N.M. Perera and J.R. Jayawardane

අජිත් පැරකුම් ජයසිංහ

ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් නව ලිබරල් ශ්‍රී ලංකාවක් සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා රාජ්‍යයේ නම ‘ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය’ ලෙස වෙනස් කළේ ඇයි ද කියන එකත්, සමාජවාදී කෑල්ලක් මේ නමට එක් වුණේ කෙසේද යන්නත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්. ඒ නිසායි 2017දී ලියූ මේ ලිපිය නැවත පළකරන්නේ.

Translations by Creative Content Consultants

ජේ.ආර්. ජයවර්ධන තමයි මේ රට ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස ව්‍යවස්ථාගත කළේ. ඒ 1978දීයි.

මේ නමේ තිබෙන සමාජවාදී කෑල්ල බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුණා. ඇතැමෙකුට එය විහිළුවක් වුණා. එහෙත්, ජේ.ආර්. එය ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන්නේ බොහෝ දුරට හිතලා මතලායි.

1979 මාර්තු 23දා හොරණ ශ්‍රීපාලි සෞන්දර්ය විශ්වවිද්‍යාල පීඨය විවෘත කිරීමේ උත්සවයේදී ජේ.ආර්. මෙම කාරණය පැහැදිලි කරනවා. ඔහුගේ කතාවේ මෙහෙම තිබෙනවා.

“මා තෝරා දෙන්න යන වචනය සමාජවාදයයි. හුඟක් දෙනෙක් අහනවා තමුන්නාන්සේලා සමාජවාදය කියන්නේ එක්සත් ජාතික පක්ෂය සමාජවාදී පක්ෂයක් ද කියලා. ඔව්, අපි සමාජවාදී පක්ෂයක්.

“මේ රටේ සීයට හැටක් බඩු නිපදවන මාර්ග, බඩු බෙදන මාර්ග, මුදල් හුවමාරු කරන ක්‍රම රජයට හෝ මහජනයාට අයිතියි. සමාජවාදය කියන්නේ ඒකයි.

“ඩී.ඇස්. සේනානායක මහත්මයාගෙ කාලෙ තමයි (රජයේ) ඉඩම් පුද්ගලයන්ට, ධනපතීන්ට විකිණීම තහනම් කෙරුවෙ. ඒ නිසා ඒ සමාජවාදී ක්‍රමය අපි ආරක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වගේ ම. නමුත් අඩුපාඩු රාශියක් තියෙනවා.

“මේවා හොඳට පාලනය කරන්නෙ නැහැ. ඇතැම් ආයතන හොඳට පාලනය කරන්නෙ නැහැ. දූෂණ වැඩ කෙරෙනවා. රජයට ගත්තු වතුවල අඩුපාඩු තියෙනවා. හොරකම් කෙරෙනවා. පුද්ගලයන් අත තිබුණ කාලෙ වගේ මනා පාලනයක් නැහැ. නියම විදියට පාලනයක් නැත්නම් සමාජවාදය ඉතාමත් ම භයානක වාදයක් වෙනවා. භයානක ක්‍රමයක් වෙනවා.”

මේ කතාවෙදි ජේ.ආර්. වැඩිදුරටත් සමාජවාදය ගැන කතා කරනවා. ඔහු මෙහෙමත් කියනවා.

