Sri Lanka Prime Minister addressing Maldives People's Masjid

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2019 සැප්තැම්බර් 3දා මාලදිවයින් ජනරජයේ මහජන මජ්ලිස් සභාවේදී හෙවත් පාර්ලිමේන්තුවේදී පවත්වන ලද කතාව (මාධ්‍ය වෙනුවෙන් පරිවර්තනය කරනු ලැබුවේ Creative Content Consultants වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ විසිනි)

මා හිතමිත්‍ර මොහොමඩ් නෂීඩ් මහතාණෙනි,

මහජන මජ්ලිස් මන්ත්‍රීවරුනි,

සම්භාවනීය අමුත්තනි,

Sinhala Tamil English Translations and Content Writing

මාලදිවයින් ජනතාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වරප්‍රසාද භුක්ති විඳින සමයක, ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරකු හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගළ කරන අයකු වන මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු කතානායක පදවිය හොබවන සමයක, මාලදිවයින් මහජන මජ්ලිස් සභාව ඇමතීමට ලැබීම මහත් ගෞරවයක්. මට මහජන මජ්ලිස් සභාව ඇමතීමට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ගරු කතානායකවරයාටත් මන්ත්‍රීවරුන්ටත් පළමුවෙන් ම ස්තුති කරනවා.

මාලදිවයින නිදහස ලබාගත් 1965 ජුලි 26දා සිට ම දෙරට අතර තානාපති සබඳතා ආරම්භ කරන ලදමුත්, දෙරට ජනතාවන් අතර සම්බන්ධය සියවස් ගණනක් අතීතයට විහිදෙනවා. මහාවංශයට අනුව මාලදිවයින මහිලාද්වීපිකා ලෙස හැඳින්වුණා. විජය කුමරු සමග පැමිණි පිරිසෙන් කොටසක් එහි පදිංචි වී තිබෙනවා.

අපගේ ජාතීන්ගේ ජනතාව පොදු සංස්කෘතික ලක්ෂණ, ආහාර සහ වාග්විද්‍යාවක් බෙදාහදාගන්නවා. අපගේ භාෂාවන් වන දිවෙහි සහ සිංහල එළු ප්‍රාකෘත යන පොදු මූලයකිනුයි පැවත එන්නේ.

බොහෝ මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාව දෙවන නිවසක්.  අධ්‍යාපනයේදී හා වෛද්‍ය සේවාවන් ලබාගැනීමේදී අප අත්දැකීම් බෙදාහදාගන්නවා. ශ්‍රී ලාංකිකයන් රැසක් මාලදිවයිනේ රැකියා කරනවා. අප සියලු දෙනා ම මාලදිවයිනේ සුප්‍රකට උම්බලකඩ රසවතුන්.

එහෙත් කතානායකතුමනි,

අපගේ පොදුභාවයන් සංස්කෘතියට ආහාරවලට සහ වෙළඳාමට සීමා වී නැහැ. දෙරටේ ම ජනතාව ශක්තිමත් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට ඇපකැප වී සිටිනවා. මාලදිවයිනේ මහජන බලය සහ හිමිකම් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාධරයන් වන ජනාධිපති සෝලිට සහ කතානායක නෂීඩ්ට මගේ සුබපැතුම් පිරිනමනවා. පසුගිය අවුරුදු කීපය තුළ අපගේ රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, සමාජ නිදහස තහවුරු කිරීමටත් ගන්නා ලද ප්‍රධාන පියවර ඔබට පැහැදිලි කිරීමට මා මෙම අවස්ථාව භාවිතා කරනවා.

අප දෙරටෙහි ම, විධායක බලතල හිමි ජනාධිපතිවරයාටයි. එහෙත්, ශ්‍රී ලංකාවේ රජය පාලනය හා මෙහෙයවීම භාර වන්නේ ජනාධිපතිවරයා ද ඇතුළත් කැබිනට් මණ්ඩලයටයි. අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකිව යුතුයි. පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය ඇති මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස පත්කිරීම ජනාධිපතිවරයාට පැවරී තිබෙනවා. ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225න් 122ක් විරුද්ධ වීම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස කටයුතු කිරීම අතුරු තහනම් නියෝගයක් මගින් වැළැක්වීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 2018දී මෙම ස්ථාවරය තහවුරු කළා.

