Baddegama Samitha Thero

සමිත හිමි, ක්‍රිස්ටෝපල්, එසයිලම්, පළමු මන්ත්‍රී හිමි, සුනාමිය, රෝයල් පාක්

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු භික්ෂුව බද්දේගම සමිත හිමියෝය. ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කර 2001 මහ මැතිවරණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ජයගෙන පාර්ලිමේන්තුව නියෝජනය කළ උන් වහන්සේ හේතුවෙන් පාර්ලිමේන්තුවට සුදුසු ඇඳුම් අතරට සිවුර ද එකතු කිරීමට සිදු විය.

2009න් පසුව සමිත හිමියෝ ගාල්ල දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභාව නියෝජනය කළහ.

1977 ජයග්‍රහණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ මර්දනය කිරීම සඳහා මැර බලය පුළුල් ලෙස යොදාගත්තේය. එජාපට සම්බන්ධ දැවැන්ත මැරවර බලකායක් රට පුරා පැවති අතර ඔවුන්ගේ මර්දනයට ලක්නොවූ කිසිදු විරුද්ධ පාක්ෂිකයකු නැති තරම්ය. 1978 මාර්තු 16වැනිදා කැළණි සරසවියට ඇතුළුව සිසුන්ට පහරදීමට උත්සාහ කළ එජාපයේ සමවාදී ශිෂ්‍ය සංගමයට හිතවත් මැරවරයකු වූ වූ ක්‍රිස්ටෝපල් ජයතිලක සිසුන්ගේ ප්‍රතිප්‍රහාරවලින් මරණයට පත්වූ අතර බද්දේගම සමිත හිමියන්ට මිනීමැරුම් චෝදනා එල්ල විය. එහෙත්, නඩුව අවසානයේදී සමිත හිමි නිදහස් විය. ඔහුගේ නඩුව වෙනුවෙන් පෙනීසිටියේ සමසමාජ නායකයන් හා කීර්තිමත් නීතීඥවරුන් වූ කොල්වින් ආර්. ද සිල්වා හා බැටී වීරකෝන්ය.

1978 මාර්තු 19වැනිදා කැලනියේ පැවති ක්‍රිස්ටෝපල්ගේ අවමඟුල් උත්සවයට ද ජනාධිපති ජයවර්ධන සහභාගි විය. ක්‍රිස්ටෝපල් එජාප ආණ්ඩුවේ කැලනිය මන්ත්‍රී ධුරය දැරූ ජාතිවාදී සිරිල් මැතිව්ගේ මැරයකු විය.

සමිත හිමියන්ගේ සමාජ නායකත්වය කැපී පෙනුණු අවස්ථාවක් වූයෙ 2004 දෙසැම්බර් 26 සුනාමියෙන් පසු හික්කඩුව ආශ්‍රිත ප්‍රදේශවල එහිමියන් සිදුකළ මැදිහත්වීමයි. පැරෑලියේ දුම්රිය අනතුර ඇතුළු ආපදා හේතුවෙන් මළමිනී දහස් ගණනක් ගොඩගැසී, එම ප්‍රදේශයට ළඟාවන්නට පවා නොහැකිව තිබුණු සමයක උන් වහන්සේ ප්‍රදේශයේ නායකයකු ලෙස තීරණ ගෙන

1952 සැප්තැම්බර් මස ඉපිද බද්දේගම රතනසාර විදුහලින් අධ්‍යාපනය ලබා, 12 හැවිරිදි වියේදී ගාලු කෝරළේ ප්‍රධාන සංඝනායක, දුටුගැමුණු රජමහා විහාරාධිපති ගනේගම ශ්‍රී සරණංකර හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි දිවියට ඇතුළත් වූ සමිත හිමි පසු කලෙක බද්දේගම ශ්‍රී පාද චෛත්‍යාරාමාධිපති ධුරය හෙබවීය.

1976දී කැලනිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්නේ නවසමසමාජ පක්ෂයේ හා කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයකු හා ශිෂ්‍ය සංගම් නියෝජිතයකු විය.

