට නම් ජනප්‍රිය පාසල් තරගය නැති කළ යුතුයි. සෑම ආණ්ඩුවක් ම මේ ප්‍රශ්නයට විසඳුම් උත්සාහ කර තිබෙනවා. මහින්දෝදය, ළඟම පාසල හොඳම පාසල වැනි ඒවා හොඳ ප්‍රයත්නයන්. හැබැයි, මහජන ආකල්ප තලය ආමන්ත්‍රණය නොකර යටිතල පහසුකම් කොච්චර සංවර්ධනය කළත් ප්‍රශ්නය විසඳෙන්නෙ නැහැ.

නිදසුනක් විදියට, පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් ඕනැ කෙනෙකුට කියන්නට පුළුවන් සෑම සිසුවෙකුට ම රාජ්‍ය අධ්‍යාපනය තුළ ඉඩ සලස්වනවා ය කියලා. ඒත්, මේක ප්‍රායෝගික කරන්නට මේ රාජ්‍ය ක්‍රමයට හෝ මෙය වෙනස් කර වෙන රාජ්‍ය ක්‍රමයක් හැදුවත් ලෙහෙසියෙන් බැහැ. උදාහරණයක් ලෙස, උසස් පෙළ සමත් වන සියලු සිසුන් බඳවාගැනීම සඳහා අවුරුදු සීයක් විතර කාලයක් තිස්සෙ ගොඩනැගුණු අද තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය එක පාරට පස්ගුණයකින් වැඩිකරන්නට මොන සක්කරයටවත් බැහැ. මේවා ප්‍රායෝගික නැහැ.

මෙතෙක් තිබුණු සෑම ආණ්ඩුවක් ම අසාර්ථකයි, අපට විතරයි මේක කරන්නට පුළුවන් කියලා කියන කියමනෙන් ම අනුරලා පෙන්නන්නෙ තමන්ගෙ නොහැකියාව. මෙතෙක් පාලකයන් අසාර්ථකයි කියන එක ප්‍රතිශතයක් ලෙස මිස නිරපේක්ෂව කියන්නට බැහැ. දූෂණය තිබුණත්, නාස්තිය රජ කළත්, අපේ රට මේ වන විට ඉහළ මැදි මට්ටමේ ආදායම් සහිත රටක් බවට පත් වෙමින් තිබෙනවා. ඒ සංවර්ධන දර්ශකවල නිශේධාත්මක පැතිකඩ ම තමයි අනුර ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛනත්. නිදසුනක් ලෙස, ජවිපෙ අධ්‍යාපන ප්‍රතිපත්තියේ සඳහන් වෙනවා 1 ශ්‍රේණියෙන් පාසල්වලට ඇතුළත් වන්නේ දරුවන්ගෙන් 97%ක් පමණයි කියලා. මේක ම මීට අවුරුදු 50කට පෙර තත්වය එක්ක සන්සන්දනය කරලා දැන් 97%ක් ඇතුළත් වෙනවා ය කියලා ආඩම්බරෙන් කියන්නත් පුළුවන්. මේක 100%ක් බවට පත් කරන්නට නම් කළ යුතුව තිබෙන්නේ විශේෂ අධ්‍යාපනය සංවර්ධනය කරන එක. හේතුව, මේ 3% අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අතිවිශාල ප්‍රමාණයක් සිටිනවා. ජවිපෙ අධ්‍යාපන ප්‍රතිපත්තියේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගැන කිසිම සඳහනක් නැහැ. ජවිපෙ අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන්න එකතු වුණ විද්වතුන් මේකට වගකිව යුතුයි.

හැබැයි, මතක තබාගන්න, මේ කරුණු රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලදි අවධානයට ලක්වෙනවා. ඔවුන් විසඳුම් සොයනවා. රජය හා මෙතෙක් සමාජ, දේශපාලන ඉතිහාසය සුළුවෙන් ගන්න එපා. එහි වටිනාකම් රැසක් තිබෙනවා. ඒවා ඉදිරියට ගෙන යාම මිස මකා අලුතෙන් ලිවීම කළ නොහැක්කක්.