“අපි කෝකත් කරන්නෙ තමුන්නාන්සේලාගේ ප්‍රයෝජනයට. තමුන්නාන්සේලා ධනපතියන් වෙනවා නම් සන්තෝෂ වෙනවා. ධනපති ක්‍රමයට අපි විරුද්ධයි. නමුත් ධනපතීන්ට විරුද්ධ නැහැ. ධනපති ක්‍රමය කියන්නේ සටනකින්, ලේ වැගිරීමකින්, එක් එක්කෙනා පාගලා සූරා කාලා, කඩා වඩාගෙන තමන්ගෙ දියුණු වීම පමණක්, තමන්ගෙ මුදල් ගැන පමණක්, තමන්ගෙ කර්මාන්තශාලාව ගැන පමණක්, තමන්ගෙ මුදල් ගැන පමණක්, තම තමන් පෞද්ගලිකව දියුණු වීම ගැන පමණක් තණ්හාධික ලෙස ක්‍රියා කිරීම. ඒ ක්‍රමයට (අපි) අකැමැතියි. ඊට ඉඩ දෙන්නෙ නැහැ. නීති මාර්ගයෙන් සේවකයන්ගෙ ජීවිත ආරක්ෂා කිරීමට, පඩිය ආරක්ෂා කිරීමට, රැකියා ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

“දුප්පතුන් ධනපතීන් වීමේ වැරැද්දක් නැහැ. සමාජවාදී ආණ්ඩුක්‍රමයක් යටතෙ ධනපතීන් නැහැ…..”

මේ කතාව මා නැවත පළ කළේ එක් හේතුවක් මතයි. ලංකාවේ සමාජ ක්‍රමය වෙනස් කිරීම, විප්ලව කිරීම, සමාජවාදය ගොඩනැගීම ගැන කතා කරන, ඒ වෙනුවෙන් දිවි කැප කර සිටින බව කියන විශාල පිරිසක් සිටිනවා. ඒ අය මුලින් ම ලංකාවේ පවතින ක්‍රමය තේරුම් ගත යුතුයි. 

ලංකාවේ සමාජය වෙනස් කරන්නට තීරණාත්මක මැදිහත් වීමක් කළ අයෙකු තමයි ජේ.ආර්. ජයවර්ධන. ඔහුගේ නායකත්වය යටතේ ලංකාවේ ආර්ථිකය ලෝකයට විවෘත කළා. ඒ වගේ ම, අදටත් ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නා.

ජේ.ආර්. තමයි, විදේශ ආයෝජනවලට ලංකාව විවෘත කළ රාජ්‍ය නායකයා. කලින් පැවති ආණ්ඩු විසින් වන්දි ගෙවා රජයට පවරාගෙන තිබුණු වතු සමාගම් වැනි ව්‍යවසාය නැවත පෞද්ගලික අංශයට ලබා දුන්නෙත් ඔහු තමයි. 

ජේ.ආර්. බලයට එන විට ඇත්තෙන් ම ලංකාවේ රාජ්‍ය ධනවාදී සමාජවාදී සමාජ ක්‍රමය අසාර්ථක වෙලා ඉවරයි. සෝවියට් දේශය, චීනය වැනි රටවල තිබුණේ සමාජවාදයක් ය කිව්වාට ඒවා බොහෝ දුරට රාජ්‍ය ධනවාදී ඒකාධිපති රටවල්. රටේ සියලු දේපල, නිෂ්පාදන හා බෙදාහැරීමේ මාධ්‍ය රජය යටතට ගැනීම තමයි එහිදී සිදු වුණේ. සමාජවාදී ලක්ෂණයක් ය කියන්නට පුළුවන් මහජනයා විසින් පිහිටුවා ගන්නා ලද සමුපකාර පමණයි. එහෙත්, ලෝකයේ බොහෝ සමාජවාදී යයි කියන රටවල වුණා වගේ ලංකාවේත් සමුපකාර රජය විසින් ම අල්ලාගෙන තවත් එක් රාජ්‍ය ව්‍යවසායක් බවට පත් කරනු ලැබුවා. ඒවා සමුපකාර වුණේ නමට විතරයි. සමගි පෙරමුණු සමාජවාදී රජය තමයි සමුපකාර සංකල්පය ම කාබාසිනියා කර දැම්මේ. ඉන් පසු පැමිණි ජේ.ආර්.ගේ ආණ්ඩුව විවිධ සේවා සමුපකාර සමිතිවල මිනීපෙට්ටියට ඇණ ගැහුවා.  

ඇන්.ඇම්. පෙරේරාගේ නායකත්වයෙන් සමාජවාදයේ නමින් දියත් කරන ලද ස්වයංපෝෂී ආර්ථික ජාතිකවාදයේ අත්හදා බැලීම නිසා රටේ ජනතාව සෑහෙන දුෂ්කරතාවකට මුහුණ දී, ජනතාවට සමාජවාදයත් එපා වෙන තත්වයක් තමයි ඇති වී තිබුණේ. ඇන්.ඇම්ගේ ආර්ථික මූලෝපාය වූ සියල්ල තම රට තුළ ම නිපදවාගෙන පරිභෝජනය කිරීම යන ආර්ථික ජාතිකවාදී සංකල්පය හේතුවෙන් ජනතාවගේ ජීවිත ගුණය පිරිහුණා. ඒ වගේ ම, ආර්ථික වර්ධනයත් අඩාල වුණා. රැකියා හිඟය, දිළිඳුකම වැනි ප්‍රශ්න උග්‍ර වුණා.

ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් සහිතව රජයක් පිහිටුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. එම ආර්ථික ප්‍රතිපත්තියේ නියමුවා වන ඇන්.ඇම්. පෙරේරාට 1936න් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීකම පවා අහිමි වෙනවා. 

ධනේශ්වර ලිබරල් ඒකාධිපතිවාදියකු ලෙස සැලකිය හැකි ජේ.ආර්. ලංකාවේ පැවති සමාජ ක්‍රමය ගැන ඔහුගේ අවබෝධය මා ඉහත උපුටා දැක්වූ කතාවෙන් ප්‍රකාශ කරනවා. 

ඔහු ලංකාවේ වෙළඳපොළට මූලිකත්වය දෙන ආර්ථික ප්‍රතිසංස්කරණවලට මුල පුරන්නේ ඒ අවබෝධයේ සිටයි. හැබැයි, ඔහුට පවා පහසුවෙන් ධනවාදයට හැරවිය නො හැකි තරම් දැවැන්ත රාජ්‍ය අංශයක් රටේ තිබෙනවා. 

මේ රාජ්‍ය අංශය හකුළුවන්නට තීරණාත්මක පියවරක් කවුරුවත් ගත්තෙ නැහැ. ඒකට හේතුව තමයි, රජයෙන් පෝෂණය වුණ මධ්‍යම පංතිය 1977 වන විට දැවැන්ත, බලවත් පංතියක් බවට පත් වී තිබීම. දේශපාලන බලය තීරණය කළේ ප්‍රධාන වශයෙන් ම ඔවුනුයි. ජේ.ආර්. පවා කළේ මෙම පංතිය මත ම යැපෙන එකයි. 

එහෙත්, පෞද්ගලික අංශයට ප්‍රමුඛතාව දුන් ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රාජ්‍ය අංශය අකාර්යක්ෂම කරමින් දිය කර හරින්නටත් ඔවුන් කටයුතු කළා. මධ්‍යම පංතිය ඉතා ම පටු ආත්මාර්ථකාමිත්වයකින් යුක්තව තමන්ගේ රැකියා සුරක්ෂිතභාවය වෙත පමණක් අවධානය යොමු කරමින් අර කඩාවැටීම නො තකා හැරියා. ඒ විතරක් නෙමෙයි, ඒ අකාර්යක්ෂමතාව මත යැපෙමින් අඩුවෙන් වැඩ කරන්නට හා සාපේක්ෂව වැඩි වරප්‍රසාද ලබා ගන්නටත් අවස්ථාව පාදා ගත්තා.

මේ ආරම්භය තමයි පසුකාලීනව රාජ්‍ය සේවය සාධාරණීකරණය පිණිස සුබසාධනයට ආවරණය වන තත්වය දක්වා දිග්ගැහුණේ. 

Translations

1 thought on “ලංකාවේ නමට සමාජවාදී කෑල්ලක් එකතු වුණ හැටි

Leave comment

Your email address will not be published. Required fields are marked with *.