මීට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් ඇමතිවරුන් පත්කිරීමේ අභිමතානුසාරී බලය ජනාධිපතිවරයාට තිබුණා. එය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැණියි. අපගේ ව්‍යවස්ථාවට සිදු කරන ලද 19වන සංශෝධනය මගින් මෙම තත්වය නිවැරදි කරනු ලැබුවා. ඒ අනුව, ජනාධිපතිවරයා ඇමතිවරුන් පත් කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් අනුවයි. මෙමගින් පාර්ලිමේන්තුවෙහිදී ඇමති මණ්ඩලයේ සාමූහික වගකීම ශක්තිමත් කරනු ලැබුවා.

වර්තමානයේදී වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ආණ්ඩුකරණයත්, විධායක ජනාධිපති ක්‍රමයත් සමාන්තරව පවතිනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අප ඇපකැප වී සිටිනවා. එයට හේතුව වන්නේ එම තනතුර හෙබවූ අය විසින් බොහෝ විට එම තනතුර සතු වූ නීතිමය මුක්තිය ද පාවිච්චි කරමින් බලය අපහරණය කිරීමට පෙළඹීමයි.   

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට තිබෙන බලය සීමා කරමින් 19වන සංශෝධනය විසින් පාර්ලිමේන්තුව තවත් ශක්තිමත් කළා. පාර්ලිමේන්තුව තුනෙන් දෙකේ බහුතර ඡන්දයකින් විසුරුවාහැරීමක් ඉල්ලා සිටින්නේ නැතිනම් ජනාධිපතිවරයාට වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවාහරින්නට බැහැ.2018 ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා විසින් එසේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට දරන ලද උත්සාහයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථා විරෝධී බව තීරණය කරනු ලැබුවා.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ගනු ලැබූ තවත් වැදගත් පියවරක් වන්නේ ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය අවුරුදු පහකට සීමාකිරීමයි. කලින් එය අවුරුදු හයක් වුණා.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට පූර්ණත්වයට ආසන්න නීති මුක්තියක් තිබුණා. එය ද 19වන ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සීමා කළා. ඒ අනුව, මූලික හිමිකම් අධිකරණය බලය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ජනාධිපතිවරයාගේ නිල කටයුතු පරීක්ෂා කළ හැකියි. 2018දී පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ද මෙම විධිවිධානය යටතේයි.

19වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වුණේ පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන ලද බරපතල ව්‍යවස්ථා උල්ලංඝනයන් නිසායි. නිදසුනක් ලෙස, 2013දී එවකට අග්‍ර විනිශ්චයකාර වූ ශිරානි බණ්ඩාරනායක ඉවත් කරනු ලැබුවේ විධිමත් දෝෂාභියෝග ක්‍රියාවලියකින් තොරවයි. ඒ හා සමානව, රාජ්‍ය සේවය සහ පොලිසිය දේශපාලනීකරණය ද ඉහළ ගියා. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමෙන් මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කළා. එම ස්වාධීන කොමිෂන් සභා වන්නේ,

  1. ස්වාධීන අධිකරණ සේවා කොමිෂම
  2. ස්වාධීන පොලිස් කොමිෂම
  3. ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂම
  4. මැතිවරණ කොමිෂම
  5. මුල්‍ය කොමිෂම
  6. ජාතික විගණන කොමිෂම

මෙම ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත්කිරීම සිදුවන්නේ ව්‍යවස්ථාදායක සභාව විසින්. අග්‍ර විනිශ්චයකාර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ද පත්කිරීම් අනුමත කරන්නේ ව්‍යවස්ථාදායක සභාව විසිනුයි. වර්තමානයේදී, ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන නම් විකල්ප නිර්දේශ සමග ඔහු වෙත ආපසු යැවී‍මේ හැකියාව ව්‍යවස්ථාදායක සභාවට තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව සමන්විත වන්න් කතානායක, අගමැති, විපක්ෂ නායක, ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු සහ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනෙකුගෙනුයි.

