මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පහළ හිරිපිටිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටි නිවසක් හා වීමෝලක් ඉවත් කිරීමට නිලධාරීන් උත්සාහ කිරීමේදී ඇතිවූ ගැටුමක් ඊයේ සිරස ප්‍රවෘත්තිවල පෙන්නුවා. එම ප්‍රවෘත්තියෙන් අපට සම්පූර්ණ කතාව දැනගන්නට හැකියාවක් නැහැ. එහෙත්, එය ඉතා වැදගත් නාට්‍යමය ජවනිකාවක්.

එම ගැටුම සංවර්ධනය, රජයේ සේවය හා ජනතා අවශ්‍යතා ගැන ඉතා වැදගත් කියවීමකට යොමුකරගත හැකියි. ඒ දේපලවලට දීලා තියෙන වන්දිය රු. 19 ලක්ෂයයි. එය දිගුකලක් තිස්සේ අමාරුවෙන් ගොඩනගාගත්ත වටිනා නිවසක් හා වී මෝලක් නැවත වෙනත් තැනක ඉදිකිරීමට අද කාලයේ නම් ප්‍රමාණවත් මුදලක් නොවෙන්නට පුළුවන්. නිවෙස් හිමියා ඉවත්වෙන්න නම් නිවසක් දෙන්නැයි ඉල්ලනවා. ඔහු වන්දි ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු භාණ්ඩ ඉවත් කරගැනීමත් ප්‍රතික්ෂේප කරනවා. භාණ්ඩවලට අත තබන්නත් එපා කියනවා. හදිසියේ ඉවත් කරනවා නම් තමන්ට යාමට නිවසක් ලබාදෙන්නැයි ඔහු ඉල්ලාසිටිනවා. ඔහු කියන්නේ නීතිය ප්‍රකාරව ඒ සියල්ල ඩෝසර් කර දමන ලෙසයි. බඩු ඉවත් කර ගෙනයාමට තමන්ට තැනක් නැති බව ඔහු පවසනවා. ඔහු රාජකාරියට බාධා කළ බවට පැමිණිලි කරන බවට එහි සිටින නිලධාරිනියක් තර්ජනය කරනවා. ඔහු දෙන පිළිතුර කදිමයි. “කමක් නැහැ. එල්ලුං ගස් යවන්න බැහැනෙ.”

අපට පෙනෙන ආකාරයට නම්, ඔහු රාජකාරියට කිසිදු බාධා කිරීමක් කරන්නේ නැහැ. ඔහු එතැනින් ඉවත්ව යනවා. ඉන්පසු නිලධාරින් ගේ කඩනවා. එම පුද්ගලයාගේ පෞද්ගලික බඩු බාහිරාදිය සම්බන්ධයෙන් එම නිලධාරින් වගකියනවා ඇති.

නිලධාරිනිය

නිලධාරිනිය ඇවිත් ලොකු සද්දයක් දැම්මාට, ඒ සද්දෙ නැතුව ප්‍රශ්නෙ විසඳන්න බැරිවීමේ අසාර්ථකත්වය ඒ පසුපස තිබෙනවා. මිනිහකුගෙ වාසස්ථානය අහිමිවීම කියන්නෙ රජයේ නිලධාරීන් කතාකරන නීති රෙගුලාසිවලට එහා ගිය දෙයක්. සංවර්ධනය සඳහා ඉඩම් පවරාගැනීමේදී ජනතා කැමැත්ත ලබාගන්නට හා සංවර්ධන වින්දිතයන් වන අවතැන් වූවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කරන්නට අසමත් වෙන නිලධාරීන් තමන්ගෙ රාජකාරිය අසමත්. ඒ රජයත් අසමත්.

ඒ නිලධාරීන් වුණත් දන්නවා ඒ වගේ ගෙයක් හදාගන්නට තිබෙන අමාරුව. සමහරවිට ඒ වැඩිදෙනෙකුට එවැනි නිවසක් හදාගන්නට කවදාවත් බැරිවෙන්නත් පුළුවන්. ඔවුන් ඒ තරම් ආසාවෙන්, උනන්දුවෙන් ඒ ගේ කඩන්නෙ ඒ නිසා වෙන්නත් පුළුවන්. ඒත්, තමන් රැකියාව වෙනුවෙන් කළ නින්දිත කාර්යය ගැන ඔවුන් කවදා හෝ පසුතැවිලි නොවෙයිද? මෙය ගෙයක් ගිනිතැබීම වැනි දෙයක් නොවෙයිද?

මිනිහෙකුගෙ ප්‍රශ්නයක් සාධනීය ලෙස විසඳාදෙන්නට එවැනි උනන්දුවක් රජයේ නිලධාරීන් තුළ තිබෙන ආකාරය ඔබ නිතර දැක තිබෙනවාද? ඔය වගේ හේතු නිසා දිග්ගැහුණු ප්‍රශ්න ඕනැ තරම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තිබෙනවා. එය සාමාන්‍ය පුරවැසියකුට ප්‍රතිලාභයක් ලැබෙන දෙයක් නම්, බොහෝවිට, මෙවැනි බාධක හමුවේ ඒවා එතැනම හිරවෙනවා.

