Hemalatha teacher

හේමලතා ටීචර් (ළමයෙකුට ගුරුවරියක පෙනෙන හැටි)

මාධුර්යා චම්පුකාව්‍යා කිව්වා. අජිත් පැරකුම් ජයසිංහ ලිව්වා.

ඉස්සර මං ඉස්කෝලෙ යන්න කම්මැලියි. ඒ කාලෙ ටීචර් මට ආදරේ වුණේ නැහැ. ටීචර් වැඩිපුර ආදරේ කළේ එයාගෙ පන්තියට ආපු ළමයින්ට. ඒ කතා වැඩක් නැහැ. ඔන්න මං මේක ලියන්න එපා කියද්දි තමයි තාත්තා ඒ ටික ලිව්වෙ. ඒ ටීචර් තමයි අපට මුලින් ම අකුරු ඉගැන්නුවෙ. අපේ අම්මලා, තාත්තලා මොනවද කිව්වා ය කියලා ටීචර් මාත් එක්ක තරහ වුණා. බුද්ධාගම ප්‍රශ්න පත්තරේක එහෙම වැරදි ගොඩක් තියෙද්දි මට සීයෙන් සීය ම දුන්නා.

Translations by Creative Content Consultants

තුනේ පන්තියට පාස් වෙනකල් මං ගොඩක් කල් බලා හිටියා. ඉංග්‍රීසි උගන්නන වජිරා මිස් තමයි අලුත් අවුරුද්දෙ ඉස්කෝල පැවැත්වුණ පළමුවෙනි දවසෙ අපව අලුත් තුනේ පංතියට එක්කගෙන ගියෙ.

අපි පඩි පෙළ නැගගෙන තුනේ පන්ති තිබුණ ශාලාවට ගියා. එතන බිත්තියෙ එකොළහ කියල ලියල තිබුණා. ඒ ඇයි ද දන්නෙ නැහැ. ඒ ශාලාවෙ පන්ති තුනක් තිබුණා. තුන ඒ කියලා නාම පුවරුවක් මුල්ම පන්තියේ තිබුණා. අපි එළියෙ ඉන්නකොට කහ පාට‍, සුදු පාට මිශ්‍ර සාරියක් සහ කහ පාට හැට්ටයක් ඇඳගෙන සිටි දිග කොණ්ඩයක් ගොතලා හිටිය ටීචර් කෙනෙක් “එන්න…! වාඩි වෙන්න…..!” කියලා ඇදලා පැදලා කිව්වා.

මායි මගේ හොඳම යාළුවා හිරුෂියි ඉස්සරහ පේලියෙ මැද ඩෙස්ක් එකක වාඩි වුණා. හිරුෂි කළු, ලස්සන, නළ දත් දෙකක් තියෙන, පොකුටු කොණ්ඩයක් තියෙන ළමයෙක්. එයායි මායි හරි යාළුයි.

මට තිබුණෙ දම්පාට සොෆියාගේ රූපයක් තියෙන බෑග් එකක්. මං ඒක පුටුව පිටිපස්සෙ එල්ලුවා. හිරුෂිත් ඒ විදියට ම කළා.

ටීචර් එයා ගැන හඳුන්වා දුන්නා.

“මගේ නම හේමලතා. මට දූලා දෙන්නෙකුයි, පුතෙකුයි ඉන්නවා.මට වයස අවුරුදු 52යි. මගෙ අම්මට වයස අවුරුදු 92යි.” ඔය වගේ විස්තර ඇය කීවා.

එයා ලස්සනයි. පිට පිටිපස්සෙ හැට්ටෙ ඇරුණු හරියෙ ලොකු ලපයක් තිබ්බා. ඇය පස්සෙ දවසක කිව්වා ඒක හැදුනෙ කටුවක් ඇනිලා ය කියලා. එයාගෙ දත් සුදුම සුදුයි. හැමතිස්සෙම හිනා කටක් පුරෝගෙන තමයි හේමලතා ටීචර් ඉන්නෙ.

