Sriya Ratnakara

ශ්‍රී සඟරාව වගේ ශ්‍රියා රත්නකාර

අජිත් පැරකුම් ජයසිංහ

අපි පුංචි කාලෙ මුලින් ම කියවපු වැඩිහිටි ප්‍රකාශනය තමයි ශ්‍රී සඟරාව. ඒක කියවනකොට මා හිටියෙ තුනේ, හතරෙ පන්තිවල. අපේ ගෙදර තිබුණ ඇඳි පුටුවක වාඩිවෙලා මායි අක්කයි හරි, මායි සුරලාල් අයියයි හරි ඒකෙ තිබුණ චිත්‍රකතාව හරි, අහන්න ආසයි අපටත් කියන්න හරි කියෙව්වා. ඇතුළෙ තිබුණ කාටුන්වලටත් අපි හරි කැමතියි.

Sinhala Tamil English Translations and Content Writing
ඒවා ළමයින්ට සුදුසුම ඒවා නෙමෙයි. එක කතාවක තිබුණා, සිංහල භාෂා ප්‍රවීණත්වය ලබාගන්නට සිංහල ප්‍රශ්න පත්තරයකට උත්තර ලියපු දෙමළ නිලධාරියෙක් ගොනා තණ කයි කියන වාක්‍යය ගොනා තන දෙකම කයි කියලා පරිවර්තනය කරපු බව. අවංකව කියනවා නම් මට ඒ කාලෙ ඒ විහිළුව තේරුණේ නැහැ. ඒ වුණාට මේවා විහිළු නිසා අපි නැවත නැවත කියවමින් හිනාවුණා.

ශ්‍රී සඟරාවෙ තනි කොටසෙන් ඉවර වෙන, පිටු ගානක් දිග චිත්‍රකතාවක් තිබුණා. ඒකෙ තිබුණ හොල්මන් කතාවක චිත්‍ර දැනුත් මැවිලා පේනවා. කතාව මතක ඡායාවක් වගේ.

ශ්‍රී සඟරාව හරස් අතට ඍජුකෝණාස්‍රාකාර හැඩය ගත්ත, කවරය වර්ණ ලිතෝ මුද්‍රණයෙන් තිබුණ, පිටු සීයකට වැඩි අපූරු ප්‍රකාශනයක්. එය පළ කළේ දවස, රිවිරැස, සන්, වීක්එන්ඩ්, ටිකිරි ආදී පුවත්පත් පළ කළ ස්වාධීන ප්‍රවෘත්තිපත්‍ර සමාගමෙන්. රුපියල් දෙකක් විතර වෙන්න ඇති මිළ. අපේ ගෙදර ශ්‍රී සඟරා මිටියක් තිබුණා. ගුරුවරියක් වුණ අපේ අම්මා තමයි ඒවා එකතු කළේ. ඇය ගෙදර වැඩ ඉවර වෙලා නාලා එහෙම රහස් හඬින් හඬ නඟා ඒවායේ මහදිග කතාව වගේ අපට කියවන්නට බැරි ලොකු ලිපි කියවනවා අහන් ඉන්න අපි හරි ආසයි.

මේ ටික ලිව්වෙ ශ්‍රී සඟරාවේ ආරම්භක කර්තෘ වෙලා සිටි නොබෝදා අභාවප්‍රාප්ත වූ ශ්‍රියා රත්නකාර මහත්මිය අනුස්මරණය කරන්නටයි. ශ්‍රී සඟරාවට නම තැබුවෙ ඇගේ නමින්.

වැවිලිකරුවකු වූ ඇගේ පියා නිදහසින් පසු ශ්‍රී ලංකා රජයේ සෙනෙට් සභිකයෙකි. නුවර ඉපිද, යහපත් එ‍ඬේරාගේ කන්‍යාරාමයේ අධ්‍යාපනය ලද ශ්‍රියා පුවත්පත් කලාවට රැගෙන ආවේ පිලිප් ගුණවර්ධනගේ බිරිඳ හා දිනේෂ් ගුණවර්ධනගේ මව වූ කුසුමා ගුණවර්ධනයි. ‍

ඩී.බී. ධනපාලයන් යටතේ ලංකාදීප පුවත්පතේ පුහුණුව ලද ඇය ටයිම්ස් ආයතනය විසින් පළ කරන ලද වනිතා විත්ති පුවත්පතේ කතුවරිය ලෙස කටයුතු කළා. වසර පහකට පසු ඩී.බී. ධනපාලයන් විසින් අලුතින් ආරම්භ කරන ලද දවස පුවත්පත් ආයතනයට බැඳුණු ඇය අප ඉහත සඳහන් කළ ශ්‍රී සඟරාවේ ‍සේවය කළා. ඇය ප්‍රකට ගත් කතුවරියක්.

කැලනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය තිලක් රත්නකාර ඇගේ සැමියායි.