මේ නිලධාරීන් මෙසේ මිනිසකුගේ උන්හිටි තැන් අහිමිකරන්නට මහත් උනන්දුවෙන් කටයුතු කරන්නේ ඇයි? මේ මාර්ගය ඉදිකිරීම පසුපස දැවැන්ත සමාගම්, විශාල කොන්ත්‍රාත්තු, අතයට ගනුදෙනු, දේශපාලනය තිබෙනවා. මෙම ව්‍යාපෘතියට දැන් අධික උනන්දුවකින් උර දී සිටින ඇමතිවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් සිහිපත් කරගන්න.

මෙවැනි අධිවේගී මාර්ග ඇත්තටම අවශ්‍ය කාටද? මහජනතාව මේවා ඉල්ලා සිටියාද? කොළඹ සිට මහනුවරට ඉතා වේගයෙන්, හදිසියෙන් යාමට අවශ්‍ය කාටද? කුමක් සඳහාද? ලංකාවේ ව්‍යාපාරිකයන්, දේශපාලකයන්, නිලධාරීන් හෝ පොදු ජනතාව ඒ තරම් හයියෙන් ගිහින් හයියෙන් කරන දේවල් මොනවාද? ලංකාවේ මිනිසුන්ට ඔය තරම් වේගයක් මොකටද?

දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයටම අධිවේගී මාර්ගය දිගේ හයියෙන් යා හැකිය. ඉතින් මොකද? හයිවේ එක නිසා දකුණේ දිස්ත්‍රික්ක හයියෙන් සංවර්ධනය වුණාද? සිදු වූ සංවර්ධනයෙන් එම ප්‍රදේශවල ජන ජීවිතය ඉහළ නැංවුණාද? මේ මාර්ග නිසා මේ රටේ ජනතාව මත පැටවුණු ණයබරට හා සංවර්ධනයේ ඍණාත්මක ප්‍රතිඵලවලට සාපේක්ෂව රටේ ජනතාවට වාසියක් අත්වුණාද?

රජයේ නිලධාරීන් ඉදිරියට උඩුකයට කමිසයක් හෝ නොමැතිව පැමිණෙන ඒ සුළු ව්‍යවසායක, වැඩකරන මිනිසා කවුරු වුණත්, ඔහු කරන සටන ඉතා වැදගත්. ඔහු කරන්නේ සහාය නොදී සිටීමයි. එය මහාත්මා ගාන්ධි ඉන්දීය නිදහස් අරගලයේදී අනුගමනය කළ උපක්‍රමයක්. නිලධාරීන්ගේ තර්ජන හමුවේ ඔහු කරන්නේ ඔවුන්ට අවශ්‍ය දෙයට සහාය නොදී පිටවී යාමයි. නිලධාරීන්ට තිබෙන නියෝගය තුළ මෙම පුද්ගලයා කළ අභියෝගයට නීතිමය පිළිතුරක් තිබෙනවාද? ෂේක්ස්පියර්ගේ වැනීසියේ වෙළෙන්දා නාට්‍යයේ ෂයිලොක්ට ඇන්ටෝනියෝගේ සිරුරෙන් මස් රාත්තලක් කපාගත හැකි වුණත්, එක ලේ බිංදුවක්වත් හෙළන්නට අවසර තිබුණේ නැත.

මේ රටේ වැඩිහරියක් පොඩි මිනිසුන් සතු ත්‍රිරෝද, යතුරුපැදි, පාපැදි වැනි වාහන ඇතුළු කිරීමටවත් නොහැකි, ධනවතුන්ගේ බොරු අධිවේගයට පමණක් ගැලපෙන අධිවේගී මාර්ග හදන්නට, විශේෂයෙන්ම, දිළිඳු ජනතාව සහාය දෙන්නේ මොකටද? මේ ඊනියා සංවර්ධනයෙන් ගිනිකණ වැටුණු දෑස් දැන්වත් පාදාගත යුතු නේද?

2 thoughts on “රජයේ නිලධාරීන් කඩපු වේයන්ගොඩ ගෙදර හා මෙගා සංවර්ධනයේ ගැටලුව

  1. Rajaye niladhsriniya mokie unath , intheruwenma eya rajaya niyljanawa pamanak nowa adaala amethtage raaja unusumenda uthtjejanaya wennakaaraya ege body language eken manaawa pasak wea !

  2. Sadaakaalika padikayata aasawatawath oyakiyana ” adthivegi ” maga akepaya .
    Namuth ewwa hadanna naya gewanna balenma wage ohu sammadam kara geniema yukthiyukthada !
    Bada thadawenna kaapu ewun badawal atha ga gaa goroomin doiyanawa wageida , kusata harihaman aharak nethi ewun aenum arina saddhe !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: