Kattankudy photo by Shyam Ranasinghe

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ මුස්ලිම් ජාතිකයන් අතර රටඉඳි සම්බන්ධයෙන් සුවිශේෂී ගෞරවයක් තිබෙනවා. විශේෂයෙන් ම රාමසාන් උපවාස සමයේදී රටඉඳි අත්‍යවශ්‍ය ආහාරයකැයි සලකන ස්වභාවයක් තිබෙනවා.

Translations

වියළි රටඉඳිවල 50%තට වඩා තිබෙන්නේ සීනි. එහි 2% බැගින් පමණ ප්‍රෝටීන්, මේද, ඛනිජ ලවණ තිබෙනවා. රටඉඳි ගස අඩි 23ක් පමණ උසට වැවෙන බව බ්‍රිටැනිකා විශ්ව කෝෂයේ දැක්වෙනවා. රටඉඳි පැල සිටුවා අවුරුදු හතරකින් පහකින් අස්වනු ලැබෙන්නට ගන්නවා. අවුරුදු 10ක් පමණ වයස නාඹර ගස්වල වසරකට කිලෝ 75ක් පමණ ගෙඩි හැදෙනවාලු. රටඉඳි ගස් අවුරුදු සියයකටත් වඩා කල් පවතිනවා. එහි කඳ ශක්තිමත් දැව සපයනවා. ගසේ අනෙකුත් සියලු කොටස් විවිධ ප්‍රයෝජන සහිතයි. උදාහරණයක් ලෙස රටඉඳි කොළ කූඩ වියන්නට යොදාගන්නවා.

ඊජිප්තුව, ඉරානය, සවුදි අරාබිය හා ඉරාකය තමයි ලොව ප්‍රධාන ම රටඉඳි නිෂ්පාදක හා අපනයනය කරන රටවල් වන්නේ. ජලය සැපයිය හැකි කාන්තාර වැනි වියළි බිම්වල රටඉඳි වගා කරන්නට පුළුවන්. වියළි රටඉඳි දිගු කලක් ගබඩා කර තබාගන්නට පුළුවන්. රටඉඳි වර්ග රැසක් තිබෙනවා. ඇතැම් රටඉඳි වර්ග අමුවෙන්, පලතුරු ලෙස ආහාරයට ගන්නවා.

මේ දිනවල නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි කාත්තන්කුඩි නගරයේත් රටඉඳි ගස් ගෙඩිවලින් බර වෙලා. කාතන්කුඩි නගර සභාව විසින් නගරයේ ප්‍රධාන වීදියේ රටඉඳි ගස් 79ක් සිටුවා නඩත්තු කළා. හොඳින් වැඩුණු මේ රටඉඳි ගස්වල දැන් නැවතත් ගෙඩි පිරිලා. ඒවායේ අස්වැන්න මැයි 20දා නෙළාගන්නා බව නගරාධිපති එස්.එච්.එම්. අස්ෆර් පවසනවා. මේ රටඉඳි අස්වනු නෙළන පළමුවෙනි වර නොවෙයි. මීට පෙරත් කාතන්කුඩියේ රටඉඳි අස්වනු නෙළාගත්තා.

නගරාධිපතිවරයා පවසන පරිදි මේ රටඉඳි ගස් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සොයාගත් ඒවා මිස ආනයනය කළ ඒවා නොවෙයි.

වියළි දේශගුණයක් සහිත, ලංකාවේ වැඩි ම ජන ඝනත්වය ඇති නාගරික ප්‍රදේශය ලෙස ද සැලකෙන කාතන්කුඩි නගරයේ රටඉඳි වැවීම මහත් ආන්දෝලනයට තුඩු දුන්නා. විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජාතිවාදී නායකයන් මේ රටඉඳි ගස් දිහා බැලුවේ සැකයෙන්. ඔවුන් රටඉඳි වවන්නේ, අරාබි අකුරු භාවිතා කරන්නේ මුස්ලිම් ජාතිවාදය නිසා යයි ඔවුන් සැක කරනවා. ඒ අතර, සිංහල බෞද්ධයන් ද පාලි භාෂාව භාවිතා කරනවා. බෝ ගස් පොදු ස්ථානවල වවනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු වූ ඒ.එම්. හිස්බුල්ලා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ කාතන්කුඩියේ රටඉඳි වවන්නට තීරණය කළේ ඇයිදැයි විමසුවා. හිස්බුල්ලා පැවසුවේ ඔහු මුලින් අදහස් කළේ ෆොක්ස්ටේල් නම් තල් වර්ගය වගා කිරීමට බවත්, එහෙත්, ඒවා කාතන්කුඩියේ අධික උෂ්ණත්වයට ඔරොත්තු නොදෙන බව හා ඒ වෙනුවට රටඉඳි වවන ලෙස විශේෂඥ උපදෙස් ලැබුණු බවයි. එසේ නම්, එහි දේශීය තල් වවන්නට තිබුණා නොවේදැයි මාරසිංහ මන්ත්‍රීවරයා විමසුවා.

කාතන්කුඩියේ රටඉඳි වැවීමේ පසුබිම කුමක් වුවත්, ලංකාවේ ශුෂ්ක ප්‍රදේශවලට ජලය සපයා වගා කරනවා නම් ලංකාවට රටඉඳිත් හොඳ වගාවක් බවට කාතන්කුඩියේ රටඉඳි වගා අත්හදා බැලීම විසින් පෙන්වා දෙනවා. එය එතරම් ජල සැපයීමක් අවශ්‍ය නැති, නඩත්තුව දුෂ්කර නැති වගාවක්. එසේම, පෝෂ්‍යජනක ආහාරයක්.

වසර 2013 ජුලි මාසයේ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ සංචාරයක යෙදුණු එවකට සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මෙම රටඉඳි ගස් දැකීමෙන් පසු ඒවා පරීක්ෂා කොට යාපනය අර්ධද්වීපයේ ද රටඉඳි වැවීම පිළිබඳ ව සිය අවධානය යොමු කළ බව රජයේ නිල වෙබ් පුවත් අඩවිය වාර්තා කරනවා.  “එම රටඉඳි ගසකට නැග රට ඉඳි පලදාව පිළිබඳ ව විමසා බැලු අමාත්‍යවරයා මෙම වගාව උතුරු ප‍්‍රදේශයේ ඉතා සාර්ථක ව කළ හැකි යැයි තමන් විශ්වාස කරන බවත්, මේ සඳහා රටඉඳි නිෂ්පාදනය කරන මැද පෙරදිග රටවල් සමග සාකච්ඡා කොට වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව ද පැවසීය,” යි එහි වාර්තා වෙනවා.

රටඉඳි යනු ගසක හැදෙන ගෙඩියක්. එයට මොන ජාතියක් ද? රටඉඳි මුලින් ම ජාතිවාදයෙන් ගලවා ගත යුතුයි. 

ඡායාරූප සම්බන්ධයෙන් ගෞරවය ශ්‍යාම් රණසිංහ (සෙරන්ඩිබ්)

1 thought on “කාතන්කුඩියේ ආන්දෝලනාත්මක රටඉඳි

  1. Samahara araabi ratawala gewathu wagawak lesa rataindi gahak dekak situwaa hondin nadaththu karanawa nam ema rajayen selakiya yuthu diemanawak denu labana athara paladaawada aanduwa visin milata ganu labana bawata aaranchiy .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.