ඇය අපත් එක්ක සෙල්ලමක් කළා. ඉස්සරහ පේළියේ ළමයෙකුට රහසක් කිව්වා. ඒ ළමයා ඊළඟ ළමයාට ඒ රහස කිව්වා. එක එක්කෙනා ඒ රහස ඒ විදියට ඒ එක එක්කෙනාට කිව්වා. අන්තිම ළමයා ඉස්සරහට ඇවිත් ඒ වචනෙ කිව්වා. මුලින් කිව්ව රහස ඒ ළමයා කිව්වා. ඒ දෙක ගොඩක් වෙනස්. මට ඒක දැන් මතක නැහැ.

ඇය අපට කීවා, අපේ අනාගත බලාපොරොත්තුව අඳින්න ය කියලා. මම කොම්පියුටරේ ළඟ ඉඳගෙන, රෝස පාට ඇඳුමක් ඇඳගෙන වැඩ කරමින් ඉන්න ළමයෙකුව ඇන්දා. එයාට ලොකු කටක් ඇන්දා. ඒ ළඟ ලේඛකයා කියලා ලිව්වා. මගේ අනාගත බලාපොරොත්තුව ලේඛකයෙක් වෙන්න. ඒ වුණාට මං ලියන්න කම්මැලියි. ලේඛකයො එහෙම තමයි කියලා තාත්තා කිව්වා. ටීචර් ඒ වචනෙ ළඟින් ලේඛිකාව කියලා ලිව්වා.

මුල් දවස්වල අපි කොළවල චිත්‍ර ඇන්දා. එක එක වැඩ කළා. දවස් තුනකින් පස්සෙ අපව පන්තියට පිළිගන්න පාටි එකක් තිබ්බා. එදා තාත්තා ඇවිත් කළු ලෑල්ලෙ ඉරි ඇඳලා දුන්නා. අපේ පුටු රවුමට තියලා මැද ඩෙස්ක්වල අපේ නිර්මාණ ප්‍රදර්ශනයට තිබ්බා. අපට කිරිබත්, කැවුම් දුන්නා. අපි සතුටින් කෑවා. මං තාත්තට කැවුමකුත් අරගෙන ගියා. ඒක බිම වැටුණා. තාත්තා කිව්වා ඒක ඕනැ නැහැ ය කියලා.

අපි කාලා, බීලා ඉවර වෙලා පුටුවල වාඩි වෙලා ඉන්නකොට “අන්න තාත්තා යනවා,” යි ටීචර් කීවා. මං තාත්තට බායි කිව්වා.

ටීචර් අපට පූසෙකු ගැන සිංදුවක් කියා දුන්නා. මට ඒක මතක නැහැ. ඒ වුණාට මගේ සුරතලුන් පූසන්.

තව සිංදුවකුත් කියා දුන්නා.

“කෙසෙල් ලෙල්ල මහ පාරට විසි කළ ළමයෝ – මේ බලන්න මට වූ දේ ලිස්සා වැටිලා – කකුල් දෙකම ලෙලි ගැහිලා ලේත් ගලනවා – නොන්ඩි පයින් ඇවිද ඇවිද බේත් සොයනවා – කෙසෙල් ලෙල්ල බොහොම හොඳයි පොහොරට ගන්න – අනේ එපා කෙසෙල් ලෙල්ල පාරෙ දමන්න”

ටික වෙලාවකින් පාසල අවසන් වුණා.

හේමලතා ටීචර් තමයි තුනේදියි හතරෙදියි අපේ පන්ති භාර ගුරුතුමිය.

ටීචර් අපට කවි සිංදු ගොඩක් කියලා දුන්නා. එයාගෙ කටහඬ ලස්සනයි. මිහිරි විදියට සිංදු කියන්නට පුළුවන්.

පලතුරු තොරතුරු පාඩමේදි එයා අපේ අඹ යාළුවන් කවුරුද කියා ඇහුවා.

මං කිව්වා හිරුෂි කියලා.

ටීචර් කිව්වා, “මං හිත්-තුවා එහෙම කියයි කියලා,” යි කිව්වා. ඒ වුණාට සමහර කාලවලදි හිරුෂියි මායි කතා කරනවා වැඩියි කියලා අපි දෙන්නා වෙන වෙන ම තැන්වලට දැම්මා. ඒ වුණාට අපි විවේක කාලෙදි ඇති වෙනකල් කතා කරගන්නවා.

