Roshan Abesundara

සාගරය රැකගන්න ඉන්දියාවට පිහිනා ආපසු පැමිණ වාර්තා තැබූ රොෂාන් අබේසුන්දර

පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දර 2021 අප්‍රේල් 11දා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ දනුස්කොඩි දක්වා පිහිනා ආපසු පැමිණ වාර්තාවක් තැබුවා. කිලෝමීටර් 59.3ක් ගෙවමින් දනුස්කොඩි දක්වා පිහිනා ආපසු පැමිණීමට රොෂාන් පැය 28යි විනාඩි 19යි තප්පර 43ක් ගතකළා.

රොෂාන් විසින් අලුත් කරනු ලැබුවේ කුමාර් ආනන්දන් විසින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා තබන ලද පනස් වසරක් පැරණි වාර්තාවක්. වයස අවුරුදු 27ක් වෙද්දී, 1971දී ආනන්දන් පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට පිහිනා ආපසු පැමිණ වාර්තාවක් පිහිටෙව්වා. ඔහුට ඒ වෙනුවෙන් පැය 51ක් ගතවුණා. කුමාර් ආනන්දන්ගේ රසවත් ජීවිතය ගැන මෙම ලිපියෙන් කියවන්න. ලංකාවේ ගිනස් වාර්තා රජු වූ කුමාර් ආනන්දන්

1989දී මාතර තලල්ලේ වැඩිමල් හා බාල සහෝදරියන් දෙදෙනෙකුට මැදිව උපන් රොෂාන් අබේසුන්දර මාතර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ සිට පිහිනුම් ක්‍රීඩාවේ දස්කම් දැක්වූවෙක්. වර්තමානයේදී ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරනවා.

2021 ජනවාරි 3දා මාතර සිට කොග්ගල දක්වා කිලෝමීටර් 25ක දුරක් පැය 10යි විනාඩි 37කින් පිහිනමින් ඔහු වාර්තාවක් තැබුවා. 2021 පෙබරවාරි 27දා මාතර සිට හික්කටුවට හා ආපසු උනවටුනට කිලෝමීටර් 49ක දුරක් පැය 23යි විනාඩි 10කින් පිහිනමින් ඔහු එම වාර්තාව අලුත් කළා.

සාගර ජලයට ප්ලාස්ටික්, පොලිතින් එක් නොකරන ලෙස උද්දේශනය කිරීම තමයි ඔහුගේ පිහිනුම් වාර්තාවේ අරමුණ. යහපත් අරමුණු වෙනුවෙන් උද්දේශනය කිරීම සඳහා මෙවැනි ක්‍රියාකාරකම්වල යෙදීම අගය කළ යුතුයි. ඔහුගේ පිහිනීම ආරම්භ කළ අවස්ථාවයි මේ. https://www.youtube.com/watch?v=YNDIP9L6Y14

ඔහු ගිනස් වාර්තාව පිහිටුවා ආපසු පැමිණි අවස්ථාව මෙතැනින්

බීබීසී සිංහල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි,

සාගර දූෂණය සම්බන්ධයෙන් 2010 වසරේ එක්රැස් කරන ලද දත්ත ඇසුරෙන් ‘යුනිවර්සිටි ඔෆ් ජෝර්ජියා’ සරසවියට අනුබද්ධව කටයුතු කරන මහාචාර්ය ජෙනා ජැම්බෙක්ගේ ප්‍රධානත්වයෙන් 2015 වසරේදී පරීක්ෂණ වාර්තාවක් එළිදැක්වුණා.

ඉහත කී වාර්තාවෙහි අඩංගු සංඛ්‍යාලේඛනවලට අනුව ලොව වෙරළ කලාපය දුෂණය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පස්වන ස්ථානයට වර්ගීකරණය කර තිබුණා.

අදාළ වාර්තාවට අනුව චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවන රටවල්.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ දිනකට

  • එක් පුද්ගලයෙකු උත්පාදනය කරන කැලිකසල ප්‍රමාණය කිලෝග්‍රැම් 5.1
  • උත්පාදනය කෙරෙන සම්පූර්ණ කැලිකසල ප්‍රමාණය කිලෝග්‍රෑම් 7,429,768
  • උත්පාදනය කෙරෙන ප්ලාස්ටික් කැලිකසල ප්‍රමාණය කිලෝග්‍රෑම් 5,163,689

ශ්‍රී ලංකාව වසරකට කළමනාකරණය නොකරන ලද කසල මෙට්‍රික් ටොන් මිලියන 1.59 ක් බැහැර කරන බව ද ඉහත කී වාර්තාවේ සඳහන් වේ.

Creative Content Consultants