සමිත හිමියන්ට කැලනිය විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කිරීමට බැරි විය. ඔහුට කොමියුනිස්ට් පක්ෂයේ මැදිහත්වීමෙන් ලුමුම්බා සරසවිය වෙත ලබාදුන් ශිෂ්‍යත්වය ද රජය මැදිහත් වී වැළැක්වූයේය. 1986දී තුන්වන ලෝකයේ සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයක් සඳහා ජර්මනියට ගොස් සිටියදී නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ උන්වහන්සේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබ ‘සන්සන්දනාත්මක ආගම් සහ තුන්වන ලෝකයේ සංවර්ධනය’ පිළිබඳ උපාධියක් ලබා 1988දී ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේය. එම වකවානුවෙහි ඔහු නව සමසමාජ පක්ෂයේ විධායක සභිකයකු ද විය. ඔහු ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පිවිසුණේ බද්දේගම ප්‍රාදේශීය සභාවෙනි.

භික්ෂුව හා දේශපාලනය ගැන අදහස් දක්වමින් 2020 පෙබරවාරි 8 දින සිළුමිණ පුවත්පතට සමිත හිමියෝ මෙසේ පැවසූහ. “මේ රටේ භික්ෂුව ‍ දේශපාලනයට අවතිර්ණ වෙලා තියෙන්නේ; රටේ, ඉතිහාසයේ, අවශ්‍යතාව අනුවයි. යටත් විජිතවාදයට විරුද්ධව, අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ,ව නිදහස් අර‍ගලවලදි පෙරමුණ ගෙන කටයුතු කර තියෙනවා. මේ අනුව ජනතාවගේ අවශ්‍යතාවකට අනුව මිසක් භික්ෂුවගේ අවශතාව අනුව භික්ෂුව දේශපාලනයට ආවේ නෑ. අද වෙන විටත් මේ රට විශාල අහේනියකට පත්වෙලා තියනවා. මිනිස්සු ප්‍රශ්න කතා කරන්නේ ජනතාවට වඩා සමීපව ඉදිරිපත් කරන්නේ භික්ෂූන් වහන්සේට. ඇති නැති පරතරයෙන් දුක් විඳින මිනිසුන්ගේ දුක කියන්නේ භික්ෂුන්ටයි. මේ වර ස්විට්සර්ලන්තයේ පැවැති ලෝක රාජ්‍ය නායක සමුළුවට ඔක්ෂෑම් කියන ආයතනය ඉදිරිපත් කරපු වාර්තාව කියවද්දි අපිට තේරුම් ගන්න පුළුවන්; ඇති නැති පරතරය වැඩිවෙලා තියනවාද කියලා. ලෝකයේ මුළු ජනගහනය සතු ධනය සමානයි. බිලියනපතියන් දෙසිය පනස් තුන් දෙනකු සියයට හැටක ධනය හිමි කරගෙන තියෙනවා. මේ තත්ත්වය උඩ පීඩාවට පත්වන ජනතාව අනිවාර්යයෙන් අපට දුක කිව්වාම අපිට රටේ පාලකයන් සමඟ එ් සම්බන්ධයෙක් කතා කරන්න ඍජු සම්බන්ධතා තිබිය යුතු යි. අපිට සිද්ධ වෙනවා කිසියම් ජනතා බලයක් අරගෙන ඒ ජනතාවගේ ප්‍රශ්න අඳුන ගෙන ඒ පාලකයන්ට කියන්න. හාමුදුරුවෝ අනුශාසනා කරනවා කියලා කිව්වාට; ඒ හාමුරුවන්ගේ අනුශාසනා කවුරුත් පිළිගන්නේ නැහැ. බලයක් ඇතිව කියන්න නම් ජනතා බලයක් අපිට තිබිය යුතුයි. උදාහරණයක් ලෙස මා ගාලු දිස්ත්‍රික්කයේ කළ සේවාව කිසිදු කෙනෙක්ට කරන්න බැහැ; රාජ්‍ය බලය සමඟ සම්බන්ධ නොවුණා නම්. සියලු දෙනා නොවෙයි මේ විෂයයට කැමැත්ත දක්වන; ජනතාව‍ගේ දුකට ඇහුම් දෙන භික්ෂුවක් ජනතාවගේ අවශ්‍යතාව සැපිරීමට ක්‍රියා කිරීම සාධාරණ ක්‍රියාවක් කියලා මම හිතන්නේ. එයට දේශපාලනය සහ සමාජ සේවය කියලා කියන්නට පුවවන්. නමුත් කරන්නේ ජනතාගේ දුකට ඇහුම් කන්දීලා ඒවාට සුදුසු පිළියම් යෙදීමට පාලක අවධානය යොමු කළ යුතුයි. අපේ බැඳීම තියෙන්නේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් පමණයි.”