වැඩිදුරටත්, ගරු කතානායකතුමනි,

ආංශික අධීක්ෂණ කාරක සභා හඳුන්වා දීම මගින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කටයුතු ශක්තිමත් කරනු ලැබුවා. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආංශික අධීක්ෂණ කාරක සභා 16ක් පිහිටුවනු ලැබුවා. එමගින් පාර්ලිමේන්තුවේ සම්මත වන නීති යෙදවෙන ආකාරය විශ්ලේෂණය, තක්සේරුව සහ ඇගයීම, පරිපාලනය, ක්‍රියාත්මක කිරීම සහ ඵලදායිතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට උපකාර කරනවා. සියලු පනත්, යෝජනා සම්මතයන්, ගිවිසුම් සහ වාර්තා පාර්ලිමේන්තුව විසින් සලකාබැලීමට පෙර අදාළ අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරනු ලැබේ.

වැඩිදුරටත්, කතානායකතුමනි,

පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් පිහිටුවීම සඳහා පනතක් අප ළඟදීම ගෙන එනවා.

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අභ්‍යන්තර මූලධර්ම අතරින් එකක්. එය ද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මූලික හිමිකමක් බවට පත් කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ හිමිකම් පනත ලොව එවැනි ශක්තිමත් ම නීති අතරින් එකක් ලෙස පිළිගැනෙනවා.

එහෙත්, නීතිවලින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ නැහැ. නීති අහෝසි කිරීමට හෝ නොතකා හැරීමට හෝ පුළුවන්. ප්‍රධාන ප්‍රජාතාන්ත්‍රික ආයතන ශක්තිමත් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් ද අවශ්‍යයි. කලින් සඳහන් කරන ලද ව්‍යවස්ථාදායක සභාව මගින් අපි මෙම ආයතනවල ස්වාධීනත්වය දිනාගත්තා. ඒවාට පත් කරනු ලබන අය තවදුරටත් විධායකයේ බලපෑම්වලට යටත් වන්නේ නැහැ. ඔවුන්ට ස්වාධීනව ක්‍රියා කිරීමේ අවකාශ්‍ය ලැබී තිබෙනවා.

ඒ වුණත්, අභියෝග අවසන් නැහැ. නිදසුනක් ලෙස, වෛරී ප්‍රකාශ සහ ව්‍යාජ පුවත් හරහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අපහරණය කිරීම අලුතෙන් මතු වූ තර්ජනයක්. සමාජ මාධ්‍ය මැවුම්කරු සහ විනාශ කරන්නා ද වන අතීත දෙවියකු වගෙයි. එයට නිදහසේ පණිවුඩය පැතිරවීම වගේ ම විනාශයට පොළඹවන පරිදි භාව ප්‍රකෝප කිරීමද සිදුකළ හැකියි. එය සයිබර් අවකාශයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක්. පාර්ලිමේන්තු දහසකට ගිනි තියන හිට්ලර්ලා දහසක් නිර්මාණය කිරීමේ හැකියාව එයට තිබෙනවා.

ප්‍රවෘත්ති ප්‍රජාතන්ත්‍රීයකරණය සහ හානි සිදුවීම වැළැක්වීමේ නීතිමය වගකීම අතර තුලනයක් සොයාගැනීම අප, ඔබ සහ බොහෝ රටවල්වලට මුහුණ දෙන්නට සිදු වී තිබෙන සංකීර්ණ ප්‍රශ්නයක්. අවසාන විසඳුම වන්නේ, අන්තර්ජාලය සහ වෙබ් විසින් නිර්මාණය කරනු ලබන නිදහස පිළිබඳ මෙන් ම එමගින් ඇති කරනු ලබන තර්ජන පිළිබඳ ද දැනුවත් උගත් මහජනතාවක් නිර්මාණය කරගැනීමයි.

ගරු කතානායකතුමනි,

ශ්‍රී ලංකාව වසර 25කට වැඩි කාලයක් ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. එහෙත්, පසුගිය පාස්කු ඉරු දින ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ හිතවාදීන් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර හාත්පසින් ම වෙනස් ත්‍රස්ත ප්‍රහාර වුණා. එම කණගාටුදායක සිදුවීමෙන් අප බොහෝ පාඩම් ඉගෙන ගත්තා. ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ ත්‍රස්තවාදයට ප්‍රතිප්‍රහාර දීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට සියලු පාර්ශ්වකරුවන් සමග ක්‍රියා කිරීමට වර්තමානයේදී ශ්‍රී ලංකාව සූදානම්.

බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව බලා පැමිණි ඔබගේ නියෝජිත පිරිසට මෙම අවස්ථාවේදී මා මගේ ණයගැතිභාවය ප්‍රකාශ කළ යුතුයි. ගරු කතානායකතුමනි, ඔවුන් අපට එම අපහසු අවස්ථාවේදී දැඩිව අවශ්‍යව තිබුණු සහයෝගය ලබාදුන්නා.

ඓතිහාසිකව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සුහද ද්විපාර්ශ්වීය සබඳතා පවත්වා තිබෙනවා. මෑත කාලයේදී ශ්‍රී ලංකාව අධ්‍යාපනය, හමුදා සහ පොලිස් අංශවල ධාරිතා ගොඩනැගීම ආදී කටයුතුවලට මාලදිවයිනට සහාය දුන්නා. 1984දී පිහිටුවන ලද මාලදිවයින් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂම සංචාරක, ධීවර, අධ්‍යාපන, සෞඛ්‍ය, කුසලතා සංවර්ධන, ක්‍රීඩා, රැකියා සහ සංස්කෘතික සහයෝගිතා ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

වර්තමානයේදී විවිධාංගීකරණය වී ඇති වෙළඳාම ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වීය සම්බන්ධතාවල ශක්තිමත් කොටසක් වෙනවා. සාක් රටවල් අතරින් මාලදිවයින තමයි ඉන්දියාවට හා පාකිස්තානයට පසු ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළ. 2017දී ඩොලර් මිලියන 271.1ක් වූ දෙරට අතර සමස්ත වෙළඳාම 2018 වන විට ඩොලර් මිලියන 304.3ක් දක්වා ඉහළ ගියා. සිය ගණනක් ශ්‍රී ලාංකික වෘත්තිකයන් සහ පුහුණු ශ්‍රමිකයන් මාලදිවයින විසින් සුහදව පිළිගෙන තිබෙනවා. පසුකාලීනව ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයිනේ තිබෙන රැකියා අවස්ථා ගණන වැඩි වී තිබෙනවා. ශ්‍රී ලංකාවට විශේෂයෙන් ම, ඉදිකිරීම්, සත්කාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවලදී වැඩි වැඩියෙන් වෘත්තිකයන් සහ පුහුණු ශ්‍රමිකයන් සැපයීමේ හැකියාව තිබෙන බවට මට සැකයක් නැහැ.

දෙරට අතර අන්‍යෝන්‍ය සම්බන්ධය වැඩිදුරටත් ශක්තිමත් කිරීම සඳහා වීසා පහසුකම්, ජල සැපයුම, තරුණ සංවර්ධනය, වෘත්තීය පුහුණුව, උසස් අධ්‍යාපනය සහ සමාජ සවිබලගැන්වීම යන අංශවල සහයෝගිතා ගිවිසුම් කීපයක් මගේ චාරිකාව අතරතුරදී අත්සන් කරනු ලැබුවා. 

ඊට අමතරව, ශ්‍රී ලංකාවේ ඉගෙනගන්නා සිසුන්ගේ මව්පියන්ට හා භාරකරුවන්ට දැන් ශිෂ්‍යයා වයස අවුරුදු 18 වනතෙක් භාරකාර වීසා ලබාගැනීමේ හැකියාව තිබෙනවා. එයට පහළ වයස් සීමාවක් නැහැ. විශේෂ වැඩපිළිවෙලක් යටතේ ශිෂ්‍යයන්ගේ මව්පියන්ගේ මව්පියන්ට ද තම මුණුබුරු මිණිබිරියන් සමග ශ්‍රී ලංකාවේ නතර වී කාලය ගතකිරීමේ අවස්ථාව හිමිවෙනවා.

