Ranil meets civil society groups

අජිත් පැරකුම් ජයසිංහ

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව කියයි. ඇත්තෙන් ම ඔහුට ඉවත් වන්නට සිදු වන තැනට වැඩ සිද්ධ වී තිබේ.

රනිල්ගේ පරාජය යනු ඔහුගේ පමණක් නොව එක්තරා දේශපාලන ධාරාවක ම පරාජයකි. එම දේශපාලන ධාරාවේ ලක්ෂණ කීපයක් මෙසේයි:

  • ලාංකීය ධනේශ්වර දේශපාලනය තුළ ජාතිවාදී නොවීම; ආගමික වශයෙන් අන්තවාදී නොවීම; අඩුවෙන් කුලවාදී වීම; පාසල්වාදය වැනි වෙනත් ගෝත්‍රවාදයන් අඩුවෙන් ප්‍රවර්ධනය කිරීම
  • ස්ත්‍රී පුරුෂ සමාජ සාධාරණත්වය ඇගයීම, ආර්ථිකයේ, දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම වෙනුවෙන් කටයුතු කිරීම, සුළුතර ලිංගික ප්‍රජාවන් ගැන වඩා සාධාරණ ලෙස කටයුතු කිරීම‍
  • මානව හිමිකම් පිළිබඳ අන්තර්ජාතික ප්‍රමිති පිළිගැනීම
  • පාලන ක්‍රමය තුළ ප්‍රජාතාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇපකැප වීම
  • විවෘත රාජ්‍ය පාලනය පිළිගැනීම
  • පුද්ගල හා සමාජ නිදහස ඇගයීම
  • වෙළඳපොළ නිදහස ප්‍රවර්ධනය කිරීම
  • ජාතික ආර්ථිකය ගෝලීය ධනවාදය තුළ පිහිටුවීමේදී ජාත්‍යන්තර විරෝධයෙන් හා සැකයෙන් තොර වීම‍
  • ජාත්‍යන්තරය සමග සාධනීය සම්බන්ධතා
  • ග්‍රාම්‍යත්වය වෙනුවට නාගරික පුරවැසිභාවය ප්‍රවර්ධනය කිරීම
Translations by Creative Content Consultants

රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂය තුළ මෙම ලක්ෂණවලට පරස්පර විරෝධී ලක්ෂණ තිබුණෙ නැද්ද? තිබුණා. දේශපාලන ව්‍යාපාර හා පුද්ගලයන් එහෙම තමයි. ඒත්, එහෙම වුණා ය කියලා මේ මූලික ලක්ෂණ වෙනස් වෙන්නෙ නැහැ.

2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සහ ඉන්පසු මහ මැතිවරණය ආදී කටයුතු වෙනුවෙන් මුදල් සෙවීමට මහ බැංකුව මංකොල්ලකෑම තමයි රනිල් කරපු ලොකුම දේශපාලනික ගොන් වැඩේ. රනිල් තවමත් හිතාගෙන ඉන්නෙ ඒක ඔප්පු කරන්නට බැරි වෙයි කියලා. ඔප්පු වුණත්, නැතත්, ඒ වෙනුවෙන් ගෙවිය යුතු මිල ගෙවන්නට වෙනවා. රනිල්ට නැවත දේශපාලනයට එන්නට ලැබෙන්නේ නැහැ.

රනිල්ට දේශපාලනය වෙනුවෙන් සල්ලි හොයන්නට මීට වඩා වෙනස් ක්‍රම තිබුණා. ඒවාත් දූෂණ තමයි. උදාහරණයක් විදියට රාජපක්ෂලා කරන දේ. විවිධ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් අරගෙන ඔවුන්ට මහා පරිමාණ කොන්ත්‍රාත් දෙන එක. ඒ වගේ ම විදෙස් කොන්ත්‍රාත්වලින් කොමිස් ගහන එක. යහපාලන ආණ්ඩුවේ හිටපු අය මහ බැංකුව මංකොල්ල කෑවාට අමතරව ඒවාත් කළා. මහ බැංකු මංකොල්ලය අතටම අහු වුණා.