ඇය ඉන් පසු අපෙන් ඇහුවා ඇගේ අඹ යාළුවා කවුරුද කියලා. අපි දිල්හානි මිස්ගෙ නම කිව්වා. ඇයත් එක්ක තමයි ටීචර් විවේකයෙදි කෑම කන්නෙ. ඒගොල්ලන්ට පොඩි හීටරයක් තිබුණා. තව තේ කොළ, සීනි එහෙමත් තිබුණා. ඒගොල්ලන් තේ හදාගෙන බොනවා.

පොතේ පාඩම් කියා දෙනකොට ඇය අපට වෙනත් දේවලුත් කියා දුන්නා. එයා පාඩම් උගන්වන අතරෙ අපට රාමා සීතා කතාව වගේ කතා ගොඩක් කියා දුන්නා.

ටීචර් හැමදාම අපට කියනවා කෑම කන්න හැන්දක් ගේන්න ය කියලා. අත් හෝදනකොට පන්තිය ඉස්සරහ මිදුලෙ ඉඳුල් ඉහිරෙන නිසා යි එහෙම කිව්වෙ.

දවසක් ටීචර් අපෙන් ඇහුවා ටේස් ජාති කන්න කැමති කවුරුද කියලා. සමහර ළමයි අත ඉස්සුවා. මාත් අත ඉස්සුවා. මං බොරු කියන්නෙ නැහැනෙ. දවසක් ටීචර් අපේ අම්මත් එක්කත් කියල තිබුණා මං කවදාවත් බොරු නොකියන බව. එතකොට ටීචර් එයාගෙ අතත් ඉස්සුවා.

“මාත් ටේස් ජාති කන්න කැමතියි, ඒ වුණාට මං වැඩිය කන්නෙ නැහැ. ඒවා අපේ ශරීරයට හොඳ නැහැ,” කියා ටීචර් කියා දුන්නා. ටීචර් අපට කෑම කාලසටහනක් දුන්නා. ඒකෙ තිබුණෙ කඩල, මුං ඇට, බත් වගේ ජාති. සමහර දාට ටීචර් අප ගේන කෑම ජාති මොනවද කියලා බලනවා. උදේට කාලා ආවද, මොනවද කෑවෙ කියලා අහනවා.

දවසක් දෙකක් මට පන්තියෙදි උණ ගත්තා. ටීචර් එයාගෙ දුරකථනයෙන් අම්මාට කතා කරලා දන්වලා මාව එක්කගෙන යනකල් පැරසිටමෝල් දීලා මට ඔලුව ඩෙස් එකේ තියාගෙන නිදාගන්න කීවා. පස්සෙ ලීල නැන්දා ඇවිත් මාව එක්ගෙන ගියා.

සමහර දවසට අහසෙ ප්ලේන්, හෙලිකොප්ටර් යනවා. ටීචර් අපට ඒවා බලන්න මිදුලට යන්නට දෙනවා. නැතිනම් දැල ගාව හිටගෙන බලන්න දෙනවා.

පිරිමි ළමයි කොණේ ශාලාවෙ පඩි පෙළෙන් උඩට නැගලා තාප්පෙන් එහා පැත්තෙ පාරෙ ගිය කාර් එකකට ගල් ගහලා වීදුරුවකුත් බින්දා. එදා නම් ටීචර් ඒ ළමයින්ට හොඳටම බැන්නා. වැරදි වැඩ කළාම ටීචර්ට තරහ යනවා. එහෙම වෙලාවට කොහෙන් හරි වේවැලක් හොයාගෙන ගහපු වෙලාවලුත් තිබුණා.

ඒ දවස්වල අපට පරිසරය උගන්නන්න තව ටීචර් කෙනෙක් හිටියා. එයාගෙ ඔලුවෙ බම්ප් එකක් තිබුණා. ඒ ටීචර් අපේ පන්තියෙ ම තමයි හිටියෙ. පස්සෙ මාරු වෙලා ගියා. ඒ යනකොට ඇයට ආයුබෝවන් කියන්නට පන්තියේ පොඩි උත්සවයකුත් පැවැත්වූවා.

