Extremism

අන්තවාදයට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන අන්තවාදය ද අන්තවාදයකි

අජිත් පැරකුම් ජයසිංහ

නබිතුමාගේ රූපයක් ඇඳීම හේතුවෙන් ප්‍රංශයේ ගුරුවරයකුගේ ගෙල කපා මරා දැමීමට අන්තවාදියකු ක්‍රියා කළේ ය. එයට විරෝධය පාමින් නබිතුමාගේ රූප ඇඳීමේ හා ෂෙයා කිරීමේ රැල්ලක් ආරම්භ වී තිබේ.

ඒවා සමග සම්බන්ධ වන විට සිහියේ තබාගත යුතු තවත් කරුණු තිබේ. අන්තවාදය ඉස්ලාම් අන්තවාදයට පමණක් සීමා වන්නේ නැත. කිසිදු වාහනයක රියදුරාගේ දර්ශන පථයට බාධා වන කිසිවක් සවි කිරීම තහනම් ය. එමගින් රියදුරාට පාර නොපෙනී පාරේ යන අයට අනතුරු සිදු විය හැකි ය. පොලිසිය එවැනි වාහනවලට දඩ ගසා එම බුදු පිළිම ඉවත් කරන්නට කටයුතු කළ විට සමාජ මාධ්‍යවල පොලිසියට බනින ආකාරය දුටු විට මට නම් ඒ අන්තවාදයත්, ඊට පෙර කී අන්තවාදයත් අතර වෙනසක් පෙනෙන්නේ නැත. ඒ පොලිස් නිලධාරියා වාහනයකට යට කර මරා දැමීමට ඉඩ ඇති බෞද්ධ අන්තවාදියෝ මෙහි සිටිති.

අන්තවාදය එතැනින් අවසන් වන්නේ නැත. දේශපාලනික අන්තවාදයක් ද තිබේ. එවැනි අන්තවාදීන් තමන්ගේ දෘෂ්ටිවාදීමය නායකයන් හෝ දේශපාලන නායකයන් සම්බන්ධ ක්‍රියාමාර්ගවලදී ප්‍රතිචාර දක්වන්නේ ද සමාන අන්දමිනි. ඉතා නවීන දාර්ශනිකයන්ගේ දේශීය නියෝජිතයන් ලෙස පෙනී සිටින, සාමාන්‍ය ජනතාවට නොතේරෙන අමුතු භාෂාවලින් කතා කරන අධික පණ්ඩිතවාදයකින් පෙළෙන අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වය ද අප දැක තිබේ.

දැන් දැන් සෞඛ්‍ය අන්තවාදියෝ පවා සිටිති. කොවිඩ්-19 සම්බන්ධයෙන් ආන්තික අදහස් දරණ ඔවුන් සමග රෝගී අයිතිවාසිකම් වැනි කරුණු සාකච්ඡා කරන්නට බැරි ය.

මේ සියලු දෙනා තමන්ගේ ආස්ථානයේ සිට අනෙකාට හානි කිරීමට ඉදිරිපත් වන තරම් වියරුවකින් යුක්ත ය. අන්තවාදයට මුල කොතන තිබුණත්, අවසානයේදී සෑම අන්තවාදියකු ම සමාන ය. ඇත්ත වශයෙන් ම අන්තවාදයේ මුල සොයාගෙන යන විට අපට පෙනෙන තැන ද වැදගත් නැත. සැබෑ අන්තවාදයේ මුල ඇත්තේ සැබැවින් පෙනෙන දෙයට පිටුපසිනි. අන්තවාදයට මූලික හේතු වන්නේ මනෝ සමාජයීය ප්‍රශ්නයි. ආගම්, දේශපාලන දර්ශනයන් වැනි සාධක එකී මානසික ගැටලු ඉදිරියට රැගෙන යන වාහන බවට පත් වේ.

සෙසු අදහස්, දර්ශනයන් හා තමන් අදහන දැක්ම ඉවසන්නට බැරිකමට මූලික හේතුව මෙම පුද්ගලයන්ගේ අධික අනුරාගයයි. එයට හේතු වන්නේ එක දෙයක් කෙරෙහි ඕනෑවට වඩා එල්බගැනීම, හැදෑරීම හා ඒ ගැන ම උවමනාවට වඩා කතා කිරීමයි. මෙවැනි අන්තවාදීන් අධික ලෙස කතා කරන්නෝ ද වෙති.

අන්තවාදයේ එක් තැනකදී පුද්ගලයාට තමා උත්තරීතර ස්ථානයක සිටින බව හා තමන්ට සුවිශේෂී වගකීම් පැවරී ඇති බව පෙනේ. විරුද්ධ මතධාරීන්ගේ බෙලි කපන අන්තවාදීන් මෙන් ම, තමන්ට ඒ සඳහා අවශ්‍ය ආත්ම ශක්තිය නැති නිසා ෆේස්බුක් කමෙන්ට් මගින් අනෙකා ඝාතනය කරන අන්තවාදීන් ද මනෝභාවයෙන් එක හා සමාන ය.

අන්තවාදයන් පිටුදැකීම සඳහා කළ යුතු දෙයක් වන්නේ එක දෙයක ඕනෑවට වඩා එල්බගැනීමෙන් වැළකීමයි. කොතරම් හොඳ දෙයක වුණත් අධික ලෙස එල්බ ගන්නෝ එම දෙය හා සම්බන්ධ මනෝ ලෝකයක අන්තවාදියෝ වෙති. විවිධත්වයෙන් පිරි ලෝකයක ජීවත් වීම හා විවිධත්වයන් ඉවසන්නට පුරුදු වීම ජීවිතයට සුබදායී වේ. අන්තවාදයට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන අන්තවාදය ද තවත් එක් අන්තවාදයක් පමණි.

ඕනෑම දෙයකින් පිටතට පැමිණ ඒ දෙස බලන්න. ඔබෙන් පිටතට පැමිණ ඔබ දෙස බලන්නට හැකි දවසට ඔබට සැබැවින් ම ඔබට ම සිනාසිය හැකි ය. අප මිනිසුන් වන්නේ අපට ම සිනාසෙන්නට පුළුවන් දවසටයි.

Cover image: Words are more than their dictionary definitions. Amir Ridhwan/Shutterstock via Sapiens magazine