Sujeewani of Pitadeniya

අජිත් පැරකුම් ජයසිංහ

සුජීවනී හෙවත් සුජී අපට හමුවුණේ දෙනියායෙ මෙදේරිපිටියේදී. ඇය දෙනියායේ පිටදෙනියෙන් සිංහරාජ වනාන්තරයට ඇතුළු වන පිවිසුම ආසන්නයේ ජීවත්වන තිස්විය ඉක්මවූ කාන්තාවක්. ඇය පිළිබඳ සටහනක් තබන්නට හේතු වුණේ ඇය කරන සුවිශේෂ රැකියාව නිසායි. ඇය සිංහරාජය බලන්නට යන සංචාරකයන්ට මගපෙන්වන්නියක්. විස්සකට වැඩි පිටදෙනියේ සංචාරක මාර්ගෝපදේශකවරුන් අතර සිටින කාන්තාවන් දෙදෙනෙකු අතරින් සුජී කැපීපෙනෙනවා.

සිංහරාජය බලන්නට යන්නට මාර්ගෝපදේශයකයකු අවශ්‍ය බව අප අප සිටි හෝටලයේ සේවිකාවන්ට කී විට ඔවුන් දුරකථන ඇමතුමක් දී කැඳෙව්වේ කාන්තාවක බව ඇය දකින තෙක්ම අප දැන සිටියේ නැහැ. ගමනට ඔබින ඇඳුමින් සැරසී, මුහුුණු ආවරණත් පැළඳගෙන පැමිණි ඇය අපට ලුණු පැකට්ටුවක් ලබා දී සපත්තු වටා පවා හැමතැනම ලුණු තවරාගන්නා ලෙස උපදෙස් දුන්නා. කූඩැල්ලන් ජීවත් වන ප්‍රදේශයකින් පැමිණි පණ්ඩිතයකු වූ මම සපත්තුව වටා ලුණු ගාගන්නට අවශ්‍ය යයි සිතුවේ නැහැ. ඒත්, ඇය ලුණු ගාගන්තා. මං කෙතරම් වැරදිද යන්න තේරුණේ සපත්තුව ඇතුළෙන් කූඩැල්ලකු කන වේදනාව දැනුණු විටයි.

සුජීවනී ගමනාරම්භයේදීත්, අතරමගදීත් සිංහරාජය ගැන වටිනා විස්තර රැසක් ඉදිරිපත් කළා. ඇය අප ඉදිරියෙන් ගමන් කළේ මනා සැලකිලිමත් බවකින්. අපට නොපෙනෙන පරිදි වනයේ සැඟවී සිටි පිනුම් කටුස්සන්, බෝදිලිමන්, ඇහැටුල්ලන්, කුරුල්ලන් ඇගේ නෙත ගැටුණා. වනයේ තිබුණු විශේෂ ශාක පිළිබඳවත් ඇය අපට විස්තර කළා.

අප ගිය පාර අතරමගදී අපට ගැමියන් කිහිපදෙනෙකු හමුවුණා. “මේ අඩිපාර තමයි ලංකාගම ඉඳන් මෙදේරිපිටියට යන පැරණි මාර්ගය. සංවර්ධනය කරන්නේ මේ පාර නෙමෙයි. ඒ පාර සංවර්ධනය කළාට පස්සෙ මේ පාර වහන්න කියලා තමයි අපි ඉල්ලන්නෙ,” යි සුජී කීවා.

ලංකාගම සිට මෙදේරිපිටිය බලා යන පාර දිගේ තමයි අපි නෙළුවේ සිට මෙදේරිපිටියට ආවෙ. ඒ පාර තවමත් හමුදාව විසින් සංවර්ධනය කරනවා. තිබුණු පාරක් තමයි හදන්නෙ. ලොකු පරිසර හානියක් සිදුවී ඇති බවක් පෙනුණෙ නැහැ. දැන් තිබෙන ලංකාගම පැරණි කැලෑ ගමක් නෙමෙයි. සුන්දර, දියුණු ගමක්. ඒ ගම ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කළ හැකියි. ගම මැදින් සංවර්ධනය කරන පාරේ ගමන් කරන එකත් සෆාරියක් යනවා වගෙයි.

