Nirvan Rajapaksa

මහින්ද හා නිර්වාන්

ජනාධිපති මහින්ද රාජපක්ෂ තම දරුවන්ට හා පවුලට බොහෝ සෙයින් ආදරය කරන පුද්ගලයකු බව ඔහුගේ චර්යාවන්ගෙන් පෙනේ. සාමාන්‍යයෙන් ගත් කල, ප්‍රචණ්ඩ පුද්ගලයකු නොවන ඔහුට පාලකයකු ලෙස තිබෙන්නේ හොඳ වාර්තාවක් නොවේ.

ඔහු ජනාධිපති පදවියට පත් වූයේ දෙමළ ඊලාම් කැරැල්ල සම්බන්ධයෙන් තීරණාත්මක අවධියකදීය. එම අවස්ථාවේදී ප්‍රශ්නයට යුදමය විසඳුමක් සෙවීමට ඔහු ගත් තීරණය ඔහුගේ තනි තීරණයක් නොවේ. එය සිංහල සමාජයේ බහුතරයක් දෙනා අනුමත කළ තීරණයකි. කෙසේ වෙතත්, මෙම යුද්ධය නිසා දහස් ගණනක් ජීවිත නැති විය. ඒ අතර යුද්ධය සම්බන්ධයෙන් වගකිව යුතු අය පමණක් නොව, යුද්ධයේ වින්දිතයන් වූ දහස් ගණනක් ද විය.

ජයග්‍රාහී යුද්ධයක යුද අපරාධ තිබිය හැකිය. ඇතැම් ඒවා අවම කරගැනීමට හැකියාව තිබුණ මුත්, බලවේග පෙළගැසුණු ආකාරය අනුව, එසේ කිරීම පහසු වූයේ නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එහි වගකීම භාරගන්නට සිදුවන්නේ ඔහු එවකට ජනාධිපති වූ නිසාය.

මෙවැනි ම තත්වයකට 1989 සිංහල කැරැල්ල පරාජය වූ අවස්ථාවේදී එවකට ජනාධිපති ප්‍රේමදාස ද මුහුණ දුන්නේය.

ප්‍රේමදාසට තවමත් සිංහල සමාජයේ ගෞරවය දිනාගන්නට බැරි වී තිබේ. මහින්දටද දෙමළ සමාජයේ ගෞරවය දිනාගන්නට බැරිය. ප්‍රියයන් අහිමි වීම නිසාත්, ජාතික හැඟීම් නිසාත් මිනිස් සන්තානයන් තුළ ඇති වන තුවාල ඉතා ගැඹුරුය.

එහෙත්, ඉතිහාසය විසින් ඇතැම් අවස්ථාවලදී ඇතැම් පුද්ගලයන් වෙත පැවරෙන භූමිකාවන් ඔවුන්ට ඉටුකිරීමට සිදුවේ. මහින්ද රාජපක්ෂට සිදු වූයේද එවැන්නක් විය හැකි ය.

මේ වන විට, ව්‍යවස්ථානුකූලවද විශ්‍රාමගන්වා තිබෙන, නොවැම්බර් 18 දින 75 විය සපුරන අගමැති මහින්ද රාජපක්ෂ සිය පළමු මුනුබුරා නිර්වාන් සොඳුරු ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වේ.

නිර්වාන්ගේ ලෝකය මහින්දගේ ලෝකයට වඩා සොඳුරු එකක් බවට පත් කරන්නට අපට හැකි වේද?