මාලදිවයින් වැසියන්ට දැන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වලදී වකුගඩු හා අක්මා ඇතුළු අවයව බද්ධ කරගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. මාලදිවයිනේ අඩ්ඩු ඇටොල්හි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ පූර්ණ ආධාර උපකාර සැපයෙනවා.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි හට සිය ශ්‍රී ලංකා නිල චාරිකාව අතරතුරදී අප පැවසූ පරිදි, මාලදිවයිනේ පාසල් දෙකක් පිහිටුවීමට අප ආධාර කරනවා. මෙම මුලපිරුම ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සම්බන්ධීකරණය දෙරටේ අදාළ බලධාරීන් විසින් සිදුකරනු ඇති. අප ඊයේ උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව සම්බන්ධ ගිවිසුමක් ද අත්සන් කළා. මා අධ්‍යාපන ඇමති කාලයේ ශ්‍රී ලාංකික ගුරුවරුන් මාලදිවයිනේ සේවය කිරීම සඳහා අවසරදීමේ මුලපිරුමක් මා දියත් කළා. අද අග්‍රාමාත්‍යවරයා ලෙස තවදුරටත් ඉදිරියට යමින්, විවිධ වෘත්තීය කුසලතා සම්බන්ධයෙන් ඔබගේ පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා අපගේ සහයෝගය ලබාදීමෙන් ඔබගේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කරන්නට අප කටයුතු කරනවා. මාලදිවයිනේ සිසුන්ට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා සැපයීමට ද අප සලකා බලමින් සිටිනවා.

ගරු කතානායකතුමනි,

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යනු ඉන්දීය සාගරයේ සමුද්‍ර මංසන්ධි ආසන්නයේ පිහිටි ස්වාධීන රාජ්‍ය දෙකක්. ඒවා ඉහළ යන කලාපීය ආතති, ත්‍රස්තවාදය, මුහුදු මංකොල්ල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි තර්ජනවලට මුහුණ දෙනවා. එබැවින්, මෙම අවකාශයේදී අප අතර ද්විපාර්ශ්වීය සංවාදය ශක්තිමත් කරගත යුතුයි. මෙම තර්ජන සීමාකිරීමට හා පරාජය කිරීමට සහයෝගයෙන් වැඩකිරීම සඳහා ක්‍රමවේද සකසාගත යුතුයි.

වර්තමානයේදී දේශගුණික විපර්යාස යනු අප සියලු දෙනා මුහුණ දෙන ඉහළ යමින් තිබෙන තර්ජනයක්. ඉහළ යන මුහුදු මට්ටම නිසා ඔබගේ දූපත් ජලයෙන් යටවීමේ සැබෑ තර්ජනය නිසා මාලදිවයින මුහුණ දෙන සුවිශේෂී අවදානම පිළිබඳ අප දැනුවත්. මුහුදු මට්ටම ඉහළ යාමට සහ මිහිතලය උණුසුම් වීමට එරෙහිව ඔබ කරන අරගලයේදී අප ඔබට පූර්ණ සහාය සැපයීමට සූදානම් බව මා සහතික කරනවා.

ගරු කතානායකතුමනි,

මෙම සම්භාවනීය මජ්ලිස් සභාව ඇමතීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මා නැවත වරක් ඔබට ස්තුතිවන්ත වෙනවා. එසේම, ඔබගේ සුන්දර රට නැරඹීමට මට හා මගේ බිරිඳට ආරාධනා කිරීම පිළිබඳ මාලදිවයිනේ ගරු ජනාධිපති ඊබ්‍රාහිම් සෝලි මහතාට මා ස්තුතිවන්ත වෙනවා. 

එසේම, පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරවලින් පසු, විශ්වාසය ගොඩනැගීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි ගරු කතානායක නෂීඩ් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත පිරිසට මා ස්තුතිවන්ත වෙනවා.

මාලදිවයිනේ සමීපතම මිතුරන් වන ශ්‍රී ලංකාව සහ එහි ජනතාව වෙනුවෙන්, සාමය, සමෘද්ධිය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය දෙසට මාලදිවයිනේ ගමනට මා සුබපතනවා. පොදු අරමුණු දිනාගැනීම උදෙසා අපගේ කැපවීම සහ සහයෝගය මා නැවත වරක් තහවුරු කරනවා.

ස්තුතියි     

1 thought on “අගමැති රනිල් වික්‍රමසිංහ මාලදිවයින් පාර්ලිමේන්තුව අමතා කළ සම්පූර්ණ කතාව

Leave comment

Your email address will not be published. Required fields are marked with *.