Midwives

කොවිඩ්-19 නිසා දරු උපත් නතර වන්නේ නැත. වසංගත අවදානම අතරතුර පවා මාතෘ හා ළමා සත්කාර කටයුතු වෙනුවෙන් කැපවන සෞඛ්‍ය සේවකයන්ට උපහාර පිණිසයි

මාලනී රත්නායක ප්‍රජා සෞඛ්‍යය සම්බන්ධ වසර 20ක අත්දැකීම් තිබෙන නිලධාරිනියක්. එහෙත්, පසුගිය සති කීපය තුළදී, කොවිඩ්-19 හේතුවෙන් ඇගේ රැකියාව ලොකු විපර්යාසයකට ලක්වුණා. අප්‍රේල් මාසයේදී අවසන්වරට ඇය විසින් පවත්වන ලද සායනයට මව්වරුන්30ක් පමණ සහභාගි වුණා. ඔවුන් හැම කෙනෙකු ම අසුන් ගත්තේ මීටරයක පරතරය තබාගෙනයි. එහෙත්, දැන් එය ද කරන්නට බැරි වෙලා. පවුල් සෞඛ්‍ය නිලධාරිනිය නිවෙස් වෙත යන්නේ හදිසි අවශ්‍යතාවලට පමණයි. එසේම, සායන, ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් සහ එන්නත් ලබාදීම ද අත්හිටුවා තිබෙනවා.මාලනී දැන් ගර්භණී මව්වරුන් 28දෙනෙකු සමග සම්බන්ධතා පවත්වන්නේ දුරකථන මාර්ගයෙනුයි.

Translations

නිරතුරුව දෑත් සෝදන්නැයි මාලනී ඔවුන්ට අවවාද කරනවා. හැකි තරම් නිවසේ ම රැඳී සිටින්නැයි ද උපදෙස් දෙනවා. ඔවුන්ට ගැටලුවක් මතු වූ විට, වහාම ඇය අමතන්නැයි මාලනී ඔවුන්ට කියා තිබෙනවා.

“අපත්, මව්වරුනුත් අතර යහපත් සන්නිවේදනයක් තිබෙන එක ඉතාම වැදගත්,” යි ඇය පවසනවා. කොවිඩ්-19 හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ පවුල්වල ජීවනෝපාය ඇණහිට ඇති බවත්, ආතතිය වැඩි වී, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වාර්තා වීම ද ඉහළ ගොස් ඇති බවත් ඇය පෙන්වා දෙනවා.

“මේ සියලු දුෂ්කරතා මැද, මා විතරක් නොවෙයි, මගේ වෘත්තීය සගයිනුත්, අනෙකුත් නිලධාරීනුත්, රජයේ නිසි මාර්ගෝපදේශ අනුගමනය කරමින්, නිවෙස් වෙත ගොස් මව්වරුන් ලියාපදිංචි කිරීම හා සේවා සැපයීම සඳහා කැපවීමෙන් යුතුව කටයුතු කරනවා,” යි මාලනී පවසනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් සංවිධානය කරන ලද වැඩමුළුවකදී මාලනී කොවිඩ්-19 පිළිබඳ දැනුවත් වුණා. ඉන් අනතුරුව, චීනයේ කොවිඩ්-19 වයිරසය විසින් ඇති කරන ලද තත්වය පිළිබඳ ඇයට කෙටි විස්තර සටහනක් ලැබුණා. එමගින් රෝග ලක්ෂණ හා එහි තීව්‍රතාව පැහැදිලි කරනු ලැබුවා. එකී පැහැදිලි කිරීම් දෙකෙන් පසු, මාලනී හට තවමත් කොවිඩ්-19 පිළිබඳ විශේෂිත පුහුණුවක් ලැබී නැහැ. එහෙත්, සාමාන්‍ය ශ්වසන සත්කාර පිළිබඳ ඇය ලබා තිබෙන පුහුණුව හදිසි අවස්ථාවකදී ප්‍රමාණවත් වනු ඇතැයි ඇය බලාපොරොත්තු වෙනවා.

පිටතට යන සෑම විටකදී ම ඇය මුඛ ආවරණයක් සහ අත්වැසුම් භාවිතා කරනවා. ඇගේ ආරක්ෂාවට ඒවා ප්‍රමාණවත් වේවා යි ඇය ප්‍රාර්ථනා කරනවා. දෑත් පිරිසිදු කරන ද්‍රාවණවල උග්‍ර හිඟයක් තිබෙන නිසා ඇය නිතර සබන් භාවිතා කර ඇගේ දෑත් සෝදනවා. ආපසු නිවෙසට පැමිණි පසු මාලනී ඇගේ යතුරු පැදිය, යතුරු සහ බෑගය විෂබීජහරණය කිරීමට වෙහෙසෙනවා. පෞද්ගලික ආරක්ෂක උපකරණවල හිඟය හේතුවෙන් ඇය දැන් සිතමින් ඉන්නේ ඇගේ ආරක්ෂාව සඳහා යෝග්‍ය ඇඳුමක් ඇය අතින් ම මසාගන්නටයි.

“මට මගේ පවුලේ අය හා මා ජීවත් වන සමාජය ගැන බයයි,” යි ඇය පවසනවා. ඇය කියන්නේ ඇය වෙතින් ඇගේ ම දරුවන්ට ආසාදනය පැතිරෙනු ඇද්දැයි ඇය බිය වන බවයි. ඇය නිදාගන්නේ පවුලේ වෙනත් අයගෙන් දුරස්ථ වෙනම කාමරයකයි. ඇගේ කුඩා දියණියට පවා මවගේ කාර්යයන්හි වැදගත්කම තේරෙනවා.

“මගේ පවුලේ අය රැකියාව සම්බන්ධයෙන් මගේ කැපවීම සහ ධෛර්යය ගැන ගොඩක් ආඩම්බර වෙනවා,“ යි ඇය පවසනවා. “මෙවැනි දුෂ්කර කාලයකදී පවා මා මහජනයාට සපයන සේවාව ගැන ඔවුන් ඇත්තෙන් ම  සතුටු වෙනවා.”

– එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ප්‍රකාශනයකි

1 thought on “මාලනීගේ කතාව

  1. Nirdeashitha Dourasthabaawaya rekaganimin kiepadenek ho gharbanie unaanam aekath prasnayak !

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.