ඒකෙනුත් වුණ එක හොඳ දෙයක් තිබෙනවා. කාලයක් තිස්සෙ කරගෙන ආපු මේ වංචාව හෙළිදරව් වුණා. දැන් සමහර විට එය නැවත කිරීම කලින්ට වඩා අමාරු ඇති.

රනිල් ඇමතිවරයකු ලෙස, අගමැතිවරයකු ලෙස මුල පුරපු බොහෝ හොඳ දේවල් තියෙනවා. ඒවා ඉතින් ඔවුන් කළ යුතු දේවල් තමයි. හැබැයි, ඔහුගේ තරගකරුවන්ට එවැනි දෙයක්වත් කරන්නට තරම් නිර්මාණශීලීත්වයක් නැහැ. ඒ නිසායි රනිල් කැපී පෙනුණෙ. විද්‍යා පීඨ, තරුණ සේවා සභාව වගේ උදාහරණ තිබෙනවා.

රනිල් සටන්කරුවකු නෙමෙයි. එසේම දක්ෂ සංවිධායකයකුත් නෙමෙයි. දේශපාලනයෙදි ඡන්දය ගැන විශ්වාසය තැබුවත්, ඡන්දවලින් පසු මහජන සහාය ගැන හෝ දේශපාලන අරමුණු කරා යන්නට මහජනයා බලමුළු ගැන්වීම ගැන හෝ රනිල් විශ්වාස කළ බවක් පෙනෙන්නට තිබුණෙ නැහැ. ඒ වෙනුවට, සමීප කවයක් නිර්මාණය කරගෙන, මහජන විරෝධය ගැන පවා සංවේදී නොවී තමයි ඔහු වැඩ කළේ. සමස්තයක් ලෙස ම රනිල් කියන්නෙ ජනතාව ගැන සංවේදී කෙනෙකු නෙමෙයි. ජනතාව ඔහු හැර ගියේ ඒ නිසායි. එහෙම වෙද්දිත් ඔහු ජනතාවට ගැලපෙන්නට තම පෞරුෂය වෙනස් කරගත්තෙ නැහැ. ජනප්‍රියත්වය වෙනුවෙන් ඕනෑම වැසිකිළි වලක පීනන මහින්ද රාජපක්ෂත් ඔහුත් අතර වෙනස එයයි. හැබැයි, රනිල් ජනතාවට නායකත්වය දෙන්නට අසමත් වුණා. මහින්ද රාජපක්ෂ ජනප්‍රිය පුද්ගලයෙකු මිස නායකයෙක් නෙමෙයි. නායකයා කියන්නෙ ජනතාවට මග පෙන්වන කෙනෙක්. මහින්ද පෙන්නපු මගක් නැහැ. හාමුදුරුවරු පෙන්නපු මග දිගේ මහින්ද ගිය එකයි වුණේ. රනිල් පාරක් දිගේ යන්නට උත්සාහ කළා. පසුපසින් එන බලවේගය රැකගන්නට ඔහු උත්සාහ කළේ නැහැ. ඔහු තනි වුණේ ඒ නිසායි. රනිල්ට උදව් කරන්නට උවමනාව තිබුණු අයට හෝ ඔහුට උදව් කරන්නට අවස්ථාවක් දෙන්නට ඔහුට උවමනාවක් තිබුණෙ නැහැ. ඒකට නම් ප්‍රධාන හේතුව ඔහු වටා සිටි කාක්කන්.

රනිල්ගෙ සමීප කවයේ සිටි බොහෝ අය ඔහු හැර ගිය හැටි, ඔහුට ද්‍රෝහී වූ හැටි බැලුවාම රනිල්ගේ පෞද්ගලික පෞරුෂයේත් යම්කිසි ගැටලුවක් පෙනෙනවා. රනිල්ට ද්‍රෝහී වෙන්නට ඔහුගේ බොහෝ පෞද්ගලික මිතුරන්, හිතවතුන් හා ගෝලයන් වැනි අය පවා දෙවරක් හිතන්නේ නැහැ. රනිල් එවැනි ද්‍රෝහීන්ට සතුරුකම් නොකළත්, ඔහු ඔවුන්ට නැවත අවස්ථාවක් නම් දුන්නෙ නැහැ.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ රනිල් විසින් ඉතා නරක විදියට කළමනාකරණය කරන ලද දේශපාලන පක්ෂයක්. එම පක්ෂයට මේ ඉරණම අයිති වුණේ රනිල්ගේ නායකත්වය නිසා යයි යමෙකුට තර්ක කළ හැකියි. එහෙත්, එම පක්ෂයේ රනිල් වෙනුවට ආදේශ කළ හැකි නායකයකු බිහි වුණේ නැති බවත් අමතක නොකළ යුතුයි. යම් තරමක් හෝ රනිල් වෙනුවට පත් විය හැකි නායකයින් වුණේ කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස පමණයි. ඒ අතරින් කරු ජයසූරිය පක්ෂය දමා ගොස් ගරුත්වය නැති කරගත්තා. සජිත් ප්‍රේමදාස අසාර්ථක නායකයෙක්. ඔහු වෙනත් අයගේ උවමනාවන් මත කටයුතු කරමින් රනිල් වික්‍රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් විනාශ කර දමන්නට විශාල වැඩ කොටසක් කළා.

දැන් ඉතින් රනිල්ට දේශපාලන ඉදිරි ගමනක් නැහැ. ඔහුගේ උපායමාර්ග නිසා ආණ්ඩුවක් ලබාගන්නටත්, ඇමතිකම් කරන්නටත්, සල්ලි හම්බර කරගන්නටත් ලැබුණු සජිත් ප්‍රේමදාසගේ සිට මරික්කාර් දක්වා සමගි ජන බලවේග දේශපාලකයන් දැන් සකල දෝෂ ඔහු පිට තබා කපනු දැකිය හැකි ය. 2015-2019 ආණ්ඩුව දැන් රනිල්ගේ පමණක් දරුවෙකි. එහෙම බැලූ විට රනිල් ඇත්තට ම පොරකි. ජනප්‍රිය නොවන බොහෝ රාජ්‍ය සංශෝධන සිදු කර රනිල් එහි වගකීම භාරගෙන පිටව යයි. මහින්දලා සමහර විට ඔහුට සාමකාමී විශ්‍රාම දිවියකට අවස්ථාව දෙනු ඇත. කොහොම වුණත් ඔහුගේ දේශපාලන භූමිකාව අවසන්. ඒකට කමක් නැහැ.

ප්‍රශ්නය ඒ දේශපාලන ධාරාවට මොකක් වෙයි ද කියන එකයි.

Translations

2 thoughts on “රනිල් නියෝජනය කළ දේශපාලන ධාරාවට කුමක් වෙයි ද?

  1. රනිල් ජනප්‍රිය දේශපාලන චරිතයක් නොවූවත් , ඔහුගේ තීරන නිසා අනාගත පරපුර ජාත්යන්තරයට මුසු කිරීමේ හැකියව ලබුනත් අවස්ථාලභීන්ට එය දැනුනේ නැත.
    කෙසේවෙතත් ලාන්කීය සමාජයට ඔහු නොගැලපෙන්නේ පෙරේතයන්ගෙ හැටියට විමානෙ සකස් වියයුතු නිසා !

  2. යහපාලනයේ එක් partner කෙනෙක් ඉහලම මනාපයෙන් පාර්ලිමෙන්තුවට තේරී පත්වීමත්, අනිත් කෙනා මේ විදිහට පරාජය වීමත්, Para කියලා තියෙන දේ තව දුරටත් confirm කරනවා නේද.

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.