ග්‍රාමීය දිළිඳුකම නැතිකිරීමට ජාතික ජන බලවේගයේ සැලැස්ම පැහැදිලි කරමින් ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක සටන වැඩසටහනේදී පැවසූ කරුණුවල හරය වූයේ නවීන තාක්ෂණයෙන් සුළු ගොවිතැන සිදුකිරීමයි. එතැනදී මහා පරිමාණ ගොවිතැන පිළිබඳ නිශේධාත්මක දැක්මක් දක්නට ලැබුණා. මෙහි එතරම් අලුත්බවක් නැහැ. බුද්ධිමත් ගොවීන් දැනටමත් හැකි තරම් දුරට නවීන තාක්ෂණය යොදාගනිමින් ගොවිතැන් කරනවා. ගොවීන්ට මේ රට බොහෝ දේ දී තිබෙනවා. සැබෑ ගොවීන්ට තවත් උදව් අවශ්‍යයි. හැබැයි ගොවීන් ලෙස තමන් හඳුන්වාගන්නා දිළින්දන්ගේ ජීවිත එයින් ගොඩගන්නට බැහැ.

අනුර කතා කළ පසු අස්වනු කළමනාකරණය වැනි කාරණා සම්බන්ධයෙන් දැනටමත් රජය අවධානය යොමු කර තිබෙනවා. කෘෂි ශීතාගාර සංකීර්ණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ඉදිකිරීම රජය පසුගිය මාර්තුවේදී පටන් ගත්තා.

ගොවීන් ඉන්නේ දේශපාලන පක්ෂවලට වඩා ඉදිරියෙන්. ගොවීන් විසඳුම් සොයා යැපුම් හා සුළු ගොවිතැනෙන් ඉවත් වී වෙනත් රැකියා සොයා යනවා. ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන්නට පුළුවන් ලොකු විභවයක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල තිබෙනවා.

වර්තමානයේදී ඉඩම් ප්‍රතිසංස්කරණයක් කියන්නේ තවදුරටත් රජයේ ඉඩම් ගොවීන්ට දීම නෙමෙයි. තිබෙන ඉඩම්වල අයිතිය පිළිබඳ ගැටලුව විසඳිය යුතුයි. එක්සත් ජනපදයේ මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩසටහන යටතේ යෝජනා වුණේ ඒකයි. මේ සම්බන්ධ ගතානුගතික දැක්ම වන්නේ දිළිඳුකම නිසා ගොවියා ඉඩම් විකුණාදැමීමට පෙළඹීමට ඉඩ තිබෙන නිසා ඉඩම් හිමිකම ගොවියාට ලබා නොදිය යුතු බවයි. ජවිපෙ මේ ගැන දරණ අදහස මේ වැඩසටහනෙන් පැහැදිලි වුණේ නැහැ. ඉඩම් නැතුව සැබෑ ගොවීන්ට වගා කරන්නට බැහැ. පුංචි පුංචි ලියදි, ඕවිටි හිමියන් කරන ගොවිතැනේ ඵලදායිතාව අවමයි.

ඉඩම් ප්‍රතිසංස්කරණයකින් තොරව භූමිය ඵලදායී ලෙස භාවිතා කරන්නට බැහැ. කෘෂිකර්මාන්තයේ පරිවර්තනයක් ඇති කරන්නට බැහැ. මහා පරිමාණ වානිජ කෘෂි කර්මාන්තය කෙසේ වෙතත්, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ කෘෂි ව්‍යවසායකත්වයක් නැතුව කෘෂිකර්මාන්තය සංවර්ධනය කරන්නට පුළුවන් ද? ජවිපෙ මේ ගැන දරන අදහස් පැහැදිලි නැහැ.