හතරෙ පළමුවෙනි දවසෙ පාසල පටන් ගත්තාම ඇය අපට යාළුවන් එක්ක නිවාඩු කාලෙ එහෙම විස්තර කතා කර කර ඉන්න ගොඩක් වෙලාව දුන්නා.

මං හතරෙදි අලුත් අවුරුද්දට ටීචර්ට තෑගි දුන්නෙ තාත්තා ලියපු පොත් දෙකක්. ටීචර් ඒ එක පොතක් බලලා හොඳයි කිව්වා. අනෙක් පොත පස්සෙ බලනවා කිව්වා.

හතරෙදි ක්‍රීඩාවලට තේරුන අපව ඉස්කෝලෙ පිට්ටනියට එක්කගෙන යනවා. එදා එයා සුදුයි, රෝසයි සාරියක් ඇඳගෙන හිටියෙ. ගෑනු ළමයි එයා වටේ වට වෙලා ටීචර්ගෙ දිග කොණ්ඩෙ උඩ දැම්මා.

නිම්සිළු මාර කයිවාරු ගහන්නෙ. එයාගෙ තාත්තා ජගත් විතාන මන්ත්‍රීතුමාගෙ බොඩිගාඩ්ලු. බාප්පා පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමාගෙ බොඩිගාඩ්ලු. ගෙදර තට්ටු තුනයිලු. කාමර ඔක්කොම වායු සමනය කරලාලු. ගෙදර කාර් දහයක් තියෙනවාලු. ස්විමිං පූල් එකකුත් තියෙනවාලු. ඒ වුණාට හැමදාම ඇඳගෙන ආවෙ බඩ පෙනෙන කොට කමිසයක්. ටීචර් ඒ කමිසෙ හොඳ නැහැ ය කියලා එයාගෙ පුතාගෙ කමිසයක් ගෙනත් දුන්නා.

ටීචර්ගෙ පුතාගෙ නම යසිත්. එයා ශිෂ්‍යත්ව විභාගෙ පාස් නැහැ. එයාගෙ අක්කා කිව්වා, “එයා ශිෂ්‍යත්වෙ පාස් වෙන්නෙ කොහොම ද? එයාට විභාගෙ දවසෙ දාන්න අරන් දීපු සපත්තු කුට්ටම දාමින්, ගලවමින් හිටියා මිසක් එයා ප්‍රශ්න පත්තරේට උත්තර ලියල නැහැ,” කියලා.

එයා නිතර ටීචර් හම්බ වෙන්න එනවා. සමහර දවස්වලට බොරු ලෙඩ අරගෙනත් එනවා. ටීචර් සමහර දවස්වලට එයාව ආපහු පන්තියට පන්නනවා. එයා ඉගෙන ගන්නවාට වඩා කැමති ක්‍රිකට් ගහන්නටයි. පස්සෙ කාලෙක අපේ ටීචර් තමයි ඉස්කෝලෙ 13න් පහළ ක්‍රිකට් කණ්ඩායම භාරව හිටියෙ. ටීචර්ගෙ පුතාත් 13න් පහළ ක්‍රිකට් සෙල්ලම් කළා.

හැම අවුරුද්දක ම අවසන් වාරෙ නිවාඩු දෙන දවසට අපි පාටියක් දානවා. අම්මා මට පන්තියට ගෙනියන්න මෙගා බීම බෝතලයක් අරන් දුන්නා. බීම බීලා අපි මත් වෙලා වගේ හිටිය.  පිරිමි ළමයින්ට අපත් එක්ක ඉරිසියායි. ඔවිඳු ඇවිත් අපේ බීම බෝතල්වල ඉතුරු වෙලා තිබුණ බීම මූඩියෙන් බිව්වා. ඊට පස්සෙ පිරිමි ළමයි බීම බෝතල්වල වතුර දාගෙන වතුර ගහගත්තා. අපටත් වතුර ගැහුවා. හිරුෂිගෙ බූසි කොණ්ඩෙ තෙමිලා, තෙත පිටින් කොණ්ඩෙ දාගත්ත නිසා ඇයට හිසේ කැක්කුමකුත් හැදුණා.

වැස්ස දවසට හරි විනෝදයි. නිම්සිළු එහෙම එළියට ගිහින් තෙමිලා පන්තියට වතුර ගෙනැවිත් බිම හැඩි කරනවා. සීතල දවසට ටීචර් අපට අත් දෙක එකට අතුල්ලලා කම්මුල් දෙකේ තියාගන්න කියනවා. එතකොට උණුසුම් වෙනවා.

ඉරේෂා ටීචර්ගෙ මඟුල් ගෙදර ගිය දවසෙ ටීචර් ලස්සන කොළ පාට සාරියක් ඇඳගෙන ආවා. ඒකෙ හැම තැනම රත්තරං කුඩු. ටීචර්ගෙ පුටුවෙයි, මේසෙ යටයි හැම තැනම එදා රත්තරං කුඩු වැටිලා තිබුණා.

තුනේදි අම්මලා, තාත්තලාගෙන් සල්ලි එකතු කරලා අපේ පන්තියට ටීවී එකක් සවි කළා. ටීචර්ගෙ ලැප්ටොප් එකෙන් ඒකෙ ගණිතය, පරිසරය වගේ පාඩම් වගේ ම සිංදු එහෙමත් දාලා පෙන්නනවා. සමහර දාට ටීචර්ගෙ ලැප්ටොප් එකට වයිරස් එනවා. ඒ වගේ දවස්වලට ටීචර්ගෙ පුතා යසිත් අයියට එන්න කියනවා ඒක හදල දෙන්න.

පිරිමි ළමයි අපට ගෑනු කියල බනිනවා. එතකොට ගෑනු ළමයිත් බනිනවා. මං පිරිමි ළමයින්ට එක එක ඒවා කරන්නෙ නැති නිසා පිරිමි ළමයි මට කරදර කරන්නෙ නැහැ. සමහර දවස්වලට පිරිමි ළමයි ගෑනු ළමයින්ව එළියට දාලා දොර වහනවා.  

ඉස්සර මට එච්චර වැඩ බැහැ. හැබැයි, ටීචර් හැම ළමයට ම එක වගේ ආදරෙයි. ටීචර් හතරෙදි මාව බලාගන්න එක බිනදිට භාර දුන්නා. එයාට ගොඩක් වැඩ පුළුවන්. හැබැයි අන්තිම වාර විභාගෙදි මං බිනදිට වඩා ලකුණු ගත්තා. අම්මා මට බිනදිට දෙන්න තෑග්ගක් අරගෙන දුන්නා.

ට්‍රිප් යනකොට ටීචර් අපත් එක්ක සිංදුත් කිය කියා බස් එකේ ගියා. එදා ගෝල්ෆේස් වහලලු. ගෝල්ෆේස් යන්න ඕනෑ ය කියලා පිරිමි ළමයි උද්ඝෝෂණ කළා. ඒ පාර ටීචර් අපව වෙන තැනකට එක්කගෙන ගියා. ඒකෙ යන්නෙ නැති පොඩි කෝච්චියක් තිබුණා. මං නම් ඊට කලින් තාත්තයි, අම්මයි එක්ක එතනට ගිහින් තිබුණා.. එතනදි තමයි අපි බත් කෑවෙ. ට්‍රිප් එක ඉවර වෙලා ඇවිත් හැම ළමයෙකුගෙ ම අම්මා හරි තාත්තා හරි ඇවිත් ඔක්කොම ළමයි එක්කගෙන ගියාට පස්සෙ තමයි ටීචර් ගෙදර ගියේ. එතකොට රෑ වෙලා.

ටීචර් නිවාඩු ගත්තෙ බොහොම කලාතුරකින්. ඉඳල හිටල නිවාඩු ගත්තෙ එයාගෙ වයසක අම්මා අසනීප වුණ දවස්වලට වෙන්න ඇති.

හතරෙ පන්තියෙ අන්තිම දවසෙ අපි ටීචර්ගෙන් සමුගන්න දවසෙ ඇය අපට කාඩ් එක බැගින් දුන්නා, ඇය ගැන අදහස් ලියන්න. මම I love you කියා ලිව්වා. මම ටීචර්ට හරි ආදරෙයි. දැන් මං පහේ. ඒත්, මං ටීචර් බලන්නට යනවා.