Mahinda Yapa Abewardena

2022 ජුලි 9 ඉතිහාසගත වන භූමිකාවක් කළ මහින්ද යාපා අබේවර්ධන

මහින්ද යාපා අබේවර්ධන මුලින්ම පාර්ලිමේන්තුවට පත්වෙන්නෙ 1983දී හක්මන මන්ත්‍රීවරයා විදියට එක්සත් ජාතික පක්ෂයෙන්. 1987දී ඔහු ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන නිසා ජේ.ආර්. ජයවර්ධන ඔහුව පක්ෂයෙන් ඉවත් කරනවා. ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙනවා.

ඉන්පසු ඔහු ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක සමග රාජාලියා ලකුණ දරණ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සමග එකතු වෙනවා. එම පක්ෂයෙන් 1993දී දකුණු පළාත් සභාවට තරග කර තේරී පත්වන ඔහු 1994දී ප්‍රධාන අමාත්‍යවරයා බවට පත්වෙනවා. දෙවරක්ම ප්‍රධාන අමාත්‍ය ධූරය දැරීමෙන් පසු ඔහු 2001දී පාර්ලිමේන්තුවට පත්වෙනවා. නියෝජ්‍ය ඇමති ධූර, කැබිනට් ඇමති ධූර දැරීමෙන් පසු වර්තමානය වන විට ඔහු තමයි කතානායක.

තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. මුල්ම රැකියාව රජයේ ලිපිකරු සේවයේයි. එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති අංශයෙන් හා තරුණ පෙරමුණෙන් තමයි ඔහු දේශපාලනය ආරම්භ කරන්නෙ.

දේශපාලකයකු ලෙස තිබිය යුතු උන්නතිකාමය විතරක් නෙමෙයි, පවුල්වාදය වැනි අඩුපාඩුත් ඔහු තුළ තිබෙනවා. එහෙත්, ඔහු ලංකා ඉතිහාසයේ එක් අවස්ථාවකදී සිය පෞරුෂය නොමැකෙන ලෙස සටහන් කළා. ඒ අත්දැකීම් බහුල පරිණත නායකයකු ලෙසයි.

ඒ 2022 ජුලි 9 දිනයයි. අරගල විරෝධතාවාදීන් විසින්, ප්‍රජාතන්ත්‍ර විරෝධී අන්දමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලහත්කාරයෙන් එළවා දැම්මේ එදිනයි. හැටනම ලක්ෂයක ජනවරමක් තිබුණු ජනාධිපතිවරයා ධූරයෙන් එලවා දැමුවාට ඔවුන්ට හෝ ඔවුන්ගේ දේශපාලන පක්ෂ වූ ජනතා විමුක්ති පෙරමුණට හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටත්, ඔවුන් පසුපසින් සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හෝ සමගි ජන බලවේගයටවත් ඉන් පසු කරන්නේ කුමක්ද යන්න ගැන අදහසක් තිබුණේ නැහැ.

ඒ වෙලාවේ ඔවුන් එක්තරා රැඩිකල් භික්ෂුවක් ඇතුළු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ නිවසට එවා ජනාධිපති ධූරය භාරගන්නා ලෙස ඔහුට තර්ජනය කරනවා.

ඔවුන් ගිය හැටියේම එන්නේ ඉහළම හමුදා ප්‍රධානීන් ටික. ඔවුන් කරන්නේත් එම ඉල්ලීමමයි.

එපමණක් නොවෙයි, එක්තරා තානාපති කෙනෙකුත් ඇවිත් එසේ කරන්නැයි ඔහුට කියනවා. තමන්ට එසේ කිරීමට ව්‍යවස්ථාමය බලයක් නැති බව කතානායකවරයා පෙන්වා දුන් විට එම තානාපති කියන්නේ අපි ඒක බලාගන්නම් කියලායි.

අර හමුදා ලොක්කන් ටික ඉන් පසු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමටත් යනවා. එතකොට අරගලකරුවන් පාර්ලිමේන්තුව වටලලා. හමුදා ලොක්කන් කියන්නේ ඔවුන්ට අණ දෙන්නට කෙනෙකු නැති බව හා අණ දෙන ලෙසයි. එහෙම කළොත් ඔවුන් පාර්ලිමේන්තුව බේරා දෙන බව තමයි අඟවන්නේ.

එතැනදී කතානායකවරයා කරන කතාව ඓතිහාසික එකක්. ඔහු කියන්නේ මෙතන සිටින බහුතරය විපක්ෂයේ කුඩා පක්ෂවල නායකයන් බව හා තමන්ට එසේ අණ දීමේ හැකියාවක් නැති බවයි. හමුදා ප්‍රධානීන් තනතුරු භාරගනිද්දී ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දී තිබෙන නිසා පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීම බව කතානායකවරයා කියනවා.

කුමන්ත්‍රණය අවසන් වන්නේ එහෙමයි. වෙන විසඳුමක් නැති නිසා හමුදා නිලධාරීන් වැඩ බලන ජනාධිපති රනිල්ගේ නායකත්වය පිළිගන්නවා. තානාපතිටත් වෙන කරන්න දෙයක් නැති වෙනවා. අරගලකරුවන් සජිත් හා ඩලස් පසුපස වැටෙනවා.

මහින්ද යාපා ඉතිහාසගත වන්නේ ලංකා ඉතිහාසයේ තීරණාත්මක මොහොතක බලලෝභයෙන් තොරව ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීම නිසායි. ඔහුගේ පූර්ණ සහායෙන් තමයි රනිල් ජනාධිපති ධූරයට පත්වන්නේ. එතැන සිට තමයි ලංකාව අලුත් මාවතකට හැරෙන්නේ.