ප්‍රායෝගික විසඳුම් සොයන්නට වෙන්නෙ මේ තිබෙන රාජ්‍ය පද්ධතියත් එක්කයි. අනුර පොහොර ප්‍රශ්නය ගැන කතා කරනවා. අනෙක් දෙන්නා ආනයනික පොහොර නිකම් හෝ අඩු මිළට දෙන්නට කතා කරද්දි අනුර එප්පාවල පොස්පේට් ගැන කතා කරනවා. එප්පාවල රොක් පොස්පේට් පොහොර ලෙස භාවිතා කරන්නට නම්, ඒවා සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා කරවා විකසනය කර සිංගල් සුපර් පොස්පේට් සෑදිය යුතුයි. කාලාන්තරයක් ම එප්පාවල පොහොර සමාගමේ සභාපතිව සිටියේ පොස්පේට් නිධිය රැකගැනීමට සටන් කළ මහමාන්කඩවල පියරතන හිමියි. රජයට රටේ පොහොර ප්‍රශ්නය විසඳන්නට බැරි වීම ව්‍යූහාත්මක ප්‍රශ්නයක්. ආයෝජන නැතිකම, දූෂණය, නාස්තිය පවා ව්‍යූහාත්මක ප්‍රශ්න. ජවිපෙ මේ ප්‍රශ්න ගැඹුරින් ග්‍රහණය කරගත යුතුයි. මතුපිටින් අතගාලා, රාජ්‍ය නිලධාරීන්, රජයේ සේවකයන්, මහජනතාව හා දිළින්දන් හුරතල් කරලා රට වෙනස් කරන්නට බැහැ.

නොකිව්වාට, ජනතාව හුරතල් කරලා මේක කරන්නට බැරි බව තමයි ගෝඨාභයගෙ ආගමනය තුළ තියෙන්නෙ. ජවිපෙ තවමත් ජනතාව හුරතල් කරන එක ද කරන්නෙ?

අනුරලා ඇත්ත දන්නවා. ඒත්, තමන්ගෙ පසුගාමී අනුගාමිකයන්ට බයයි. ඒ නිසා ප්‍රශ්නවලට යථාර්ථවාදී විසඳුම් යෝජනා කරන්නට බයයි. ව්‍යවසායකයන්ට, ලාභයට, වෙළඳපොළට තියෙන හුඹස් බිය නිසා ජවිපෙ හැමදාමත් බෙලිකටුවල හිරවෙනවා. අනුරලා පොඩි බෙලි කටුවක සීරුවෙන් හැදෙන මුතු විතරක් නොවිය යුතුයි. මුතුවලට පුළුවන් ආභරණ වෙන්න විතරයි.

ප්‍රධාන පක්ෂ දෙකට තියෙන විභවය මොකක්ද කියන එක ජාතික ජන බලවේගයත්, ජවිපෙත්, අනුරත් තේරුම් ගත යුතුයි. ඒවා තිබෙන්නේ පවත්නා ක්‍රමය තුළ ඔවුන් ස්ථානගත වන ආකාරය හේතුවෙනුයි. ඒ නිසා පාලනය සඳහා අවශ්‍ය සම්පත් හා දැනුම ඒකරාශී කරගැනීමේ හැකියාව ඔවුන් අමුතුවෙන් ප්‍රදර්ශනය කරන්නට ඕනැ නැහැ. රාජ්‍යය ඔවුන්ට අනුගතයි. එය පාලනය කරන ස්නායු ටික අල්ලා ගැනීම ප්‍රධාන ධාරාවේ පක්ෂ පහසුවෙන් කරනවා. කොච්චර මොනවා කිව්වත් ජනතාව අතර විශ්වාසය තිබෙනවා ඔවුන්ගේ හැකියාවන් ගැන. දූෂණය ගැන ජනතාව එතරම් සංවේදී නැහැ. මොකද, ජනතාව කියන්නෙත් දූෂිත බලවේගයක්.

මේ සටහනේ අරමුණ ජවිපෙ විනාශ කිරීම නෙමෙයි. මේ ජනාධිපතිවරණයෙන් පසු අප වුණත් ජවිපෙට උදව් කරන්නට හෝ ජවිපෙ ඒකට කැමති නැතිනම් ඡන්දය දෙන්නට හෝ ඉඩ තිබෙනවා. ඒත්, අපි කවදාවත් ජවිපෙ බැතිමතුන් වෙන්නෙ නැහැ. ජවිපෙට වෙනස් වෙන්නට පුළුවන් සාධනීය විවේචන සාධනීය විදියට භාරගන්නට කැමති නම් විතරයි.