සංචාරක කර්මාන්තය නිසා ගැමියන්ට ඍජු ප්‍රතිලාභ ලැබෙනවා. එහෙම ලැබෙනකොට ගැමියන් වනය ආරක්ෂා කරන්නට පෙළඹෙනවා. හැබැයි, එහෙම හැඟීමක් නැති කපටි ජාවාරම්කාරයන් කොහෙත් ඉන්නවා. අතරමග ගෙදරක අපට හකුරු විකුණපු හොරා හොඳ හකුරු වගයක් කන්නට දී, කොළඹදීවත් සොයාගන්නට බැරි තරම් ජරා හකුරු වගයක් අපට විකිණුවා. මේ හොරුන්ගෙන් පැණි හකුරු එහෙම ගන්නවා නම්, උන් විකුණන හකුරු මුලෙන්ම කෑල්ලක් කාලා බලන්නට ඕනැ.

සුජී ගැන සටහනක් තබන්නට විශේෂයෙන්ම හේතු වුණේ ඇය ආබාධිත දරුවකු රැකබලාගන්නා දිරිය මවක් නිසා. ඇගේ මව්පියන් ඇයට උදව් කරනවා. සංචාරක කර්මාන්තය හොඳින් පවතින මාස හය තුළ ඇය මුළු අවුරුද්දම ජීවත් වෙන්නට ප්‍රමාණවත් ආදායමක් උපයාගෙන ඉතිරි කරගන්නවා. ඇගේත්, දරුවාගේත් පහසුව වෙනුවෙන් දැන් ඇය පාර අද්දරින් ගෙයකුත් හදලා. ගමේ පාසල්වලින් උසස් පෙළ දක්වා උගත් ගැමි තරුණියක වන ඇය මේ වන විට විදෙස් භාෂා කීපයකින් සංචාරකයන්ට මගපෙන්වන්නට සමත්. සිංහරාජය අධ්‍යයනය කරන්නට එන පරිසරවේදී හා පරිසරලෝලී සංචාරකයන් ඇගේ වෘත්තියේදී ඇයට මහත් සේ උපකාර වන බව සුජී පවසනවා.

“සමහර සංචාරකයන් එන්නේ සිංහරාජය ගැන ගොඩක් අධ්‍යයනය කරලායි. වතාවක් එක් සංචාරකයෙකුට ශ්‍රී ලංකාවට ආවේණික කැහිබෙල්ලා හා වලි කුකුළා කොහොමහරි බලන්නට ඕනෑ වුණා. පළමුවෙනි දවසේ කොච්චර ඇවිද්දත් දකින්නට ලැබුණේ නැහැ. මේ අඩි පාර දිගේ මෝටර් සයිකල් එහෙම යනවා. එතකොට සතුන් හැංගෙනවා. ඊළඟ දවසේ උදෙන්ම පිටත් වෙලා ගිහින් අපි කොහොම හරි මේ පක්ෂීන් දෙන්නාම බලාගත්තා,” සුජී තම අත්දැකීමක් පැවසුවා.

දෙනියායේ පිටදෙනිය පැත්තෙන් සිංහරාජයට පිවිසෙනවා නම්, ඔබටත් ඇගෙන් මාර්ගෝපදේශ ලබාගෙන රසවත් සංචාරයක් කරන්නට පුළුවන්. මේ පිවිසුම ආසන්නයේ හොඳ මට්ටමේ සංචාරක හෝටල් කීපයක් තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වෙන්කරගත හැකි සංචාරක නිවාස කීපයක් වනය මැද තිබෙනවා. විස්තර සුජීගෙන් අහන්න. දුරකථනය – 0716944428

සිංහරාජය ගැන විස්තරයක් මෙතැනින්

තවත් සොඳුරු මිනිසුන් ගැන විස්තර මෙතැනින්

Creative Content Consultants

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: