Getahetta old railway station

කැලනිවැලි දුම්රිය නැවත රත්නපුරයට

කැලනිවැලි දුම්රියේ ගමන දැන් අවිස්සාවේල්ලෙන් අවසන්ය. අතීතයේදී එය පටු මාර්ගයක ගමන්කරන දුම්රියක් හෙවත් පුංචි කෝච්චියක් ලෙස ඕපනායක දක්වාම ගමන් කළේය. දැන් ඒ ඉඩම් ඇතැමෙකු අල්ලාගෙනය.

මාකුඹුර බස් නැවතුම්පොළ යනු ජාතික භෞතික සැලැස්ම අනුව දුම්රිය හා බස්රිය සම්බන්ධ කරන ප්‍රවාහන මධ්‍යස්ථානයකි. ඒ හා සමග කැලනිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කළ යුතුව තිබේ. 2030 භෞතික සංවර්ධන සැලසුමට අනුව ආසියානු දුම්රිය මාර්ග පද්ධතියට ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරම, කොළඹ හරහා කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල , කහවත්ත , ඇඹිලිපිටිය සහ හම්බන්තොට දක්වා සම්බන්ධ කළයුතුයි. එහෙත්, තවමත් එය තනි මාර්ගයක් පමණක් ඇති අකාර්යක්ෂම දුම්රිය මගකි.

කැලනිවැලි දුම්රිය නැවත රත්නපුරයට ගෙනයාමේ සිහිනය වෙනුවෙන් සටන්කරන අය අතර මේ වන විට ඉදිරියෙන් සිටින නායකයකු වන්නේ පරිපාලන නිලධාරීවරයකු වන චම්පික නිරෝෂ් මහතාය. අප පහත උපුටා දක්වන්නේ ඔහුගේ සටහනකි.

රුවන්පුර අධිවේගී මාර්ගය වැනි මෙගා සංවර්ධන ව්‍යාපෘතිවලට ඇස යොමුවන ප්‍රතිපත්ති සම්පාදකයන්ට කැලනිවැලි දුම්රිය මාර්ගය නොපෙනෙන්නේ ඇයි?

යෝධ සැලසුම් නොමැතිව කැළණිවැලි දියුණු කල නොහැකිද?

චම්පික නිරෝෂ්

මාතර සිට හයිවේ එක දිගේ කොට්ටාවට එන්නට ගතවෙන වෙලාවට වඩා වැඩි වෙලාවක් කොට්ටාවේ සිට කොටුවට එන්නට ගතවන අත්දැකීම විඳ ඇතිද? අවිස්සාවේල්ලේ සිට කොළඹට දිනපතා එන ජනාධිපති සහකාර ලේකම් Mayura Prasad Arandara මහතා අද විඳින “කොළඹට පැය තුනක්” මමද බොහෝ කලක් විඳ ඇත්තෙමි.. කැම්පස් ඉන්න කාලයේ ලව් කරන්නට 4.30ට මරදානෙන් කෝච්චියට නැග 8.30ට අවිස්සාවේල්ලට පැමිණ ඉතිරි ටික යන්නට බස් නැතිව අනාගත මාමණ්ඩියගෙන් ගුටිනොකා නූලෙන් බේරුනු අයුරු අදද මතකයට නැගේ..

රටේ වැඩිම ජන ඝණත්වය ඇත්තේ කැළණි නිම්නය දෙපසය.. කර්මාන්ත වලින් අඩකට වඩා කැළණිවැලියේ ස්ථානගත වී ඇත.. සුද්දා ඇඳ දුන් දිස්ත්‍රික් මායිම් නිසා දිස්ත්‍රික්ක දෙකකට අයත්වන කැළණි ගං ඉවුරු දෙපස ස්ථානගතව සිටින පදිංචිකරුවන් ගණන සහ කර්මාන්ත ගණන නිවැරදිව සොයාගත නොහැකි වුවත් ගුවන් සිතියමක් දෙස බැලූ පමණින් දළ අවබෝධයක් ලැබෙනු ඇත..