පහත දැක්වෙන්නේ සමිත හිමියන් ගැන දිවයින පුවත්පතේ පළවූ ප්‍රවෘත්ති වාර්තාවකි.

සිවුරු හැර අලුගෝසු වැඩේ කරන්න සමිත හිමි සූදානම්

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

යාපනයේ කයිට්‌ස්‌ දූපත්වලදී සමූහ දූෂණය කොට ඝාතනය කරනු ලැබූ පාසල් සිසුවියගේ ඝාතකයන්ට අධිකරණය මගින් මරණ දඬුවම් ලබාදුනහොත් සිවුරු හැරලා අළුගෝසුවා කාර්ය කිරීමට තමන් සූදානම් බැව් දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් ඊයේ (07 දා) දකුණු පළාත් සභා රැස්‌වීමේදී පැවසූහ.

පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්‌වෙමින් සමිත හිමියෝ මෙසේ ද පැවසූහ.

දරුවන් වෙනුවෙන් මා අළුගෝසුවාගේ කාර්ය භාරය කරලා හිත හදාගෙන සිවුරු හැරලා වනගත වෙලා භාවනා කරනවා. මා භික්‍ෂුවක්‌. කාටවත් වෛර කරන්නේ නැහැ. අපේ රටේ එල්ලුම්ගහ දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. එල්ලුම් ගහට අළුගෝසුවන් තෝරාගත්තත් ඔවුන් රාජකාරිය කරන්න කැමැති නැහැ. ඉවත්වෙලා යනවා. නමුත් යාපනයේ කයිට්‌ස්‌ දූපත්වලදී සමූහ දූෂණයට ලක්‌කොට ඝාතනය කරනු ලැබූ වින්ද්‍යා දැරියගේ ඝාතකයන්ට අධිකරණයෙන් මරණ දඬුවම නියම වුවහොත් දරුවන්ගේ නාමයෙන් මා අළුගෝසුවාගේ කාර්ය කරනවා.

අධිකරණයෙන් ඒ තීන්දුව ලැබුණහොත් සහතික වශයෙන්ම මා ඒ කාර්ය කරනවා. ඒ සඳහා මට අවසර ලබාදෙන්න. ඊට පස්‌සේ මගේ ජීවිතය නැති වුවත් කමක්‌ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයට ගිහිල්ලා එම දැරියගේ ඥතීන්ට ප්‍රකාශ කළා විශේෂ අධිකරණයක්‌ මගින් මේ නඩුව අහනවා කියලා. ඒ ගැන ජනාධිපතිතුමාට ප්‍රශංසා කරනවා යෑයි ද සමිත හිමියෝ පැවසූහ.

සභාපති කේ. ඒ. සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා රැස්‌වීම ගාල්ල කලේගානේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

http://www.divaina.com/2015/07/08/news22.html

එහෙත්, රෝයල් පාක් නිවාස සංකීර්ණයේ පියගැට පෙළ මතදී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙල සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වී මරණීය දණ්ඩනයට නියම වී පසුව ජනාධිපති සමාවක් මත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටි ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිය ධුර කාලයේ අවසන් දිනවලදී නිදහස් කළ අවස්ථාවේදී ඒ සඳහා ඉල්ලීම් කළ අය අතර අතුරලියේ රතන හිමියන්ගේ මෙන්ම බද්දේගම සමිත හිමියන්ගේ නම ද සඳහන් විය. සමිත හිමියෝ තමන් එවැනි ඉල්ලීමක් කළ බව ප්‍රතික්ෂේප කළහ.

තවත් සැබෑ මිනිසුන් ගැන කතා මෙතැනින්

Creative Content Consultants