එවන් වැදගත් කැළණි නිම්නයේ ප්‍රවාහනය ගැන වසර 70ක් තිස්සේ අප කර ඇත්තේ කුමක්ද? අවිස්සාවේල්ලේ සි⁣ට කොළඹ යාම තරම් එපාවන ගමනක් තවත් නැත.. High level, Low Level කියා වෙනසක් නැත.. කාර්ය බහුල වේලාවේ කොළඹට යන්නට පැය තුනකට වඩා ගත කරන ශ්‍රම බලකාය, දැවෙන ඉන්ධන ප්‍රමාණයන් ගනනය කර තිබේද? ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණි නිම්නයද එසේමය.. කොස්ගමින් හංවැල්ලෙන් කඩුවෙලින් හා කැළණියෙන් එහා මෙහා මාරුවුවත් සම්පූර්ණ ගමනට වැයවන කාලය වෙනස් නොවේ..

1974දී කොරියාවේ සෝල් නගරයේ මුල්ම සබ්වේ එක ඉදිකල ආකාරය KTX එකේ ලොක්කෙකුගෙන් උගතිමි. ලෝකයේ දියුණු රටවල උමං දුම්රිය මාර්ග ප්‍රවාහනය සඳහා යොදාගනිද්දී ඒ වනවිටද OECD රටක් නොවූ කොරියාවට ජෙනරාල් පක් චුං හී හඳුන්වා දුන් කපටි/ප්‍රදර්ශණාත්මක සබ් වේ එක ලෙස Propaganda Subway ලයින් අංක එක ඉදිකල බව ලොක්කා පැවසීය..

සැබෑවකි. සෝල් සබ්වේ ලයින් වන් ගැන ගූගල් දෙවියන්ගෙන් අසා අවශ්‍ය අයෙකුට එම කතාව සහසුද්දෙන්ම දැනගත හැක. (ඒ වන විටද තිබූ දුම්රිය මාර්ග දෙකක් යා වන්නට කෙටි උමගක් පමණක් සකසා විශාල ප්‍රසිද්ධියක් ලබා දුන් බව එහි කියවේ.) එසේ ඇරඹි සෝල් සබ්වේ එක අද වනවිට ඉතා දියුණු ප්‍රවාහන ක්‍රමයකි..

අපට කොරියො මොනවා කළාදැයි වැඩක් නැතත් එක් පාඩමක් වැදගත්ය.. “දැන් අප සිටින තැනින් අරඹමු” යන්න එම පාඩමයි.. දුම්රිය උදාහරණයක් ලෙස ගනිමු. අප කිසිදා දැක නැති මොනෝ රේල් එකක් එනතෙක් බලා හිඳින්නෝ වෙමු. එහෙත් දැනට ඇති දේ දියුණු කරන්නට නොසිතන්නෙමු..

පාදුක්ක සිට මරදාන දක්වා දුම්රිය මාර්ගය ද්විත්ව ලෙස සංවර්ධනය කරන්නට සහ එය පොළව මත දුවන මෙට්‍රෝ පද්ධතියක් බවට පත් කර කැළණි නිම්නයෙන් එක් අඩක ගැටලුව වහා විසඳන්නට බැරි ඇයිදැයි සොයා නොබලන්නේ ඇයිදැයි කිසිදු පුරවැසියෙක් විමසනු මා දැක නොමැත. (දුම්රිය මාර්ගයේ පයින් යාම තහනම් වුනත් පාදුක්කේ සිට මරදානට යාහැකි කොටස් දිගේ පයින් ගොස් ද්විත්ව මාර්ගයක් ඉදි කරන්නට ඉඩම් ගැටලු ඇති තැන් ඇතිදැයි සොයා බැලූ නමුත් අනවසර කරුවන් පිරිස හැර වෙනත් ගැටලු නොදුටිමි.)

කැළණි නිම්නයේ උදේ සවස මහමග ඊයම් මිශ්‍ර දුම ආඝ්‍රාණය කරමින් දුක් විඳින මහජනයා සුවපහසු විදුලි දුම්රියක නැගී අඩ පැයකින් පාදුක්කේ සිට කොළඹ එන්නට අකැමතිව වත්ද ?

(කවරයේ ඡායාරූපය: නවීකරණය කරන ලද කැලනිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නොන කොටසේ ගැටහැත්ත පැරණි දුම්රිය ස්ථානය ඉදිරිපිට චම්පික නිරෝෂ්)